2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

සුනාමිය මතක් වෙන කහව අකුරළ මුහුදු ගොඩ ගැලීම

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 164

ශ්‍රී ලංකාවේ අගනාම ස්වාභාවික දායාදයක් හා පරිසර පද්ධතිවලින් එකක් වන්නේ රට වටා වෙරළ තීරයයි. සිත් සතන් වශීකරන සොබා සිරියෙන් නොඅඩු අපේ වෙරළ පද්ධතිය ලොව අගනාම වෙරළ තීරයන්ගෙන් එකකි. වසර පුරා ඇති හිරැ එළියත් රන්වන් වැල්ලත්, සුදු පෙණ පිඩු නඟමින් හැපී බිදෙන රළ පෙළත් දර්ශනීය පොල් රුප්පාවක් අපට වඩා අගය කරන්නේ ලොව නන්දෙසින් එන සංචාරකයන්ය. 

අපි මේ කතාව වසර දහයකින් අතීතයට ගෙන යන්නට කැමැත්තෙමු. 2003 දී දකුණු වෙරළ තීරයේ බලපිටිය ප්‍රදේශය බලවත් සේ මුහුදු කෑමට ලක්වන බවට ප්‍රවෘත්ති වාර්තා පළවිය. හික්කඩුව, කහව, අකුරළ, සීනිගම, තෙල්වත්ත, මාදම්පා ගම යන ප්‍රදේශ මේ අයුරින්ම මුහුදු කෑමට ලක්වන බවට වාර්තා විය. එය වාරකන් කාලයක් බැවින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුනොවීය. පසුව කරන ලද විමර්ශනවලදී හෙළිදරව් වූයේ එම ප්‍රදේශවල මුහුදු තීරයේ වැලි ගොඩදැමීම මුහුදු කෑමට ප්‍රධාන හේතුවක් බවය.

2003 වසරේම පයාගල, දියලංකාව ප්‍රදේශයේ මුහුදු කෑමට ලක්වන බවට ද ප්‍රවෘත්ති පළවිය. පයාගල ප්‍රදේශයේ මහා මාර්ගවලට සිදුවී ඇති විනාශය ද පොල් වගාවට සිදුවූ ඇති විනාශය ද ඡායාරූප මගින් හෙළිදරව් කර තිබිණි. ගල්වැටි දැමීම එහිදී සිදුවිය. එහෙත් මුහුදු කෑම නැවතී නැත. 2004 වසරේ නැගෙනහිර පළාතෙන් මුහුදු කෑම වාර්තා විය. ඔළුවිල් වෙරළ තීරය මේ ඔස්සේ දැඩි ඛාදනයට ලක්වී තිබිණි. කල්මුණේ, පොතුවිල්, අක්කරෛයිපත්තු, අඩ්ඩාලචේන, තිරැක්කෝවිල් යන මුහුදු තීරද ඛාදනයට ලක්විය. කල්මුණේ පැරණි අයිස් නිෂ්පාදනාගාරය මුහුදුබත් විය. තවත් ගොඩනැගිලි ගණනාවක් විනාශ විය.

අප මේ ඉතිහාසය නැවත විමසන්නේ සමුද්‍ර ඛාදනය හා වෙරළ සංරක්ෂණය යන මාතෘකා දෙක බොහෝ දෙෙනකුට අමතක වී ඇති බැවිනි. දේශපාලන කතාන්දර නිසාද, ආර්ථික සංවාද නිසාද, රටේ සිදුවන උණුසුම් සිදුවීම් නිසාද පරිසරය අපේ මතකයෙන් ගිලිහී යයි. මෙය භයානක තත්ත්වයකි. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රයක පිහිටි කුඩා දූපතකි. අප අවට ඇත්තේ ගැඹුරු මුහුදයි. මේ මුහුද නිරන්තරයෙන්ම අපගේ වෙරළ තීරය ඛාදනයට ලක්කරයි. වාරකන් කාලයට එය වඩාත් ශීඝ්‍රයෙන් සිදුවෙයි.

වසර පහ‍ෙලාවකට පමණ පෙර පැමිණි සුනාමි අතීතය නැවත සිහිපත් කරමින් දකුණු වෙරළ තීරයේ රළපහර ගාලු පාර දක්වා පසුගිය සතියේදී ගොඩගසනු ලැබීය. 2004 පැවති සුනාමියෙන් බැටකෑ මෙරට වැසියෝ කහව අකුරළ මුහුදු රළ මහා මාර්ගයට පැමිණීමත් සමඟ මහත් තැතිගැනීමකට පත්වී සිටියහ. පසුගිය 27 වැනි ඉරිදා කහව හන්දියෙන් මුහුදු රළ ගොඩට පැමිණීමත් සමඟ ගාල්ල, කොළඹ මහා මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට පවා බාධා එල්ල විය. එම ප්‍රදේශය අවට ජනතාව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මසක් තුළ මුහුදු රළ ගොඩට පැමිණි තෙවැනි අවස්ථාව එය ලෙසයි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මෙලෙස මුහුදු රළ මහා මාර්ගයට ගොඩගැසීමට හේතුවී ඇත්තේ මුහුදු වෙරළේ ආරක්ෂාවට තිබෙණ ගල් සහ කඩොලාන ශාක පද්ධතිය විනාශ වී යාමය. මුහුදු ඛාදනය වැළැක්වීමට පියවර ගන්නා තෙක්ම වාරකන් කාලයට මෙවැනි වඩදිය රැළි මහා මාර්ගයට පැමිණීම වැළැක්වීමට නොහැකි බව ඔවුන්ගේ මතයයි.

