2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

පුටු පොරයට තව දවස් 13යි

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 289

ජනාධිපතිවරණයට ඇත්තේ තව සති දෙකක් පමණි. දැන් තරගයේ උණුසුම්ම අවස්ථාවට පැමිණ තිබේ. එළඹෙන නොවැම්බර් 13 වැනිදායින් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් වන නිසාවෙන් දැන් සියල්ලට ඇත්තේ තව දින දහයක් පමණි. මෙම තීරණාත්මක කාලයේ සිදුවිය හැකි දෑ පිළිබඳ පූර්ව අවබෝධ ලබාගැනීම උදෙසා අපි මේ සටහන තබමු. ඒ අනුව මෙය පුරෝකථනයකි. එහි අපේක්ෂාව කිසිදු දේශපාලන කඳවුරක් වෙනුවෙන් වාසි සැලසීම නොව මහජනයා වෙනුවෙන් මාධ්‍යයේ වගකීම ඉටු කිරීම බවද පළමුව ලියා තැබිය යුතුය.

කවුරුත් බලාපොරොත්තු වූ ගස්මාරැ පෙති තෝරු සෙල්ලම දෙපැත්තේම තෝරු මෝරුන් විසින් ඉදිරි සතියේදී සිදුකරනු ඇත. මේතාක් කල් දේශපාලනයේ තරමක් නිහඬව සිටි චරිත කිහිපයක් ඒ අනුව ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීමට ඉඩ තිබේ. පොදුවේ සැලකීමේදී කුමාර වෙල්ගම, වසන්ත සේනානායක , අර්ජුන රණතුංග, සාගල රත්නායක වැනි චරිතවල යම් දේශපාලන විපර්යාසයක් බොහෝදෙනා අපේක්ෂා කරන බව පෙනී යයි. එසේම කුමාර වෙල්ගම නියෝජනය කරන ශ්‍රීලනිපය සුරුකීමේ සන්ධානය ජනාධිපතිවරණයේ සිය භූමීකාව රඟ දැක්වීමට සූදානම් වන බව ද දැනගන්නට ලැබේ. එහි පුපුරායාම ඉතාම ආසන්න දිනෙක සිදුවෙතැයි කියැවේ.

ඉදිරි දින දහය තුළ විශේෂ හෙළිදරව්ව නමින් මාධ්‍ය සාකච්ඡා කිහිපයකුත් නොවරදවාම පැවැත්වෙනු ඇත. ඊට අවශ්‍ය පසුබිම මේ වනවිට සැකසී තිබේ. ආණ්ඩුව විසින් චෝදනා කරන පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය එයින් එකකි. ඊට අමතරව පොහොට්ටුව පාර්ශ්වයෙන්ද එවන්ම හෙළිදරව් කිහිපයක් සිදුකිරීමට උත්සාහ දරනු ඇත. ප්‍රමුඛ දෙපාර්ශ්වය එලෙස පාවෙන ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ ව්‍යාපෘතියක නිරතවෙන අතරතුර ජාතික ජනතා බලවේගයද නිහඬ වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. ප්‍රමුඛ කණ්ඩායම් ද්විත්වයම අප්‍රසාදයට පත්කරන තුරැම්පු ඔවුන් සතුව වේ නම් නොවරදවාම ඔවුන් එය භාවිතයට ගනු ඇත. හෙළිදරව් පිළිබඳ කරැණු පොදුවේ ගත්කළ පාස්කු ප්‍රහාර, බැඳුම්කරය, අර්ජුන් මහේන්ද්‍රන් මේ සම්බන්ධ මාතෘකා අතර ඇදීමට ඉඩ තිබේ.

දැනටමත් ඔඩුදුවමින් ඇති උතුරේ දේශපාලන තීන්දුවේ අර්බුදය ජනාධිපතිවරණයේ තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇත. ඡන්ද වර්ජන යන මාතෘකාව යටතේ දේශපාලනය කිරීමට උතුරේ දේශපාලකයන් පිරිසකගේ සූදානම සාර්ථක වුවහොත් උතුරේ මැතිවරණයේ සාමය සම්බන්ධව ප්‍රබල ගැටලුවක් මතුවිය හැකිය. කෙසේ වෙතත් ජාත්‍යන්තර අවධානය උතුරු පළාත දෙසට යොමුකර ගැනීමට උතුරේ දේශපාලනඥයන් උත්සාහ කරනු ඇත. එසේම දකුණේද වර්ගවාදී ප්‍රකාශයන් මේ දින කිහිපයේදී අසන්නට ලැබිය හැකිය. මේ දක්වා තරමක් නිහඬ ජාතිවාදී මත දරණ සංවිධාන හඬ අවදි කළහොත් ජනාධිපතිවරණයේ හැඩය වෙනස්වීමටද ඉඩ තිබේ. මේ සංවිධාන අතර යම් බෙදීමක් හටගැනීමක්ද අපේක්ෂා කළ හැකි අතර එය අනපේක්ෂිත දේශපාලන සංසිද්ධියක් වීමට ඉඩ තිබේ.

