2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

රාජපක්ෂ පරපුර හා අත්වැල් බැඳගත් නව ජනපති ධජය

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

බෞද්ධ දර්ශනයෙහි ගිහි පැවිදි ජීවන සාධනය සඳහා ඉවහල් වන කරුණු බොහෝය. ත්‍රිපිටකයේ අන්තර්ගත ජීවිතයට වැඩදායී කරුණු අතරින් ව්‍යග්ගපජ්ජ සූත්‍රය ප්‍රධානය. එහි දොලොව යහපත සඳහා වන කරුණු අටකි. ඉන් මොලොව දියුණුව පිණිස වන උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සහ සමජීවිකතා නිරූපණය කොටගෙන සුදු නෙළුම තේමා කොට මෙරට 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය නිර්මාණය කොට තිබේ.

කොඩියේ ප්‍රධාන වර්ණය ලෙස තද දුඹුරැ භාවිතාකොට තිබෙන බවත් සුදු සහ කහ පැහැයට අමතරව තැඹිලි හා කොළ පැහැයද යොදාගෙන ඇති බවත් දකින්නට හැකිය. පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල ප්‍රධාන තේමාව කොටගෙන එය කොඩියේ මැදට යොදාගෙන ජනාධිපතිවරයාගේ නිල ධජය නිර්මාණය කොට ඇත.

සුදු නෙළුම මගින් රටේ පාලකයා සතු නිර්මල හා පිවිතුරු පාලනය සංකේතවත් කරයි. නෙළුම මැද ඇති කලංකය සිට සිව් දිසා වෙත විහිදෙන රේණු මගින් කීර්තිය හා යසස සෑම අතකම පැතිරෙන බව නිරෑපණය කරයි. අලංකාර නෙළුම වටා නිර්මාණය කළ සුදු හා කහ පැහැති රවුම් දෙකකි. එහි සුදු පැහැති රවුමෙන් සත්‍යතාව සහ කහ පැහැයෙන් ප්‍රඥාව සංකේතවත් කරයි. කොඩියේ කෙළවර හතරට වන සේ නිර්මාණය කළ කහ පැහැති බෝ කොළ හතරකි. එමගින් බුද්ධාගම සහ ඉන් ජාතියට ලැබී ඇති ආභාෂය විදහා පෙන්වයි. එමෙන්ම ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් වන උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා හා සමජීවිකතා යන ජීවිතයේ සතුටින් සිටීමට ඇවැසි කරැණු හතර විදහා දක්වයි.

කොඩියේ සතර කොණ පිහිටුවා ඇති නාමල් හතරකි. ඒ තුළින් තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාව සහ කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාව නිරෑපණය කරන අතර ලොව සිව්දෙසින් පැමිණෙන පිරිසට කරන ආගන්තුක සත්කාරය මෙන්ම ජාත්‍යන්තර සබඳතාව නිරූපණය කරයි. මීට අමතරව ධජයේ දිග හා පළල් අතට එකිනෙක හමුවන ලෙස පිහිටුවා තිබෙන වී කරල් අටකි. එම වී කරල් අභිමුව දක්වා තිබෙන කුරහන් මල් හතරකි. ඒ තුළින් සශ්‍රීකත්වය නිරූපණය කරයි.

මෙම කුරහන් මලේ පැහැය ධජයේ ප්‍රධාන වර්ණය වශයෙන් යොදාගෙන ඇත. එමගින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවත එන කෘෂිකර්මාන්තය මූලික කොටගත් අතීත පරම්පරාව හා නායකත්වය සිහිගන්වයි. ධජය වටා සුදු පැහැති හා කහ පැහැති තීරු දෙකක් දක්වා තිබෙන අතර සුදු පැහැ රාමුවෙන් සෑම අතින්ම සලසන ආරක්ෂාව හා කහ පැහැ රාමුවෙන් ජනාධිපති ධජයේ සියලු කොටස් එකට බැඳී පවතින බව පෙන්වයි. එසේම මෙම කහ පැහැය මගින් ජාතීන් අතර පවතින එකමුතුව, සුහදතාව අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම ඒ තුළ වන ජීවගුණය විදහා දක්වයි.

මෙම අනගි නිර්මාණයේ නිමැවුම්කරු වන්නේ ජාත්‍යන්තර සම්මානලාභී නිර්මාණකරුවෙක් වන ජගත් ජයසිංහ මහතාය. එවැනි දක්ෂයකු අදාළ නිර්මාණ කාර්ය සඳහා තෝරා ගැනීමට ජනාධිපතිවරයා සමත්වීම හා තීරණය කිරීම අගනා එකකි. එය නායකයකු සතු වන දක්ෂතා පිරි මිනිසුන් හඳුනාගැනීමේ දක්ෂතාවකි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියත් සමඟ මෙම නිර්මාණාත්මක ධජය ගාම්භීර ලෙස නිමවීම සඳහා ජගත් ජයසිංහ මහතා තෝරා ගනු ලැබීය.

ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා සිටින ජගත් ජයසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව, එක්සත් ජාතීන්ගේ බෞද්ධ සමුළුව ඇතුළු ප්‍රසිද්ධ ලාංඡන රැසක නිමැවුම්කරුවාය. හෙළ නිර්මාණකරණය ජාත්‍යන්තරයට ගෙන ගිය ඔහු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නිර්මාණ අධ්‍යක්ෂවරයාය.

සමන්ත ප්‍රදීප් විල්තෙර