2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

බුලට් වගේ බැලට් බොක්ස් එකක්!

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 136

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම මැතිවරණය වනු ඇත. එම නිසාම අද මෙවර ජනාධිපතිවරණ මෙහෙයුම් විශේෂතා පිළිබඳව අපි සාකච්ඡා කරමු.

දැනටමත් රටම දන්නා අඩි දෙකක් දිග ඡන්ද පත්‍රිකාවේ කතාවට අලුත් කොටසක් පසුගියදාක එකතු විය. ඒ අලුත් ඡන්ද පෙට්ටියේ කතාවයි. එය කරළියට ආවේ. පසුගියදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පක්ෂ නියෝජනයන් හමුවූ විටය. මෙවර ජනාධිපතිවරණය අලුත් ඡන්ද පෙට්ටි 5000 ක් පමණ භාවිතයට ගැනීමට සිදුව ඇති බව ඔහු එහිදී පවසා ඇත. දැනට භාවිතා කරන ඡන්ද පෙට්ටිවල ඉඩකඩ සීමිත වීම මෙයට හේතුවයි. පරිසර හිතකාමී නව කොරැගේටඩ් ඡන්ද පෙට්ටි ඡන්ද පෙට්ටි පක්ෂ නියෝජිතයන්ට පෙන්වීමටද මැකෝ කටයුතු කර තිබේ. එවායේ ශක්තිමත් මත්බව පෙන්වන්නට ඔහු ඡන්ද පෙට්ටියක් මත හිඳගත් බවද කියැවේ. කෙසේ වෙතත් අලුත් ඡන්ද පෙට්ටියට නියෝජිතයන් කැමති වී ඇත. ඒ අනුව හැමදාම අප දුටු සාම්ප්‍රදායික ඡන්ද පෙට්ටි අතර එකතුවෙන මේ අලුත් ඡන්ද මෙවර ජනාධිපතිවරණයේදීත් කරළියට එනු ඇත.

මේ අතර මාධ්‍ය ගැන මැකෝගේ කතාවද අප මෙහිදී විමසා බැලිය යුතුය. මාධ්‍ය උපමාන කඩ කරනු ලැබුවහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමාට සිදුවන බව හෙතෙම මුලසිටම කියා සිටියේය. පසුගිය 23දා පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ සාකච්ඡාවකදී මේ කතාවට අලුත් කරැණු කිහිපයක් එකතු විය. ඒ අනුව මාධ්‍ය උපමාන අනුගමනය කිරීම සම්බන්ධයෙන් දැඩි අධික්ෂණයක් ලබන සඳදා (28) දින සිට ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බවද සභාපතිවරයා පවසා තිබේ. එසේම නොවැම්බර් මස 8දා සිට සජීවී විකාශයන් සිදු නොකරන ලෙස සභාපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත. මේ අතර සමාජ මාධ්‍ය පාලනය මැකෝ අතහැර දමා ඇති බවටද පුවත් පළවෙමින් තිබේ. කෙසේ වෙතත් රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් ගන්නා බව කියූ දැඩි පියවර තවදුරටත් පෙනෙන්නට නැත.

මීළඟට මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය සම්බන්ධ විශේෂත්වයන්ද අපි සොයා බැලුවෙමු. ඒ අනුව නොවැම්බර් මස 16දා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්‍ෂණය කිරීම සඳහා නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලයේ (ANFREL) නිරීක්‍ෂකයන් 41 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි සතියේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කියැවේ. මෙම කණ්ඩායමට රටවල් 16ක් නියෝජනය කරන පළපුරුදු නිරීක්‍ෂකයන්ගෙන් සමන්විත බවද කියැවේ. තවද කෙටිකාලීන නිරීක්‍ෂකයන් 28ක් හා දිගුකාලීන නිරීක්‍ෂකයන් 9 දෙනෙකු හා විශ්ලේෂකයන් ඇතුළු ප‍්‍රධානීන් දෙදෙනකුගෙන් සමන්විත මෙම පිරිස දිවයිනේ සියලුම දිස්ත‍්‍රික්කවලට ගොස් නිරීක්‍ෂණය කටයුතු සිදුකරනු ඇති බවද පැවසේ. මෙම නිරීක්‍ෂණ කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ පැෆරල් සංවිධානය සමග සිය කටයුතු කරගෙන ඇති බවද සඳහන්ය.