ප්‍රධාන අපේක්ෂකයන්ගේ පොරොන්දු සහ තීන්දු වැඩිම අගයකින් යුතුව ජනගත වන්නේ ඉදිරි දෙසතියේය. එජාපයේ අගමැති තීන්දුව මෙහිදී වැඩි වටිනාකම් ඇති තීරණයක් වීමට ඉඩ තිබේ. එසේම ගෝඨාභය රාජපක්ෂ විසින් තරාතිරම නොබලා දූෂිත දේශපාලකයන් අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳ ලබාදෙන පොරොන්දුද ආකර්ෂණීය වීමට ඉඩ තිබේ. ජාතික ජනතා බලවේගය, ජාතික ජනතා ව්‍යාපාරය දෙවැනි මනාප සම්බන්ධව අවසන් තීරණයක් ලබාදෙනු ඇතැයි ඇතැමුන් තුළ විශ්වාසයක් වේ. එසේම ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් දෙදෙනා අතරින් එක් අයෙක් අවසාන මොහොතේ දෙවැනි මනාප ඉල්ලා සිටීමේ හැකියාවක්ද තිබේ. කෙසේ වෙතත් එය ප්‍රත්‍යක්ෂ කොට කිව හැකි තත්ත්වයක් නොවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් ජනාධිපතිවරණයට බලපෑම් කළ හැකි ප්‍රකාශයක් නිකුත්විය හැකි බවට දැනටමත් ප්‍රකාශයට පත්වී ඇත. එය ඉදිරි දින දහය තුළ කාගේත් අවධානය දිනාගන්නා සිදුවීමක් වන්නට ඉඩ තිබේ. මේ අනුව වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද තමන් ඉදිරියේදී අනුගමනය කරන පිළිවෙත ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රසිද්ධියේ පැවසීමට යම් ඉඩකඩක් තිබේ. ඒ කෙසේ වුවත් වර්තමාන ජනාධිපතිවරයා ඉදිරි සති දෙක තුළ බොහෝ විවෘත කිරීම් සංඛ්‍යාවක් සිදුකරනු ඇතැයි කියැවේ.

ජනාධිපතිවරණය සහ විදෙස් බලපෑම් අතින්ද ඉදිරි කාලය තීරණාත්මක වනු ඇත. මේ දක්වා වන ජාත්‍යන්තර නිහඬතාව ඉදිරියේදී බිඳවැටිය හැකිය. තානාපති කාර්යාල මහකොමසාරිස් කාර්යාල හැසිරීම දේශපාලන සංවාදයට එකතු විය හැකි බවද සිතිය හැකිය. එසේම යම් යම් නිවේදනද නිකුත් වීමට ඉඩ තිබේ. ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයන්ගේ කතා තුළ ශ්‍රී ලංකාව යන වචන අන්තර්ගත වීමටද හැකියාවක් ඇත. ජාත්‍යන්තර කුමන්ත්‍රණ යන මාතෘකාව බොහෝවිට කරළියට පැමිණෙනු ඇත. විවිධ අරමුණු පෙරදැරිව අධිකරණ වෙත යන පිරිස්ද මේ දෙසතියේ දී දැකගත හැකිවනු ඇත. එසේම මැතිවරණ කොමිසමට පවා දේශපාලකයන්ගෙන් චෝදනා එල්ල වීමේ අවදානමක් පවතී.

මේ සියල්ලෙන් කුමක් සත්‍ය වේද කුමක් අසත්‍යයක් වේද යන්න තීරණය කිරීමට ඔබට තව බොහෝ කලක් නොයනු ඇත. කවරක් වුවත් සබුද්ධික ඡන්ද දායකයන් ලෙස කටයුතු කිරීමට අප සැම වගබලා ගතයුතු වේ. 

