2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

සරසවි දෙකකින් ඇසුණු හද කම්පා කළ මරණ!

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 233

ඒ හිත්වල මොනතරම් නම් බලාපොරොත්තු තියෙන්න ඇත්ද? කුඩා කල සිටම දැකි සිහිනය දවසින් දවස සැබෑවක් වන්නට ළංවෙද්දි ඒ හිත්වල තිබුණ බලාපොරොත්තු එක නිමේෂයකින් සුණු විසුණු වී ගියේ කාගේ වරදකින්ද?

විශ්වවිද්‍යාල සිහින සැබෑ කරගත් තරුණ ජීවිත දෙකක් පසුගියදා අකාලයේ ඇති වූ රෝග තත්ත්වයක් හේතුවෙන් අවසන් විය. රජරට විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ඔෂානි එරංගිකා පිටවල විසිපස් හැවිරිදි ශිෂ්‍යාවකි. මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ ජීවත්වුණු ඔෂානි මහනුවර ස්වර්ණමාලි බාලිකාවේ අධ්‍යාපනය ලැබූ දීප්තිමත් ශිෂ්‍යාවකි. පවුලේ දරුවන් දෙදෙනකුගේ සෙවණේ හැදී වැඩුණු ඔෂානි පවුලේ වැඩිමලා වූවාය. බාල සොහොයුරා ද කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි.

ඔෂානි දින කිහිපයක සිට උණ රෝගයෙන් පෙළුණාය. ඇය පමණක්ම නොව විශ්ව විද්‍යාලයේ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ වෛරස උණ රෝගයට ගොදුරු වූහ. ඇතැමුන් ඒ සඳහා ප්‍රතිකාර ගත් අතර තව සමහරු රෝහල්වල නේවාසික ප්‍රතිකාර පවා ගත්හ. උණත් සමඟ ඇතිවන ඇඟපතේ වේදනාවට ඔෂානි දරුණු ලෙසින් වධ වින්දාය. මේ නිසාම විශ්වවිද්‍යාලයේ සිට ඔෂානි නිවසට පැමිණියේ දරුණු හිසේ වේදනාවක්, ඇඟපතේ අමාරැවක් හේතුවෙනි. බස් රථවල පැමිණීමෙන් වෙනදාටත් වඩා තෙහෙට්ටුවක් ඔෂානිට දැනුණි. ආ සැණින්ම ඇය ඇඳේ හාන්සි වූවාය. තම දියණියගේ රෝගී තත්ත්වය අශෝකා රංජිනීගේ හදවත සසල කරවීය. වෙනදාට විශ්වවිද්‍යාල ජීවිතය ගැන මවත් සමඟ විවිධ කරුණු පැවසුවත් ඇඟට දැනෙන අධික තෙහෙට්ටුවත් උණත් නිසාම ඔෂානි ඒ කිසිවක්ම කතා කළේ නැත. පේරාදෙණිය මහ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට ගිය විටදී වෛද්‍යවරු ඔෂානිට රෝහලේ හත්වැනි වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ගැනීමට යොමු කළහ. නමුත් එන්න එන්නම ඇයගේ උණ, ඇඟපත වේදනාව වැඩිවන්නට විය. මේ නිසාම වෛද්‍යවරු ඇයව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඉක්මන් ප්‍රතිකාර ලබාදීමට තීරණය කළහ.

නමුත්... සියල්ල සුණු විසුණු වී ගියේ එක් නිමේෂයකිනි. ආදරණීය මව්පියන්ගේ එකම දියණිය තරිඳුගේ එකම සහෝදරිය මේ සියලු දෙනා තනිකර දෑස් පියා ගත්තාය. අහස උසට බලාපොරොත්තු ගොන්නක් එකතු කරගත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාව සියල්ල එක මොහොතකින් අතහැර යන්න ගියාය.

වෛද්‍ය වාර්තාවලට අනුව ඇය මියයාමට හේතුව නිශ්චිතවම සොයාගැනීමට නොහැකි වූ බැවින් ඇයගේ සිරරේ කොටස් කොළඹ රස පරීක්ෂක වෙත යවනු ලැබීය. ඔෂානි මෙම උණ රෝගයෙන් දැඩි ලෙස ඇඟපතේ වේදනාවෙනුත්, හිසේ වේදනාවෙනුත් පීඩා විඳි බව ඇයගේ මව පවසයි.

