2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ජනපතිවරණයේ ජ්‍යොතිෂ විග්‍රහය

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 1367

ගෝඨාභය නියත ලෙසම ජනපති වෙනවා

අද කවුරුත් උනන්දු වන්නේ  ජනපතිවරණයෙන් කාට ජය ලැබේද යනුවෙනි. ණය පිළිබඳ ස්ථිර අනාවැකියක් කල් තබා ලබා ගැනීමට අපේක්ෂකයන්, ඔවුන්ට අදාළ දේශපාලන පක්ෂවල අය සහ ඡන්දදායකයන් දැඩි උනන්දුවක් දක්වන බව පෙනේ. ඒ සඳහා විශාල ලෙස මුදල් වියදම් කිරීම ද විවිධ ජ්‍යොතිෂවේදීන් පසුපස යාමට මෙන්ම නොයෙක් පුද පූජා පැවැත්වීම්, යාතුකර්මවලට යොමුවීම් ආදියට ඔවුහු කටයුතු කරති.

කෙසේ වුවද ඕනෑම මනුෂ්‍යයකුගේ කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටා ඇති අයුරැ සලකා බලා ඔහුගේ හෝ ඇයගේ අනාගතය ගැන පැවසිය හැකිය. පෙර පින් හෝ පවු අනුව ලියැවී ඇති කේන්ද්‍රය බොරු කරන්නට කිසිවකුටවත් නුපුළුවන. ඉන්ද්‍රීය භිර්ගු නන්දන නාඩි සූත්‍රය අනුව කළ පර්යේෂණයක් අනුසාරයෙන් කේන්ද්‍රයේ පිහිටි ග්‍රහයන් පිළිබඳ විග්‍රහයක යෙදී ජනපති ජය ලබන තැනැත්තා කවුද යන්න නිසැකවම කියන්නට පුළුවන.

ලෝක ජනපතිවරණ ඉතිහාසයට ඉන්ද්‍රීය භිර්ගු නන්දන නාඩි සූත්‍රය තුළින් ලංකාවේ ජනාධිපතිවරණයක් හරහා මෙකී පර්යේෂණ ලිපිය දේශය පුවත්පතෙහි පළකරනු ලබන්නේ ජ්‍යොතිෂ ලෝලීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහාය.

තරග ජය - රැකියා තනතුරු වාසනා සඳහා, උත්පත්ති සහ ගෝචර ග්‍රහ දිශා ශක්තිය පමණක් පුළුල් ලෙස මෙහිදී පර්යේෂණයට ලක් කරනු ලැබේ.

1906.09.17 දින උපත ලැබූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1978.02.04 වැනි දින ප්‍රථම විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

එතුමාගේ උත්පත්ති ග්‍රහ සටහනේ ශනි - ගුරු බස්නාහිර දිශාවේ සිටියේය. ගෝචර ගුරු බටහිරේත් ගෝචර ශනි නැගෙනහිරේත් සිටියදී ග්‍රහ බලවේගය විසින් ලබාදුන් තෑග්ග ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපති බලතලයි.

1982.10.20 ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේදී ද ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජය ගත්තේය. ඔහු උත්පත්ති ග්‍රහ සටහනේ බස්නාහිර දිශාවේ ශනි - ගුරු තැන්පත්ය. 1982.10.20 වැනි දින ශනි - ගුරු දෙදෙනා බස්නාහිර දිශාවේ ගෝචර වූයේය.

ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ප්‍රබල සිද්ධාන්තයක් භිර්ගු නන්දන නාඩි සූත්‍ර පර්යේෂණයේදී කෙනකුට ප්‍රාතිහාර්යයක් විය හැකිය. මෙය භිර්ගු නන්දන නාඩි සූත්‍ර ඇස්බැන්දුමක්ද?

ජේ. ආර්. ජයවර්ධන දෙවැනි ජනාධිපති ධූර කාලයට දිව්රුම් දුන්දා ග්‍රහ ගෙත්තම.