ජනපතිවරණ ඩයරිය

ඉරිදා 27

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් 35 දෙනාගෙන් 29 දෙනෙක් තාමත් වත්කම්, බැරකම් ප්‍රකාශ දීලා නෑ. එකත් නියම වැඩේ. අද සජිත් කිව්වා මූල්‍ය වංචාවලට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු තමන්ගේ ආණ්ඩුවට එක්කර ගන්නේ නෑ කියලා. ගෝඨාභය අද කිව්වා විදෙස් බලපෑම්වලට යටත් වන අමාත්‍ය මණ්ඩලයක් වර්තමානයේ ඉන්න නිසා මේ රජයට රටේ ආරක්ෂාව තහවුරැ කරන්න බෑ කියලා.

සඳුදා 28

ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ප‍්‍රධාන වශයෙන් අද අරම්භවුණා. ටී.එන්.ඒ. තීරණය තව පරක්කු වෙනවලු. සජිත් කියනවා ගෝඨා එයාව කොපි කරනවලු. ගෝඨාභයගේ කට්ටිය ඒකේ අනික් පැත්ත කියන්නේ.  ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විශේෂ ප්‍රකාශයක් කරන්න යනවා කියලා ආරංචියි. සර්ප්‍රයිස් එකක්ද දන්නේ නෑ.

අඟහරුවාදා 29

ගෝඨාභයට පාස්කු ප්‍රහාරයේ වගකීම පවරන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ගම්මන්පිල අද හෙළිදරව්වක් කළා. ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැයකින් දීර්ඝ කරන්නත් තීරණය කළෙත් අද. පහුගිය කාලේ සජිත්ට කරපු අනම්මනං චෝදනාවලට අද එයා උත්තරයක් දුන්නා. තමා සාම්ප්‍රදායික රාමුවෙන් පරිබාහිරව කටයුතු කිරීමට සූදානම් නිසා තමා ඒ වගේ දේවල් කිව්වේ කියලා එතුමා කිව්වේ.

බදාදා 30 

සජිත් ජනපති වුණොත් අගමැති ලෙස කටයුතු කරන්නේ තමන්මයි කියල අද රනිල් අගමැතිතුමා කිව්වා. කාන්තා සනීපාරක්ෂාව ගැන කතාවත් පත්තුවෙලා.

බ්‍රහස්පතින්දා 31

තැපැල් ඡන්ද අද. ඔන්න අද සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණා. එකේ නම සජිත් සමාජ විප්ලවය. ඔන්න පොහොට්ටුවේ සන්ධානයත් හැදුවා. පක්ෂ 17ක්ම ඉන්නවා කියලත් කියනවා. තැපැල් ඡන්දය ඕන විදිහකට දාගන්න කියලා උතුරට ටී.එන්.ඒ. එක කියලා.

සිකුරාදා 01 

අදත් තැපැල් ඡන්දේ. කාගේත් අවධානය ඒ ගැන. හොඳ උනන්දුවක් ඡන්දෙ දාන්න තිබුණයි කියලා මාධ්‍ය කිව්වා. ජනතාව ලබාදෙන තාවකාලික භාරකාරිත්වය පණවගේ සුරකිනවා කියලා අද සජිත් කියලා තිබ්බා.අද සජිත්ලත් ගිවිසුම් ගැහුවා. 

ඡන්ද වේදිකාවෙන් - එකට එක

 

රාජපක්ෂලා ගත් ණය ගෙවන්න වුණේ මටයි. ඒ සඳහා බැනුම් අහන්න වුණේ මටයි. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා සැමට නිවාස දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ඔබ වෙනුවෙන් කළේ මොකක්ද?
- අගමැති රනිල් වික්‍රමසිංහ

කන බොන දේවල්වල මිල මට වඩා හොඳට ඔබ දන්නවා. මේ තත්ත්වය වෙනස් කරන්න ප්‍රේමදාස මහත්තයාට බෑ. අපි හැදූ සම්පත් විදේශිකයන්ට විකිණීම හැර මේ ආණ්ඩුව මොනවාද කළේ.
- විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

එදා අපි අභිමානයක් ලබාදුන් රණවිරුවාගේ ගෞරවය වත්මන් රජය කෙලෙසලා දැම්මා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමුකළේ නෑ. අභූත චෝදනා නගලා බුද්ධි අංශ සිරගත කළා.
- ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