අනේ මගේ දුව කොයිතරම් ආසාවෙන් ඉගෙනගත්තද.. මේ මොකද වුණේ? විශ්ව විද්‍යාලයේ ඉඳන් ගෙදර ආවේ අනේ අම්මේ ඇඟ හොඳටෝම රිදෙනවා කියලයා. කවුද මගේ දුවව හොරැ අරගෙන ගියේ? අපි කොහොමද දුවේ ඔයා නැතිව ඉන්නේ?*

අශෝකා තම දියණිය නොමැති ශෝකයෙන් හඬා වැටේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව මවත්, පියාත් බලාගන්නට අදිටන් කරගත් ඔෂානි අද ජීවිතය හැරදා ගොස් අවසන්ය. නමුත් ඇය නොමැති පාළුව මේ හඬා වැළපෙන හිත්වලින් කවදා මැකේවිද?

ඔෂානි උණ වෛරසයකින් ජීවිතය හැර ගිය ද සබරගමු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ තිවංක ඉෂාන් මධුරංග නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මියයාමට හේතුව ලෙසින් මරණ පරික්ෂාව තුළින් වාර්තා වන්නේ උගුරේ ධමනියක් පුපුරා යාම බවය.

තිවංක සබරගමු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

බලංගොඩ ප්‍රදේශයේ දෙහිගමඩගෙදර නිල්දණ්ඩාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි තිවංක විසි හය හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. පවුලේ එකම දරුවා වුණ තිවංක පාඩම් වැඩ කටයුතු කිරීම හේතුවෙන් හිසේ කැක්කුමකින් පෙළුණේය. මේ නිසාම ඒ සඳහා තිවංක ප්‍රතිකාර ලබාගත්තේය.

&අනේ මගේ පුතාට එහෙම ලෙඩක් තිබුණේ නැහැ. ඔළුව කැක්කුමකට පුතා බෙහෙත් ගත්තා. ඒ නිසාම පුතා ටිකක් වැඩිපුර නිදාගන්නවා. පුතා කැම්පස් ගියාට පස්සේ ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගත්තා. අනේ... අපේ එකම පුතා... අපිට නැතිවුණා..*

තිවංකගේ මව ජීවරාණි තම පුතණුවන් නොමැති ශෝකයෙන් හඬා වැළපෙන්නේය. සබරගමු විශ්වවිද්‍යාලයේ නිවාඩු දුන් දිනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ගී කියමින් විනෝද වෙමින් සිටියහ. තිවංක තම විශ්වවිද්‍යාල සගයත් සමඟ ගී ගායනා කරන අතරේ කිසිවකුත් නොසිතූ මොහොතක සිහිය නැති වී බිම ඇද වැටුණේය.

ඉතා ඉක්මනින් තිවංකව රෝහල් ගත කරනු ලැබීය. බලංගොඩ රෝහලෙන් තිවංකව කොළඹ මහ රෝහලට හදිසි ප්‍රතිකාර සඳහා ඉක්මනින්ම මාරු කෙරුණි. ඒ දැඩි සත්කාර ඒකකයටය. නමුත් තම හුස්ම තවතවත් අල්ලා ගන්නට මේ තරුණයාට හැකියාවක් නොතිබුණි. රාත්‍රියේදී ඔහු තම අවසන් හුස්ම පොද මේ වා තලයට මුදාහැරියේය.

මාපියන්ට දරු සෙනෙහස අහිමි විය. අහස උසට තිබූ බලාපොරොත්තු එක් නිමේෂයකින් සුන් වී ගියේය. ගලනාළයේ ප්‍රධාන නාළයක් හදිසියේ පිපිරීම හේතුවෙන් ලේ පිටවී තිවංක මරණයට පත්විය.

මෙලෙස විශ්වවිද්‍යාල දෙකක ජීවිත දෙකක් පරව ගියේ එකම සතියක් තුළදීය.

► දිශානි ජයමාලි කරුණාරත්න

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30