2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

රුවන්මැලි මහා සෑයේ අලුත් චූඩා මාණික්‍යය

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 163

පසුගිය නොවැම්බර් 18 – 20 දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සුදු හැඳි දහස් ගණනක් උවසු උවැසියන්ගෙන් පිරී ගියේය. ගම්දනව්වල සිට පවා කණ්ඩායම් වශයෙන් සම්මන්ත්‍රණ ශාලා බිමට සෙනඟ එසේ ඇදී ආවේ ජීවිතයේ කලාතුරකින් දෑස් මට්ටමට දැකබලා ගැනීමට ලැබෙන වස්තුවක් දැක සිත් පහන් කර ගැනීමේ අරමුණෙනි. ඒ අනුරාධපුර රුවන්මැලි මහ සෑයේ පැළඳවීමට නියමිත නව චූඩා මාණික්‍යයයි.

වර්ෂ 80ක් පැරණි දැනට පවතින චූඩා මාණික්‍ය වෙනුවට අලුතින් නිර්මාණය කළ මෙම චූඩා මාණික්‍ය එහි සවි කිරීමට නියමිතය. කොළඹදී ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව 21 පෙරවරුවේ කුරුණෑගල ඇත්කඳ විහාරයට වැඩම කරවන චූඩා මාණික්‍යය 22 දා අලුයම 5.00 දක්වා එහිදී ජනතාවට දැකබලා ගැනීමේ අවස්ථාව සැලසුණු අතර එය 22 රාත්‍රියේ සිට 24 දා දක්වා රුවන්මැලි සෑ මළුවේ කුටියක තැන්පත් කිරීමට නියමිත විය. නව චූඩා මාණික්‍යය පැළඳවීම වෙනුවෙන් පවත්වන තුන් තිස් පැයේ පිරිස් හඬ මැද චූඩා මාණික්‍ය 25 දා මහ සෑයේ රන් ආලේපිත කොත් කැරැල්ල මුදුනේ සවි කිරීමට නියමිතය. කොත් වහන්සේ නිරාවරණය කිරීම 26දා උදේ 10.00ට මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බොටුවාවේ සුමංගල හිමියන් අතින් සිදු කෙරේ.

දැනට මහ සෑය මත තිබෙන චූඩා මාණික්‍ය සහ පාදම මහ සෑය භූමියේම කුටියක තැන්පත් කර ප්‍රදර්ශනය කිරීමට අදහස් කර තිබෙන බව අටමස්ථානාධිපති හිමියෝ පවසති.

මෙලෙස අලුතින් චූඩා මාණික්‍යයක් සවි කිරීමට යන්නේ ඇයි ද යන්න බොහෝ බෞද්ධයන්ට ප්‍රශ්නයක් විය. ඒ පිළිබඳව ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමි මෙසේ සඳහන් කළහ.

“මීට වර්ෂයකට පමණ ඉහතදී සලපතල මළුවේ සිට උණ බට ආධාරයෙන් තැනූ ඉණිමගකින් කොත් වහන්සේ වෙතට දේශීය සහ විදේශීය විශේෂඥ කණ්ඩායමක් යැව්වා. ඔවුන් කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යයේ පාදම සහ එහි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කළා. ඡායාරූප ලබාගත්තා. එහිදී තහවුරු වුණේ මෙම කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය වහාම පිළිසකර කළ යුතු බවයි. කොත් වහන්සේ මත එක් එක් කාලවලදී ආලේප කොට අත්තේ පිරිසිදු රත්රන් නොව රන් පැහැති ආලේපනයක් පමණක් බව ද එහිදී තහවුරු වුණා”

මෙම ප්‍රතිසංස්කරණය අතිවිශාල මුදලක් වැයවන කාර්යයකි. එම පිංකම බාරදීමට සුදුසු කෙනෙක් ගැන සිතන විට ලංකාවේ මෙන්ම ඉන්දියාවේ බුද්ධගයාවේ ද ප්‍රතිසංස්කරණවලට දායක වූ අප රටේ පුණ්‍ය ආයතනයක් වූ විශ්වපාරමී පදනම ඉදිරිපත් විය. අටමස්ථානාධිපති පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත හිමියන් සහ ස්වර්ණමාලි චෛත්‍යාරාධිපති හිමියන් එම පදනමේ කටයුතු ගැන සොයාබලා සෑහීමට පත් වූ පසු මේ මහා පිංකම ඔවුන්ට කරගෙන යාමට අවස්ථාව ලබාදුන්හ.