මේ අය එදා වගේම අදත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රණවිරැවන් පවා දෙනවා. මා නම් එසේ කරන්නේ නෑ. රණවිරැවන් වෙනුවෙන් ඕනෑම තොණ්ඩුවකට බෙල්ල දෙන්න මම සූදානම්.
- ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රුකගන්න ඕනේ නම් පක්ෂය කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම හංසයා ලකුණට ඡන්දය දියයුතු වෙනවා.
- පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා

නිදහස් පක්ෂයේ කිසිම භේදයක් නැතිව සියලුදෙනාම එකා වගේ නොවැ. 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්න. ශ්‍රීලනිප පාක්ෂිකයා අතරමං වෙන අපි ඉඩ තියන්නේ නෑ.
- පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක

විකල්පයේ කතන්දර

තරුණ පෙළට දොර වහලා

අනුර කුමාර දිසානායක - ජාතික ජන බලවේගය

මේ යල් පැනගිය දේශපාලනය තරුණයන්ට දැන් තිත්තවෙලා තියෙන්නේ. තාරුණ්‍යයට ඉදිරියට යාම සඳහා මේ දේශපාලනය තුළ දොරටු විවෘත වී තිබේද? ඉන්න හෝ හිටපු මැති ඇමැතියන්ගේ පුත්තු, ජනාධිපතිගෙ පුත්තු ආදී ලෙස අද දේශපාලනය පරම්පරාවෙන් පරම්පරාවට යන උරැමයක් බවට පත්වෙලා. එහෙම නොවී තාරැණ්‍යයට දොරටු විවෘත කරලා තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. රට ගැන කැක්කුමක්, ඇගයීමක් තිබෙන මහජන සේවය, ජනතාව ගැන අකලංක වුවමනාවක් තිබෙන, රටට භක්තියක් හා ආදරයක් තිබෙන නව තාරැණ්‍යයට දේශපාලනයේ ඉදිරියටම යාම සඳහා අවශ්‍ය දොරටු විවෘත කිරීමට අපි සූදානම්.

ලොක්කෝ බදාගන්නවා පාක්ෂිකයෝ ගහගන්නවා

මහේෂ් සේනානායක - ජාතික ජනතා ව්‍යාපාරය

ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් ඔවුන්ගේ කණ්ඩායම් මෙහෙයවන ආකාරය ගැන. ප‍්‍රචණ්ඩ සහ අපරාධකාරි රුල්ලකට තමයි ඔවුන් මේ එන්නට හදන්නේ. මේක තමයි ඔවුන් දන්න දේශපාලනය. මේක තමයි මේ රටේ තිබුණු ගැටලුව. දැනට නම් අපට ප‍්‍රචණ්ඩත්වයක් නැහැ. නමුත් ලබන සති කිහිපය තුළ අපගේ පිබිදීම තුළ එවැන්නක් ඇති නොවෙයි කියලා කියන්න අමාරැයි. අපේක්ෂකයෝ මැතිවරණයෙන් පස්සේ සුහදව එකතුවෙනවා. පාක්ෂිකයෝ ගම්වල ගහගන්නවා, මරාගන්නවා. ඕක තමයි මේ රටේ මෙතෙක් කාලෙකට වුණේ. දැන්වත් ඡන්දදායකයෝ බුද්ධිමත්ව කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

කවුරු දිනුවත් මාස 3යි දෙන්නේ...

එම්.කේ.සිවාජිලිංගම් - ස්වාධීන ජනාධිපති අපේක්ෂක

නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණයෙන් පස්සෙ  සජිත් ප්‍රේමදාස හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ කවුරැන් බලයට පත්වුණත් ඒ පත්වන නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මාස තුනයි ලබාදෙන්නේ. මාස තුනක ඒ කාලය තුළ අනිවාර්ෙයන්ම උතුරැ නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට විසඳුම් ගෙන ආ යුතුයි. නැතිනම් අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් උතුරැ නැගෙනහිර ජනතාව අතර ජනමත විචාරණයක් සිදුකර විසඳුම් ගෙන ඒමට සිදුවේවි. අන්තිම යුද්ධය වෙලාවේදී ශ්‍රී ලංකා හමුදාව අතින් සුවිශාල දමිළ මිනිස් සංහාරයක් සිදුවුණා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් මානව හිමිකම් කවුන්සිලයේත් මැදිහත් වීමෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතුව තිබෙනවා.