1906.09.17 දින උපත ලැබූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ජන්ම ග්‍රහ සටහනේ බස්නාහිර දිශාවේ %ශනි - ගුරැ^ යුවල තැන්පත්ය. සෙනසුරා බටහිර දිශාවේ ගමන් කරමින් සංවේදී ස්ථාන කිති කවන 1983.02.04 වැනි දින ඔහු දෙවැනි ධූර කාලයට ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේය.

1924.06.24 ඉපදුන ආර්. ප්‍රේමදාස ජනපතිගේ උත්පත්ති ග්‍රහ සටහනෙහි %ගුරු^ ග්‍රහයා උතුරු දිශාවේය. සෙනසුරු ග්‍රහයා බටහිරේය. 1988.12.10 දින එතුමා ජනපතිවරණ ජය ලබන විට ගුරු ග්‍රහයා දකුණු දිශාවේය. සෙනසුරු ග්‍රහයා නැගෙනහිර දිශාවේය. ඉහත සඳහන් භිර්ගු නන්දන නාඩි සිද්ධාන්තය ඉස්මතු විය. පෘතග්ජනයන් අන්ද මන්ද කළේය.

1916.02.15 ඉපදුණ ඩී. බී. විජේතුංග ජනාධිපතිවයාගේ ජන්ම ග්‍රහ සටහනෙහි රැකියා කාරක සෙනසුරා බටහිර දිශාවේය. ගුරු ග්‍රහයා උතුරු දිශාවේය. 1993.05.01 දින එතුමා ශ්‍රී ලංකාවේ තුන්වැනි විධායක ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේය. එදින ඔහුගේ ජන්ම ග්‍රහ සටහනේ බටහිර දිශාවේ සෙනසුරු ග්‍රහයාය. දකුණු දිහාවේ ගුරු ග්‍රහයා ගෝචරය විය. ඉහත සඳහන් භිර්ගු නන්දන නාඩි සිද්ධාන්තය ක්‍රියාත්මක විය. ආශ්චර්යයක මහත. මිනිස්සු දැඟලුවාට ග්‍රහ බලය නිසොල්මන්ය. වරෙක හිතක් පපුවක් නැතිවා වාගේ හැසිරේ. යමෙකු අසනාරෑඪ කරවීමට කුමන ලෙසක හෝ සිටින කෙනා පෙරලා දමන්නේය.

1945.06.29 උපත ලැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ උත්පත්ති දින ග්‍රහ සටහනෙහි ‘ගුරු’ ග්‍රහයා නැගෙනහිර දිශාවේ සිටියේය. සෙනසුරු ග්‍රහයා බටහිර දිශාවේ සිටියේය.

1994.11.09 වැනි දින සෙනසුරු සහ ගුරු ග්‍රහ යුවල බටහිර දිශාවේ එතුමියගේ ජන්ම ග්‍රහ සටහනෙහි ක්‍රියාත්මක විය.

උක්තගත ඉන්ද්‍රීය භිර්ගු නන්දන නාඩි පර්යේෂණ දත්තය ඉස්මතු විය. එතුමිය ජනපති අසුන හිමිකර ගත්තාය.

1945. 06. 29 දින උපත ලැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේය. එහි උත්පත්ති දිනයේදී සෙනසුරා බටහිර දිශාවේද ගුරු ග්‍රහයා නැගෙනහිර දිශාවේය.

1999.12.21 වැනිදා ඇය දෙවැනි වරට ද ජනාධිපතිවරිය වූවාය. එදා ශනි - ගුරු යන ග්‍රහයන් දෙදෙනාම නැගෙනහිර දිශාවේ ගෝචරය වූයේය.

උතුම් වූ ඉන්ද්‍රීය භිර්ගු නන්දන නාඩි සූත්‍ර සිද්ධාන්තය එදාද ක්‍රියාත්මක වී තිබූ බව මාගේ පර්යේෂණ චාරිකාවේදී නිරීක්ෂණය වෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේය. 1945. 11. 18 දින එතුමාගේ ජන්ම ග්‍රහ සටහනෙහි සෙනසුරු ග්‍රහයා උතුරු දිශාවේ ද තැන්පත් වී සිටියේය.