පසුගිය සැප්තැම්බර්වල සිට රැවන්වැලි සෑ බිමේ යෝධ අටල්ලක් ඉදි කළේ එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාය. පුරාවිද්‍යා නියමයන් උල්ලංඝනය නොවන පරිදි එම අටල්ල ඉදිකර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල අප සමඟ කීවේය.” මේ පලංචිය ඉදිකිරීමේ සැලසුම් සකස් කළේ ඉංජිනේරු ගැමුණු සිල්වා. ඔහු විශාල පුරාවිද්‍යා ප්‍රතිසංස්කරණ ගණනාවකට ඉංජිනේරු උපදේශකත්වය ලබා දුන් විද්වතෙක්. ඔහු පුරාවිද්‍යා සභාවෙත් සාමාජිකයෙක්. මෙම පලංචි සෙට් සවි කරලා තිබෙන්නේ දාගැබේ ගර්භයට බරක් නොවන පරිදි. ඒ නිසා තමයි දිග පළල වැඩි කර තනා තිබෙන්නේ” ඔහු වැඩිදුරටත් කීවේය.

දැනට තිබෙන කොත් වහන්සේට පිරිසිදු රන් ආලේප කිරීම ද ඒ සමඟ සිදුවිය. චූඩා මාණික්‍යය සඳහා දැනට තිබෙන චූඩා මාණික්‍යයේ දිග හා පළල අනුව ඊට ගැලපෙන වටිනා පළිඟු පාෂාණයක් සෙවිය යුතු විය. එය බාරගත්තේ විශ්වපාරමී පදනමයි. ඔවුන් දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පළිඟු පාෂාණ සැපයීමේ ලොව අංක එකේ ආයතනය ලෙසින් ප්‍රකට ඔස්ට්‍රියාවේ ස්වරොව්ස්කි සමාගමේ සේවය ඒ සඳහා ලබා ගත්තේය. ඔස්ට්‍රියානු සමාගම චූඩා මාණික්‍යය සපයා ඉතා සියුම්ව කැටයම් කර ඔප දැමීමේ කාර්යය ඉටු කළේය.

ඒ අතරම චූඩා මාණික්‍ය සවි කරන පාදම ද සකස් කළ යුතු විය. එය පිරිසිදු රනින් නිර්මාණය කිරීම බාර කළේ ලෝක ප්‍රකට සිංගප්පූරු සමාගමකටය. රත්රන් කිලෝග්‍රෑම් 28කට වඩා වැඩි බරකින් යුත් බව පැවසෙන පාදම හැඩගන්වන ලද ස්වභාවික නිල් මැණික් සහ රතු මැණික් ගල් 4300කින් සරසා තිබේ. 