 

සතියේ පත්තුව 

 

වසන්තගේ ඔරොප්පුව

මේ සතියේ ඔන්න එක එක ජාතියෙ ඒවා පත්තු වුණා. මීට කාලෙකට කලින් පුපුරලා දැන් පස්සේ නිෂ්ක්‍රීය කරලා තිබුණු බෝම්බයක් ඔන්න ආයේ පත්තු වුණා. වසන්ත සේනානායක මතකයිනෙ. අර මුණුපුරා මැතිතුමාව. ගිය අවුරුද්දේ ඔක්තෝබර් බල පෙරළිය කාලේ තැන් දෙක තුනක පත්තු වුණ මැතිතුමා. ඔන්න හරියටම අවුරැද්දකට පස්සේ මේන් මෙයා ආයේ පත්තු වෙලා.

මෙදාපාර වසන්තතුමා පත්තු වුණේ පූර්ව අනතුරු සංඥා නිකුත්කරලා එහෙම. ඔක්තෝබර් 23 මාධ්‍ය හමුවක් එහෙම තියලා මෙතුමා සජිත්තුමාට පොඩි ප්‍රශ්න පත්තරයක් ඉදිරිපත් කළා. ඒවා ටිකක් අමාරු ප්‍රශ්නයක්. දිනුවොත් අගමැති වෙන්නේ කවුද? රවීට කැබිනට් ඇමතිකමක් දෙනවාද? බදියුදීන්ට වෙන්නේ මොකක්ද? හකීම්ගේ ප්‍රචාරණයට හොඳයිද? ඔන්න ඕවා තමා ප්‍රශ්න. මේවා උත්තර දුන්නද නහී නොකීවාද නහී වගේ පුරස්නේ කාරිය. ඉතින් පක්ෂයේ කට්ටිය වසන්තේ එක්ක ඔරොප්පු වුණා. හැමදාම මොකක් හරි මරාලයක් පාත් කරන එක වසන්තතුමාගේ පුරැද්ද කියලායි සමහරැ කිව්වේ.

පක්ෂ ලේකම්තුමා මෙදාසැරේ සැරට දෙන්න හිතාගෙන වසන්තතුමාගේ පක්ෂ සමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළා. ඒ විතරක් නෙවෙයි ඇමැතිකමත් අහක් කරනවා කියලා කිව්වා. ඔන්න වසන්තතුමා හොඳට කිපුණා ඒ ගමන නම්. තිබ්බා මාධ්‍ය සාකච්ඡාවක්. පත්තු කළා බෝම්බේ. මහදැනමුත්තාටවත් එයාගේ ගෝලයන්ටවත් මාව ඇමතිකමෙන් අස් කරනවා කිව්වත් කරන්න හැකියාවක් නෑ කියලා තමා මෙතුමා කීවේ. තව ජනාධිපතිතුමා දුන්න ඇමතිකම ජනාධිපතිතුමාට විතරයි ගන්න පුළුවන් කියලත් කිව්වා. ඒ අස්සේ ජනාධිපතිතුමා මෙතුමාව ආරක්ෂා කරනවා කියලාත් කටකතාවක් ගියා. කොයි හැටි වෙතත් තාමත් වසන්තතුමාගෙ ඇමැතිකම අහක් කරන්න කාටවත් බැරිවෙලා.

සජිත්තුමාට තාමත් ආදරෙයි. පැත්කට වෙලා වැඩ කරන්න හිටියේ. එහෙම ඉන්නකොට තමා මහදැනමුත්තාගෙ කට්ටිය මෙහෙම කරේ. දැන්නම් මේකෙන් යන්නේ නෑ. සජිත් තුමාට වැඩකරන එක ගැනත් දැන් හිතලා බලන්න ඕනෑ කියලා මේන් මෙතුමා කියලා තියනවාලු. හැබැයි ඔන්න ගෝඨාතුමාගේ වේදිකාවට මෙතුමයි තවත් කිහිපදෙනෙකුයි ගොඩවෙන්න යනවා කියලා ආරංචියක් පැතිරෙනවා. එහෙම වුණොත් නම් වසන්තතුමා බෝම්බ පත්තු කිරීමේ ලෝක වාර්තාව අයිති කරගනියි වගේ.

සංස්කරණය - චමිඳු නිසල්