2005.11.17 වැනිදා එතුමා විධායක ජනාධිපතිවරයා ලෙස විශ්ව ග්‍රහ බලය විසින් ක්‍රියා කළේය. එදින සෙනසුරු ග්‍රහයා උතුරේ ගෝචරය විය.

මේ අනුව ගෝචර සෙනසුරු ග්‍රහයා උත්පත්ති ගුරු ග්‍රහයාට විරුද්ධ දිශාවේ ද උත්පත්ති සෙනසුරා සිටි උතුරු දිශාවේම ද ගෝචරය විය.

අපගේ ඉන්ද්‍රීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම් සම්ප්‍රදායේ දත්තය නැවත වතාවක් සක්‍රීය කළ අවස්ථාවකි මෙය.

2010. 01. 26 වැනිදා එතුමා ජනාධිපති ලෙස තේරී පත්විය. එදා එතුමාගේ උත්පත්ති ග්‍රහ සටහනට අනුව බටහිර දිශාවේ සෙනසුරා ගෝචරය විය. උත්පත්ති ශනිට විරුද්ධ දිශාවේ ද උත්පත්ති ගුරු සිටින දිශාවේ ද සෙනසුරා ගෝචරය විය. නැවත වතාවක් අප පෙන්වා දෙනු ලබන සිද්ධාන්තය සනාථ විය. එතුමා ජනාධිපතිවරයා වූයේය.

ඊළඟට 1951.09.03 උපත ලැබූ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගනිමු. ඔහුගේ ජන්ම පත්‍රයෙහි සෙනසුරා දකුණු දිශාවේය. ගුරු ග්‍රහයා උතුරු දිශාවේය.

2015.01.08 වැනිදා ඔහු ජනාධිපතිවරණ සටනින් ජය ලැබුවේය. එදින ගෝචර සෙනසුරු ග්‍රහයා සහ ගුරු ග්‍රහයා උතුරු දිශාවේ එතුමාගේ ජන්ම පත්‍රයේ ක්‍රියාත්මක වූයේය.

මාගේ ජ්‍යොතිෂ පර්යේෂණ චාරිකාවේදී උතුම් වූ ඉන්ද්‍රීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම් සිද්ධාන්තය නැවතත් එදා දේශපාලන ජයග්‍රහණය සනාථ කරනු ලැබුවේය.

1946.06.20 වැනි දින උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේය. එතුමාගේ ජන්ම පත්‍රයේ උත්පත්ති දින ග්‍රහ සටහනෙහි නැගෙනහිර දිශාවේ සෙනසුරු ග්‍රහයා තැන්පත් වී සිටියේය.

2019.11.16 වැනිදා ජනාධිපතිවරණ දිනයේදී ගෝචර සෙනසුරු ග්‍රහයා සහ ගුරු ග්‍රහයා එතුමාගේ උත්පත්ති ග්‍රහ සටහටනහි නැගෙනහිර දිශාවේ ගමන් කරනු ලබයි.

අද ප්‍රබල අනාවැකිය ප්‍රකාශ කරන්නට ‘දේශය’ පුවත්පතේ 2019.09.22 ඉරිදා අටවැනි පිටුවේ ද 2019. 10. 27 වැනිදා අටවැනි පිටුවේද 2019.11.03 වැනිදා දෙවැනි පිටුවේ ද පලකළ මාගේ අනාවැකි ප්‍රකාශිත පසුබිම් ජාලය මම නිර්මාණය කරගතිමි.

