2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

මහින්ද මහත්තයා පටන්ගත්තේ මගේ පින්තූරවලින්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 117

ජනපතිවරුන් පහක් කවර් කළ සුදත් (2) l පසුගිය සතියෙන්.....

1994 මහමැතිවරණය පොදුපෙරමුණ ජයලැබූ අතර අග්‍රාමාත්‍ය ධූරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්විය. විජේතුංග ජනාධිපති යටතේ සිදුවූ එම දිවුරුම්දීමද ජායාරූප ගතකළේ සුදත්ය. කාලය ගෙවී ගියේය. තවත් ජනාධිපතිවරණයකට දින ළංවෙමින් තිබිණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැතිනිය පොදුපෙරමුණේ ජනපති අපේක්ෂිකාවද විය. අනෙක් පසින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ එවක විපක්ෂනායක ගාමිණී දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

“මැතිවරණ ව්‍යාපාරය යන අතරතුර දවසක් ගාමිණී දිසානායක මහත්තයා ආවා විජේතුංග ජනාධිපතිතුමා හම්බවෙන්න. ඒ ඇවිල්ලා යන ගමන් මට කතා කළා. සුදත් මට පොඩි උදව්වක් කරනවාද කියලා ඇහැව්වා. එතුමා ඉල්ලීම් දෙකක් මගෙන් ඉල්ලුවා. පළවෙනි එක තමා එතුමා ඇහුවා. ඡන්ද ව්‍යාපාරයට ඇවිල්ලා ඡායාරෑප ගැනීමේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා. දෙවෙනි එක තමා එතුමා ඉල්ලුවා කැබිනට් එකට එන වාහනවල පින්තූරයක් අරන් දෙන්න කියලා. ඒකට හේතුවක් තිබ්බා පොදුපෙරමුණු ආණ්ඩුව බලයට එනකොට ආණ්ඩුවේ වාහන සම්බන්ධ දැඩි විවේචනයක් තිබ්බා. ප්‍රාඩෝ පැජරෝ ගැන තමා මේ කාලේ කතා වුණේ. ඒත් පොදුපෙරමුණ ආණ්ඩුව පත්වුණාම එයාලත් පාවිච්චි කළේ මේ වාහනම තමා. කොහොමහරි මං කිව්වා හොඳයි සර් බලන්නම් කියලා.”

සුදත්ට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයක් ආවරණය කිරීමට ආරාධනා ලැබුණේ එලෙසිණි. නමුත් ශ්‍රී ලංකාවේ තුන්වැනි ජනාධිපතිවරණයේ ක්‍රියාකාරිකයකු වීමේ අවකාශ ඔහුට අහිමි විය. ගාමිණී දිසානායකයගේ ඉල්ලීම ජනපති ලේකම් විජයදාස මහතා හමුවට ඔහු ගෙන ගියේය. ඊට හේතුව වූයේ ජනාධිපති නිල ඡායාරෑප ශිල්පියාගේ පත්වීම් බලධාරියා ජනාධිපති ලේකම්වරයා වීමයි.

“මං විජේදාස මහත්තයාගෙන් ගිහින් ඇහැව්වා ගාමිණී දිසානායක මහත්තයා මෙහෙම යෝජනාවක් කළා මට ඒකට යන්න පුළුවන්ද කියලා. එතුමා ඉංග්‍රීසියෙන්ම කිව්වා (යූ කාන්ට් ගෝ) කියලා. ඔයාට යන්න පුළුවන් විජේතුංග ජනාධිපතිතුමා යනවා නම්. එහෙම නැතුව ගිහින් ඔයාට ‍යම් කිසිදෙයක් වුණොත් වගකීමක් නෑ. ඒ නිසා ඔයාට මේකට යන්න බෑ. කියලා කිව්වා.”


1999 ජනාධිපතිවරණෙය්දී වැ.බ. මැතිවරණ ෙකාමසාරිස් ඩී.එම්. පී. බී දසනායක මහතාට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නාමයෝජනා බාරදීම


2010 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතාට මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා බාරදෙමින්

1999 ජනාධිපතිවරණෙය්දී වැ.බ. මැතිවරණ ෙකාමසාරිස් ඩී.එම්. පී. බී දසනායක මහතාට රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා බාරදීම

