2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

උතුරේ ඡන්දය ගැන උතුරේ නායකයන් කියන කතාව

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන සතියක කාලයක් ගතවී තිබේ. මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය ඉදිරිපත් කරමින් ඉදිරිපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා 52.25%ක ප්‍රතිශතයක් ලබාගෙන තිබූ අතර ඔහුට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 6,924,255ක් විය. ප්‍රතිවාදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයේදී 41.99%ක් ප්‍රතිශතයක් ලබාගෙන තිබූ අතර ඔහුට ඡන්ද 5,564,239ක් හිමිවී තිබුණි. එපමණක් නොව අන් ජනාධිපතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී උතුරේ වැසියන් මෙන්ම දකුණේ වැසියෝද උද් යෝගයෙන් යුතුව සිය ඡන්දය ප්‍රකාශයට පත්කළහ.

මෙවර ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ හැසිරීම පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී තිබිණි. ඒ කුමක් නිසාද යත් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකය බවට උතුරැ නැගෙනහිර ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ හැසිරීම පත්ව තිබූ බැවිණි. උතුරු පළාතට අයත් යාපනය හා වව්නියාව යන දිස්ත්‍රික්වලින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබූ වැඩි ඡන්ද සංඛ්‍යාව 438,095කි. නැගෙනහිර පළාතට අයත් මඩකලපුව, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 437,510කි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර පළාතෙන් හිමිකර ගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 875,605කි.

කෙසේ වෙතත් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරු නැගෙනහිර පළාත්වලින් හිමිවූ ප්‍රතිචාර පිළිබදව එම පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් අපි විමසීමක් කළෙමු.

ජාතික ගැටලුව සහ ප්‍රතිපත්ති ප්‍රකාශය හේතු වුණා.
දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්) පාර්ලිමේන්තු මන්ත්‍රී සිද්ධාර්ථන් ධර්මලිංගම්

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය දැක්වූවේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට. එතුමා උතුරේ ඡන්දය ලබාගත්තා ප්‍රතිවාදී ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩියෙන්. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාතික ගැටලුවලට විසඳුම් ලබාදීම යන කරුණු මත දමිළ ජනයා එතුමාට සහාය දක්වා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී අපි පොදු අපේක්ෂකයාට සහය දැක්වූවා. කොහොම වුණත් දමිළ ජනතාවගේ සහාය එතුමාට ලැබුණේ ජාතික ගැටලුවට සහ ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් කරගෙන කියන එක තමයි අපගේ මතය.

අපේ ජනතාව ඡන්දෙ දුන්නේ ජාතිවාදී පදනමින් නොවේ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලී සහීර් මවුලානා

අපි ජාතිවාදය මුල්කරගෙන ඡන්දය ලබාදීමක් සිදුකළේ නැහැ. ඇතැම් පුද්ගලයන් කියනවා අපි ජාතිවාදය මුල්කර ගනිමින් අපගේ ඡන්දය ලබා දුන්නා කියා. නමුත් අපි අපගේ සහාය ලබා දුන්නේ බෞද්ධ පදනමක් තියෙන සජිත් ප්‍රේමදාස මහතාට. එතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කරලා තමයි අපි සහය ලබාදුන්නේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් මෙම දිස්ත්‍රිකවලින් ඡන්දය ලබාදී තිබුණා. එය මෙම වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. රට පුරා අනෙකුත් ජනතාව වෙසෙන මුස්ලිම් ප්‍රදේශවල බලයත් එතුමාට හිමිවී තිබුණා. අපගේ ජනතාවට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ දිහා බලලා තමයි මේ ඡන්දය ලබාදෙන්න ඇත්තේ. නමුත් එයින් කියවෙන්නේ නැහැ නැගෙනහිර සියලු ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාටම ලබාදුන්නා කියලා.

වර්ධරාජා පෙරුමාල්ගෙන් 
නව සන්ධානයක්

දෙමළ ජනතාව වෙනුවෙන් මෙපමණ කාලයක් දෙමළ ජාතික සන්ධානය කටයුතු කරනු ලැබුවේ රැවටිලි සහගතව බවත් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයකට. ප්‍රථම පුළුල් දේශපාලන බලවේගයක් ලෙස ජාතික දෙමළ සන්ධානය (NTA) නමින් සන්ධානයක් පිහිටුවන බවත් උතුරු නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍යය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඒ. වර්ධරාජා පෙරුමාල් මහතා පසුගියදා මාධ්‍ය වෙත පවසා තිබුණි.

ජාතික දෙමළ සන්ධානය වෙනුවෙන් ඊපීඩීපී පක්ෂය, දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ටී.ඇම්ඩීපී, දෙමළ විමුක්ති පෙරමුණ, ටෙලෝ ඇතුළු උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ ගණනාවක් සමගින් මෙම සන්ධානය ගොඩ නගනා බව වර්ධරාජා පෙරැමාල් මහතා පවසා තිබිණි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය මත පිහිටුවන නව ආණ්ඩුව තුළින් දෙමළ ජනතාවගේ ගැටලු විසඳෙනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා තිබේ.

ටෙලෝ නායකයා නව ජනපති සමඟ සාකච්ඡාවක
දෙමළ ජනතාවගේ නිරන්තර ගැටලු සහ ඒවා නිරාකරනය කිරීම පිළිබඳ ඉදිරියේදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෛක්කලනාදන් මහතා පවසා ඇති අතර ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රිත්වයෙහිම නියෝජිතයන් මෙයට සහභාගී වනු ඇති බවය.

විග්නේෂ්වරන්ගෙන් සුබ පැතුම්
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය සී.වී. විග්නේස්වරම් මහතා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබ පතමින් නිවේදනයක් නිකුත් කර තිබිණි. නව ජනාධිපතිවරනයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සියලු දෙනා වෙනුවෙන් සේවය කරනු ඇතිබවද එම නිවේදනයෙන් පෙන්වා දී තිබිණි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයන්ට අනුව ජනවාර්ගික වශයෙන් යම් බෙදීමක් පෙන්නුම් කරන හෙයින් සියලු ජනතාවගේ දේශපාලනික, ආර්ථික, සමාජීය අතුළු සියලු ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් සොයාගැනීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවටද එම නිවේදනයෙහි වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

► සටහන - හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00