කෙනකුට ජය ලබා දීමේදී මලක් පහනක් හෝ හරිහැටි පුදන්නට විරුද්ධ පාර්ශ්වයට ඉඩ නොදීම ද ග්‍රහ ශක්තියේ එක ක්‍රියාන්විතයකි. 2019. 01. 16 ජනාධිපතිවරණයේදී ඒකාන්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ජය ලබන බවයි. ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම් සිද්ධාන්ත තුළින් මම නිරීක්ෂණය කරනු ලබන්නේ ජ්‍යොතිෂ ලෝලී පර්යේෂකයන්ටයි මගේ ආරාධනය.

► විශ්වකීර්ති ජ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමණී
දේශබන්දු - ලංකා පුත්‍ර

සුරා ශ්‍රී ගුණවර්ධන

දිනන්නේ සජිත්

ඕනෑම මැතිවරණයක් ජය ගැනීමට නම් පෙර පින මෙන්ම පෙර සිට පැවතගෙන එන දැඩි ආත්ම ශක්තියක් ද තිබිය යුතුය. තවද තමන් තුළ ආත්මග්‍රහක ග්‍රහයකු ගොඩනැගී තිබීම වැදගත් වේ. පෙර පින මතුව එයින් ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ එවිටය. පෙර පින මෙන්ම දැඩි ආත්මශක්තිය නිසාම ඉහළට ඔසවා තැබෙන නායකයන් අපේ රටේ එමට සිටි බව කිව යුතුය. අපේ ජනපති තනතුර දැරූ බොහෝ දෙනකුට දැඩි ආත්ම ධෛර්යයක් මෙන්ම සුවිශේෂී ගුණාංග ද පිහිටා තිබුණි. බොහෝ නායකයන්ට ජනපති වීමට පෙර මෙන්ම ඊට පසු ද දැඩි පීඩනයන්ට ලක්වන්නට සිදු වූ බව රහසක් නොවේ. ඒ අයට සියල්ල අභිබවාගෙන නියමිත මුළු කාලයම පාලන බලයේ රැඳී සිටීමට හැකිව තිබුණු අවස්ථා ද විය.

මෙහි අනෙක් කරුණ නම්, මේ ආත්මයේ දී තිබූ රාජයෝග අග්‍රගන්‍ය වීමද, එම පාලන බලයට නැඹුරැ වූ ඒවා වී තිබීමය. ඒ සඳහා අවස්ථාවක් තිබිය යුතුය. උදාහරණයක් ලෙස පවසතොත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට දේශපාලනයට අවතීර්ණ වී ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස අග්‍රගන්‍ය තනතුරක් දැරීමට අවස්ථාව ලැබුණි.

මෙලෙස සුවිශේෂ අවස්ථා ලැබුණු නායකයන් ලෙස ඩී.එස්. සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල සහ ඩඩ්ලි සේනානායක ආදීන් දැක්විය හැකිය. මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන අය වර්තමානයේ කැපීපෙනෙන සුවිශේෂ චරිත වන අතර ඒ අයට ජන්මයෙන් ගෙනෙන ලද ජනතා ආකර්ශන ශක්තිය නිසාම රාජයෝග ඵල දරා එම තනතුරු ලබාගැනීමට හැකි වූ බවද සඳහන් කළ යුතුය.