මේ සමඟ මෙම ජනාධිපතිවරණයේ අපේක්ෂකයකුගේ නිල ඡායාරූප ශිල්පියා වීමේ බලාපොරොත්තු සුදත් සිල්වා අතහැරියේය. සුචරිතේ පැවති පළමු රැස්වීමකදී ගමිණී දිසානායක නැවත ඔහුට හමුවිය. ගාමිණී  සුදත්ගෙන් සිය ඉල්ලීම පිළිබඳ විමසීය. එහෙත් කරුණු කාරණා පෙන්වා දී මෙම ජනාධිපතිවරණයේදී තමන්ට නිල වශයෙන් කටයුත්ත කළ නොහැකි බව සුදත් කීවේය. හොරාට අරගෙන දෙන මෙන් ඉල්ලූ ප්‍රාඩෝවල සේයාරූ ගැනීමටද ඔහුට නොහැකි විය. ඒ අනුව එවර ජනාධිපතිවරණය සුදත්ට මඟහැරිණි. ජනාධිපතිවරණ සමයේ තොටළඟ බෝම්බයෙන් ගාමිණී දිසානායක මෙලොව හැර ගියේය. ශ්‍රීමා දිසානායක එජාප අපේක්ෂිකාව වූවාය. එහෙත් අවසානයේ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියටයි.

මෙම ජනාධිපතිවරණයෙන් පසු අප හිතවත් ජනපති නිල ඡායාරූප ශිල්පියාට අභියෝග රැසකට මුහුණදීමට සිදුවිය. අලුතින් බලය දැරූ පිරිසකගේ වුවමනාවට ඔහු රාජ්‍ය පරිපාලන සංචිතයට මාරුකර යවන ලදී. විටෙක වැටුප් පවා අහිමි විය. පසුව නැවත ජනාධිපති කාර්යාලයටත් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් මාරුකෙරුණු සුදත් අවසානයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිටි සමයේ ශිෂ්‍යත්වයක් ලබා ජපානයට ගියේය. වසර දෙකක ඇවෑමෙන් මව්රට පැමිණි ඔහු නැවත ජනාධිපති නිල ඡායාරූප ශිල්පියා වූයේ බණ්ඩාරනායක මැතිණියේ ආරාධනයකිනි. සුදත්ට සිදුවූ දෙය ජනාධිපතිතුමිය දැන සිටියේ නැත. එහෙත් අවසානයේ කෙසේ හෝ තෙවැනි වරට ජනාධිපති සේවයට අපේ ආලෝක සිත්තරා එක්විය.

සුදත් සිල්වා ආවරණය කළ දෙවැනි ජනාධිපතිවරණය 1999යේ ජනාධිපතිවරණයයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය වෙනුවෙන් කළ ජනාධිපතිවරණ ආවරණයේ මතක ඔහු මෙලෙස අවදි කරයි.

“අවුරුද්දකට කලින් චන්ද්‍රිකා මැඩම් ජනාධිපතිවරණය කැඳෙව්වා. ටවුන්හෝල් එකේදී එතුමියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණානේ. ඊටපස්සේ එතුමිය ඡන්දේ දැම්මේ අරලියගහ මන්දිරයේ. ඒකට විශේෂ අවසරයක් දුන්නා. ඒ අවස්ථාව  ඡායාරූප ගතකළේ මම තමා. කොහොම හරි ඔය බෝම්බ ගහන දවසේ මං ටිකක් අසනීප වෙලා හිටියේ. ඒ අවස්ථාවට ගියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරෑප ශිල්පියෙක් මාතරඅරච්චි කියලා. එයාටත් මුකුත් වුණේ නෑ.”

මෙවර ජනාධිපතිවරණයට ජනාධිපතිනියම ඉදිරිපත් වීම නිසා සුදත් ආවරණය කළ පළමු ජනාධිපතිවරණයට වඩා මෙය තරමක් වෙනස් මුහුණුවරක් ගත්තේය. කෙසේ නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මැතිවරණ ව්‍යාපාරය පුරා එක්තරා පොදු ලක්ෂණයක් දක්නට ලැබුණි.

“හුඟක්ම රසකතා තිබුණේ ජනාධිපතිතුමියගේ ප්‍රමාදය ගැන තමා. දෙකට තුනට තියෙන රැස්වීම්වලට යන්නේ රෑ හතට අටට. එතකොට සමහර මැති ඇමතිවරුත් ගිහිල්ලා. සෙනඟත් ගිහිල්ලා. මේ වගේ අකරතැබ්බ ගොඩක් සිද්ධ වුණා.”

මේ මැතිවරණය වනවිට සුදත් ජනපතිනියගේ විශ්වාසවන්තයෙක් වී සිටියේය. පෙර රාජකාරි කළ ඇතැම් ඡායාරූප ශිල්පීන් තානාපතිවරුන්ට සහ නොයෙක් පුද්ගලන්ට ඡායාරූප විකුණමින් ඡායාරූප ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබිණි. පසුව ඔවුන් බොහෝදෙනා ඉවත් කිරීමට ජනපතිනිය කටයුතු කළාය. සුදත් තම රාජකාරි කාලය තුළ කිසිවිටකත් ජනාධිපති ගෞරවය කෙලෙසන කිසිවක් කළේ නැත. ඔහුගේ එකම උත්සාහය ජනාධිපති ප්‍රතිරෑපය ආරක්ෂා කිරීම විය.