පැරණි චූඩා මාණික්‍යයේ කතාව
අලුත් චූඩා මාණික්‍ය කතාවත් සමඟ අපට මතකයට නැගෙන්නේ රැවන්වැලි දාගැබ පස් කන්දක් වශයෙන් පවතින විට විශාල පිරිසකගේ දායකත්වයෙන් කළ එහි ප්‍රතිසංස්කරණයයි. දාගැබ ප්‍රතිසංස්කරණය නිම වනවිට එයට කොත් වහන්සේ නමක් සහිත චූඩා මාණික්‍යයක් අවශ්‍ය විය. චූඩා මාණික්‍යයක් සෙවීම බාරවන්නේ බුරුම ජාතික විනයාලංකාර හිමියන්ටය. උන්වහන්සේ ඒ සඳහා සුදුසු පළිඟුවක් සෙවීමේ අරමුණ ඇතිව 1938 මැයි මාසයේ බුරුමයට වැඩම කළහ. බුරැමයේ මොගොක් නගරය එවැනි පළිඟු සඳහා ප්‍රකට ප්‍රදේශයකි. මොගොක්හි ව්‍යාපාරික පිරිසක් තමන් සතුව තිබූ විශාල පළිඟුවක් නොමිලේම විනයාලංකාර හාමුදුරුවන්ට පූජා කළහ. 1938 අග භාගයේදී විනයාලංකාර හිමි පළිඟුවක් රුගෙන නැව් මගින් ලංකාවට වැඩම කළහ. පළිඟුව කැපීම සඳහා නැවත මිනුම් ද රැගෙන බුරුමයට වැඩම කළද එහිදී පළිඟුවේ එක් පැත්තක අවශ්‍ය ප්‍රමාණය නොවූ බව හෙළි විය. යළිත් පළිඟුවක් සෙවිය යුතු විය.

මුල් පළිඟුව දුන් ව්‍යාපාරික පිරිසම එහි පතලකින් හමු වූ විශාල පළිඟුවක් ඒ සඳහා නැවතත් පරිත්‍යාග කළහ. එම පළිඟුව මොගොක්හි පළිඟු කපන්නන් විසින්ම කපා දුන්හ. උසින් අඟල් 18ක් ද වට ප්‍රමාණයෙන් අඟල් 25.5ක්ද වන සේ එය කපා තිබුණි. බරින් රාත්තල් 12.5ක් විය. චූඩා මාණික්‍ය රන් ආධාරකයක් මත සවි කර බුරැම බෞද්ධයන්ගේ පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලබාදීමට කටයුතු සංවිධානය කෙරිණි. බොහෝ බෞද්ධ බුරැම ජාතිකයන් රන් හා මැණික් ඒ සඳහා පරිත්‍යාග කළහ. ස්වර්ණමය ආධාරකය නිමවීමට මාස 9ක් ගතවිය. ඒ සඳහා රන් රාත්තල් 12ක් හා රිදී රාත්තල් 152ක් යොදාගෙන තිබුණි. එයට ඔබ්බවා තිබූ මැණික් සංඛ්‍යාව 4796කි.

මොගොක් නගරයේ සිට විශේෂ දුම්රියකින් රුන්ගුන් අගනුවර‍ට රැගෙන ආ චූඩා මාණික්‍යය කෙටි කලක් ස්වේදගොන් චෛත්‍යය අසල තැන්පත් කෙරිණි. වර්ෂ 1940දී එය ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. මෙම චූඩා මාණික්‍ය දාගැබේ කොත් වහන්සේට සවි කළේ 1940 ජූනි 17දා උදේ 8.30ට යෙදුණු සුබ මොහොතිනි. චූඩා මාණික්‍යය ඇතුළු කොත් කැරුල්ල නිරාවරණය ජුනි 19දා යෙදුණු පොසොන් පෝ දින සිදුවිය.

ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ඩී. එස්. සේනානායක, ඩබ්ලිව් ඒ. ද සිල්වා යන බෞද්ධ නායකයෝ ඒ සඳහා සහභාගී වූහ. රන් ආලේපිත පිත්තල කොත සහ චූඩා මාණික්‍ය උසින් අඩි 25කි.

එලෙස මහත් පිරිසකගේ දායකත්වයෙන් නිමා වූ චූඩා මාණික්‍යය නොවැම්බර් 25දා නව චූඩා මාණික්‍යය සවි කිරීමෙන් පසුව දාගැබෙන් ඉවත් කෙරේ. ඊට පසු ඔබටත් එය පහසුවෙන් දාගැබ් මළුවේදීම කුටියක් තුළ දැක ගැනීමේ අවස්ථාව උදා වේ.

කුසුම්සිරි විජයවර්ධන
    සේයාරූ - සුමුදු හේවාපතිරණ