වසරක් පාසා යම් කාලයක් සිදුවන මෙම මුහුදේ වෙනස් වීම නිසා එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව සියලු දෙනා සිටින්නේ බියකිනි. එම බියට යම් සාධාරණ හේතු ඇත. එනම් 2004 වසරේ සුනාමියෙන් වැඩිපුර හානියක් සිදුවූයේ දකුණු වෙරළ තීරයේ එම ප්‍රදේශවලට වීමය.

නිරතුරුව මුහුදු රළ ගොඩට පැමිණීම ගැන දේශයේ අප පාර්ශ්ව කිහිපයකින් විමසීමක් කළෙමු. 

මේක සුනාමි තත්ත්වයක් නොවේ
- හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර්. අබේසිංහ

ඇත්තටම පසුගිය 27 වැනිදා වෙරළබඩ තීරයේ ප්‍රදේශ කිහිපයකට මුහුදු රළ ගොඩ ගැසීම සුනාමි තත්ත්වයක් නිසා ඇති වූ බලපෑමක් නොවන බව මුලින්ම කිව යුතුයි. ඒ නිසා ජනතාව ඒ පිළිබඳ අනිසි බයක් ඇති කරගත යුතු නැහැ. ඒවගේම තමයි මේ දිනවල ගොඩබිමට ඇදහැලෙන වර්ෂාපතනය මුහුදටත් ලැබෙන නිසා මුහුදේ දියගොමු වලා (ටෝනාඩෝ) තත්ත්වයක් හටගෙන තමයි මේ මුහුදු රළ මීටර් 02ක් තුනක් පමණ උස්වී මහා මාර්ගයට ගොඩගසන්න ඇත්තේ. ඒ නිසා මෙය බියවිය යුතු තත්ත්වයක් නොවේ. ඒ වගේම ඒ ප්‍රදේශවල කඩොලාන පද්ධතිය විනාශ වී තිබීම මුහුදු රළ මෙලෙස ගොඩගසන්න ප්‍රධාන හේතුවක් වෙනවා.

කඩොලාන විනාශයත් ගල්වැටි නැති වීමත් මුහුදු කෑමට හේතුවෙනවා
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න

වැසි සහිත කාලගුණ තත්ත්වය නිසාත් මුහුදට වැසි ලැබෙන නිසාත් මෙම මුහුදු රළ මීටර් තුනක් හෝ ඊට මඳක් වැඩියෙන් උස්වී රළ ගොඩගැසීමෙන් තමයි මේ සිදුවෙන්න ඇත්තේ. ඒ නිසා ඒ ගැන ජනතාව කලබල විය යුතු නැත. එම දකුණු වෙරළ තීරයේ තියන කඩොලාන පද්ධතිය විනාශ වීමත් ගල්වැටි නොමැතිකමත් මේකට විශාල ලෙස බලපාන්න පුළුවන්.

දකුණු වෙරළ තීරයේ පසුගියදා ඇති වූ මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වෙරළ ඛාදනයට යොදා තිබූ ගල්වැටි සහ කඩොලාන ශාක විනාශවීම බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා
- වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

“ලංකාව පුරාවටම වෙරළ ඛාදනය වළක්වන්න අපි පියවර ගනිමින් සිටිනවා. දකුණු වෙරළ තීරයේ පමණක් නෙවෙයි අනෙකුත් වෙරළ තීරවලත් මුහුදු ඛාදනය ගැන අපි පියවර ගනිමින් ඉන්නවා. ඒ වගේම තමයි ජනතාවගේ යම් යම් ක්‍රියාමාර්ග නිසා වෙරළ ඛාදනයට යොදා තිබූ ඇතැම් ගල්පර විනාශ වූ අවස්ථාත් වාර්තාවෙලා තියෙනවා. කොහොමවත් හැකි ඉක්මනින් අපේ දෙපාර්තමේන්තුව මේ මුහුදු ඛාදනයට ලක්වූ ප්‍රදේශවලට විශේෂ වැඩපිළිවෙළක් සකසන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යනුවෙන් අප කළ විමසීමකදී වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙක් පැවසීය.

“වෙරළ රැකුණොත් රට රැකේ. රට රුකුණොත් ජනතාවගේ ජීවිත දේපල සුරුකේ.” යන පාඨය අප සිහියට ගත යුතුය. ආර්ථික වටිනාකමක් ඇති අලංකාරයෙන්, ආරක්ෂිත හරිත වැටියක් රට වටා නිර්මාණය කරමින් රැකගන්නට රාජ්‍යය අංශයත්, පරිසරවේදින් සමඟ සාමාන්‍ය ජනතාවත් එකට එක්විය යුතුය.

 හසිත් අංජන 

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30