සුදත් සිල්වා ජනපති මාධ්‍ය ආවරණයක නිරතවෙමින්

“එතුමිය සාරිය අඳින නිසා ඡායාරූපවලට උදරය පේනවා. හුඟක් ඡායාරූප ශිල්පීන් ඡායාරූප අරගත්තාම මේක ගැටලුවක්. මං මේකට විකල්පයක් හෙව්වා. ඒ කාලේ ඩිජිටල් නෑ. පොටෝ ෂොප් නෑ. අරලියගහ මන්දිරයේ හිටියා ආටිස් කෙනෙක්. මං එයාට කියලා සාරි පොටක් ඇන්දෙව්වා මං ගන්න පොටෝවල. එහෙම අන්දලා තමා පොටෝ පත්තරවලට යැව්වේ.”

මේ ආදී ප්‍රචාරණ උපක්‍රම භාවිතා කරමින් ගෙවීගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ජනපතිනියටම හිමිවිය. 2004 වනතුරු අප කථානායකයා චන්ද්‍රිකා බණ්ඩාරනායකහට සේවය කළේය. කෙසේ නමුත් අවසාන කාලයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ විශාල ප්‍රතිසංස්කරණයක් විය. මේ වනවිට විශාල වැඩක්ද එතැන නොවුණි. ඒ සියල්ල අතරේ එවක අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුදත්ට පැමිණ තමා හමුවන ලෙස පණිවිඩයක් එවා තිබුණි. අගමැති හමුවට ගිය ඔහුට අගමැති මහින්ද තම නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. රාජ්‍ය සේවකයකු ලෙසින් ජනාධිපති සේවයෙන් අගමැති සේවයට අප ආලෝක සිත්තරා මාරු වූයේය. ඊළඟට එළඹියේ 2005 ජනාධිපතිවරණ සමයයි.

“මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරය පටන්ගත්තේ ඡායාරූපවලින්. මැතිවරණ ව්‍යාපාරය බාරව හිටියේ බැසිල් රාජපක්ෂ මහත්තයා. එතුමා මට කිව්වා එතුමාගේ ඔෆීස් එකට හොඳ පින්තූර ටිකක් අරගෙන එන්න කියලා. මම මහින්ද මහත්තයාගේ ඡායාරූප මුද්‍රණය කරගෙන මම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඔෆීස් එකට ගියා. එතුමා ඒ ඡායාරූප මේස උඩදාලා මට කිව්වා මේ මේ ඡායාරූප ටික මේ විදිහට හදාගෙන හෙටම එන්න කියලා. එතකොට මහින්ද මහත්තයා ළමයි එක්ක එකට ඉන්න පින්තූර, මානුෂිකත්වය පේන පින්තූර මගේ ළඟ තිබුණා. පහුවදා මං කිව්ව විදිහට හදාගෙන ගියාම බැසිල් මහත්තයා කිව්වා මේවා රටපුරා ආසන සංවිධායකයන්ට යවන්න ඕනෑ කියලා. මං සී.ඩී. පටි දෙසීයක් ගහලා එතුමාට දුන්නා. එතුමා රටපුරා ආසන සංවිධායකවරුන්ට මේවා යැව්වා. පස්සේ කටවුට්වලින් තමා ජනාධිපතිවරණය පටන් ගත්තේ.” සුදත් මෙම ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා සමඟ රටපුරා ගියේය. ඔහුගේ මතකය අනුව මෙම මැතිවරණ ව්‍යාපාරයේදී අලුත් අලුත් දෑ බොහොමයක් හඳුන්වා දෙන ලදී. මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට ගොඩවන විට ගීතයක් ගායනා වීම නවමු අත්දැකීමක් විය.

“අගමැතිතුමා රැස්වීම් විශාල ප්‍රමාණයක් ආවරණය කළා. සමහර දවස්වල රාත්‍රී එක දෙක වෙනකල් වැඩ කළා. 2005දී තිබ්බේ ප්‍රබල මැතිවරණයක්. එතුමා බොහොම සංවේදී චරිතයක් තරහක් කේන්තියක් ආවත් ඒ වෙලාවට විතරයි. පස්සේ මතක නෑ. දවසක් මං දැක්කා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ගුණසමරු උත්සවයකදී එතුමන්ගේ ඇස් දෙකට කඳුළු ආවා. මගේ කැමරාවෙන් මං ඒක දැක්කා. සමහර අවස්ථාවල කට්ටිය එනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට දුක කියාගෙන. ඒ එන අය අඬනකොට මහින්ද මහත්තයාගේ ඇස්වලටත් කඳුළු එනවා. ඒ නිසා කවුරුත් අඬනවාට එතුමා කැමති නෑ. එතුමා එතකොට කියනවා මේ අඬන්න නම් එපා හොඳේ කියලා.”