කෙසේ වුවද රජුන් තනන්නට නම් පෙර පින මෙන්ම රාජයෝග ලබා තිබීම ද අත්‍යවශ්‍ය වෙයි. ඒ සමඟම තම තමන්ගේ කාර්යභාරය තම හැකියාවන් ඉස්මතු කරමින් සැම දෙයම නිසි පරිදි ඉටුකර ගැනීමට හැකි ඥානවන්ත ග්‍රහයෝගයන් ඔවුන් තුළ පැලපදියම් වී තිබීම පෙන්නුම් කරයි. ඒ නිසාම මැතිවරණවලදී ජනතා කැමැත්ත මත ජයග්‍රහණය කර අදාළ තනතුරුවලට පත්වීමට තරම් ප්‍රබල ග්‍රහයෝග තිබුණි. එසේම බොහෝ අවස්ථාවල ජාත්‍යන්තරයේ අනුග්‍රහය ද දිනාගැනීමට මේ අයට හැකි විය.
මෙම ජනාධිපතිවරණය පිළිබඳ සලකා බලන විට මේ තරගයේ දී කැපීපෙනෙන ලෙස වෙනදාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවන ප්‍රබල ග්‍රහචාර බලයක් 3 වැනි තැනට පත්වෙන අපේක්ෂකයාට ලබාගැනීමට ඉඩ ලැබෙන බව කිව හැකිය. සෙසු ප්‍රබල අපේක්ෂකයන් දෙදෙනාට කරට කර සිටීමට තරම් ඡන්ද ලබාගත හැකිවන බව පෙනෙන්නට තිබේ. කිසි දිනක දේශපාලනයට පැමිණීමට නොසිතූ කාලයක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට රටේ නායිකාව විය හැකි වූයේ සැඟවී තිබූ ග්‍රහ බලවේග ක්ෂණිකව ප්‍රබලව නැගී සිටීම නිසාය.

ඒ හා සමාන ග්‍රහ තත්ත්වයක් මේ වන විට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තුළ පිහිටා තිබෙන අතර එම බලවේග දිලිසි උද්දීපනය වීම නිරායාසයෙන්ම සිදුවනවා ඇත. ජනතා සිත් සතන් ආකර්ශනය කර ගැනීමට සිරිමාවෝ තරම් සමත් අයකු සිටී නම් ඒ සජිත් මිස අනිකකු නොවේ. ඒ හේතුවෙන් බලය පැහැදිලිව පිටාර ගලන තත්ත්වයක් නිර්මාණය වනවා ඇත. එය මුලදී පැවසුවා මෙන් පෙර පිනකින් මතු වූ බලයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙර පින තිබුණද කේන්ද්‍රය අනුව රාජයෝග ඇති බවක් නොපෙනේ. එබැවින් සජිත් සමඟ කරට කර යන බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබුණද බලය ලබාගැනීමට තරම් අවස්ථාවක් නොමැති බව කිව යුතුය. මෙවර තරගයේ දී දෙදෙනා අතර රාජ්‍ය බලය කැරකෙන්නේ තරාදියේ දෙපස තුලනය වනවා සේය. එහෙත් අවසානයේ දී රාජයෝග බලපෑමෙන් සජිත් ඔහුගේ ඉලක්කයට යොමුවන අතර ජයග්‍රාහකයා ඔහු වන්නේය.

සාධාරණ මැතිවරණයක් පැවතියේ නම් එහි වාසිය ඔහුට ලැබීම වැළැක්වීමට නුපුළුවන. මම දේශපාලන වශයෙන් කිසිදු පක්ෂයකට නැඹුරු වූවකු නොවෙමි. දේශපාලන තනතුරු ලැබුවෙක් හෝ ලබාගන්නට බලාපොරොත්තු වන්නකු ද නොවෙමි. යමක් සත්‍ය නම් එය සත්‍ය ලෙස පැවසීම මගේ ගතිය වන අතර වාසි මත පදනම්ව එය සඟවා තැබීම සුදුසු නොවේ. වැඩක් ඇති කෙනකුට තනතුරක් ලැබීම ආඩම්බරයට වඩා ඔහු තව තවත් නිහතමානී වීමට හේතු වනවා ඇත.

සජිත් අපේක්ෂකයා තම නාමයෝජනා පත්‍රය බාරදුන් වේලාව සේම එම දිනයද මැතිවරණය පැවැත්වෙන දිනය ග්‍රහතත්ත්වය අනුව ද සලකා බලනවිට ඔහුට වඩාත් වාසි සහගත බව කිවයුතුය.

පොහොට්ටුව පිපීගෙන එද්දී හංසයා එම ජලයෙන් කිරි වෙන්කර ගැනීමට සමත් වනවා ඇත.

► ජ්‍යොතිෂ විද්‍යා විශාරද
මහාචාර්ය හේමපාල පතිරණ

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00