2005 ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵල නිකුත් කරන මොහොතේ මහින්ද රාජපක්ෂ සමීපයේ සුදත්ද සිටියේය. එහිදී පළමුව තමන් පරාජයට පත්වූ බව මහින්ද රාජපක්ෂ සිතූ බව අපේ ආලෝක සිත්තරා සිහිකරයි. එහෙත් අවසානයේ තියුණු සටනකින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගත්තේය. එම ජයග්‍රහණයන් පසු සිව්වැනි වරටත් ජනාධිපතිවරයකුගේ නිල ඡායාරූප ශිල්පියා බවට සුදත් සිල්වා පත්විය. යුද්ධය නිමා කිරීම ඇතුළු බොහෝ සුවිශේෂී දේ සිදුවූ ආසන්න කාලයේ සුදත්ගේ මතක මල්ල බොහෝ බරය. එහෙත් ඒ සියල්ල ගෙනහැර පෑමට තරම් අපට ඉඩක් නැත. අප මීළඟට පියමනින්නේ 2010 ජනාධිපතිවරණයේ මතකයන් වෙතටයි.

“මේ මැතිවරණ ව්‍යාපාරය යනකොට පුදුම බයක් තිබ්බා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාර්ශ්වයේ අයට. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාර්ශ්වයේ හිටපු සමහර අයත් ගිහිල්ලා සරත් ෆොන්සේකා මහත්තයාට සහයෝගය දෙන්න පටන් ගත්තා. අවසානයේ මට මතකයි මහින්ද මහත්තයා ඡන්දේ දාලා එනකොට මට කෝල් එකක් ආවා එක මාධ්‍යවේදියෙක්ගෙන් ජනාධිපතිතුමා ඉන්නවාද කියලා. මං ඇහැව්වා ඇයි කියලා. එතකොට කිව්වා නිව්ස් එකක් යනවා ජනාධිපතිතුමා ඉන්දියාවට පලාගියා කියලා, ඒකයි කිව්වා. මං කිව්වා නෑ ජනාධිපතිතුමා ඉන්නවා කියලා. පස්සේ මං ජනාධිපතිතුමාගේ වාහනේ පී.එස්.ඕ.ට කතා කරලා ජනාධිපතිතුමාට පෝන් එක දෙන්න කිව්වා. සිද්ධිය කියලා ජනාධිපතිතුමාට ඉස්සරහා නවත්තලා පොටෝ ටික අරගෙන මාධ්‍යයට යවමු කියලා මං කිව්වා. ඊට පස්සෙ අපි බැහැලා ඡන්ද පොළකට ගිහිල්ලා පොටෝ ටිකක් අරගෙන මාධ්‍යයට යවලා තමා ඒ ප්‍රචාරය නතර කළේ.”

මෙවර ජනාධිපතිවරණයේ තවත් රසකතා බොහොමයකි. එම කතා අතරේ නාමයෝජනා භාරදීමේදී සිදුවූ අපූරු සිදුවීමක් අප කථානායකයා සිහිකරයි. ජනාධිපති නාමයෝජනා භාරදීම 1988 ජනාධිපතිවරණයේ සිටම ආවරණය කළේ සුදත් සිල්වා විසින් බව අප මෙහිදී සිහිකළ යුතුය.

“2010 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහත්තයාට නාමයෝජනා භාරදෙන්න තිබ්බේ දවල් දොළහකුත් ගානට උතුර බලාගෙන. ඒත් බාරදෙන තැන මැතිවරණ කොමසාරිස් දිසානායක මහත්තයා තමා උතුර බලාගෙන හිටියේ. මහින්ද මහත්තයා හිටියේ දකුණ බලාගෙන. මහින්ද මහත්තයා මට කතාකරලා ඇහුව්වා සුදත් මං උතුර බලාගෙන දෙන්න තියෙන්නේ මං කොහොම මේක දෙන්නෙ කියලා. මං කිව්වා සර් එහෙම නම් උඩට යන්න වෙනවා කියලා මං කිව්වා. මහින්ද මහත්තයා කිව්වා කොමසාරිස්තුමාට කියන්න කියලා. මං කොමසාරිස්තුමාට කිව්වා. කොමසාරිස්තුමා කිව්වා හා කමක් නෑ කියලා. ඊටපස්සේ අපි වෙලාව එනකල් ඉන්නකොට මහින්ද රාජපක්ෂ මහත්තයා මට ආයේ කතා කළා. ඊටපස්සේ එතුමා කිව්වා මාර වැඩේ සුදත් මගේ මුදු ටික අරලියගහ මන්දිරයේ දාලා ඇවිල්ලානේ කියලා...”

මුදු ටික ගෙනාවේ කොහොමද? 2015 මොකද වුණේ....? ලබන සතියට...
සංවාද සටහන - චමිඳු නිසල්