එසේම මෙවර මැතිවරණ පැමිණිලි සම්බන්ධවද අවධානය යොමු කිරීම වැදගත් වේ. එහි විශේෂතා කිහිපයක්ද දැකගත හැකිය. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව නොමැති තත්ත්වයක රාජ්‍ය සම්පත් ප්‍රධාන බල කඳවුරු දෙකම භාවිත කරන තත්ත්වයක් නිරීක්ෂණය වේ. පළාත් පාලන ආයතනවල බලය විපක්ෂ කණ්ඩායම සතුවීම මීට එක හේතුවකි. මැතිවරණ නීති කඩවීම් විශාල වශයෙන් දක්නට ලැබුණද ප්‍රචණ්ඩත්වය ක්‍රියා සාපේක්ෂව අඩුවී ඇති බව කියැවේ. එය සාධනීය ලක්ෂණයකි. කෙසේ වෙතත් මැතිවරණ නිරීක්ෂකයන්ට අනුව මේ දක්ව රාජ්‍ය දේපළ අවභාවිත කිරීම ඉහළ අගයක පවතින බව කියැවේ.

අවසාන වශයෙන් තැපැල් ඡන්ද පිළිබඳවද යම් අවධානයක් යොමුකළ යුතුය. ඉදිරි සතියේ ඔක්තෝබර් 31 වැනිදා සහ නොවැම්බර් 01 වැනිදා ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකිරීමට නියමිතය. කෙසේ වෙතත් ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් ඇතැම් අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපැල් ඡන්ද පූර්වයෙන් එළි නොදැක්වීම පිළිබඳ යම් යම් ගැටලු කිහිපයක් මේ අනුව මතුව තිබේ. එසේම දෙමළ ජාතික සංධානයේ තීරණ ප්‍රමාදවීම් සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇත. කෙසේ වෙතත් මෙවර හය ලක්ෂ පනස් නවදහස් පන්සීය පහළොස් දෙනෙක් (659515) තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

 

ඡන්ද වේදිකාවෙන් - එකට එක

 

නොවැම්බර් 16 වැනිදා ඔබට ගන්න තිබෙන්නේ එක තීරණයයි. බත් කනවාද? වෙඩි කනවාද? කියා නොවැම්බර් 16 වැනිදා තීරණය කරන්න වෙන බව කියන්න කැමැතියි. බත් කන්න ඕනෑ නම් අපේ ජයග්‍රාහී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දී ජයග්‍රහණය කරවන්න. වෙඩි කන්න ඕනෑ නම් කළ යුත්තේ කුමක් දැයි ජනතාව දන්නවා.

- අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අවුරුදු පහකට මේ ආණ්ඩුව බලය අරගෙන අවුරුදු සිය දහස් ගණනකට අපේ රටේ වැසියන්ට භුක්ති විඳීමට තිබූ සම්පත් ටික මේ කට්ටියට විකුණන්න කිසිම අයිතියක් නැහැ. ඒක මේ රටේ අනාගතයේ ඉපදෙන්නට ඉන්න දරැවන්ට කරන අපරාධයක්.

- විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

පැය 24ක් තුළ රණවිරැවන් ගෙදර යැව්ව පුද්ගලයන්ට පුළුවන්ද රටට සාධාරණය ඉෂ්ට කරන්න? පොදු ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න? දේශප්‍රේමයේ නාමයෙන් පපුවට ගහගන්නවා. පොළොව ඉඹිනවා. පපුවට ගසා ගනිමින් පොළොව ඉඹිමින් රට බේරාගත් රණවිරැවන්ට හිරිහැර කළා.

- ජනාධිපති අපේක්ෂක  සජිත් ප්‍රේමදාස

ඒත් මේ ආණ්ඩුව ආවට පස්සේ රණවිරැවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධි අංශ විනාශ කළා. අපි එදා යොදා තිබුණ ආරක්ෂිත වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බුද්ධි තොරතුරැ ජාලය කඩා වැටුණා. මේ හේතු නිසා අවුරැදු දහයක් යන්නට මත්තෙන් එදා තිබුණ සුරක්ෂිත රට නැතිවෙලා

- ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

ලංකාවේ ව්‍යාපාර ගණනාවක් ඉදිරියට යා නොහැකිව පසුපසට එමින් තිබෙනවා. මෙවැනි ආර්ථික අර්බුදයක් තියාගෙන එක්සත් ජාතික පක්ෂය ඒ වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ. මේ කරැණු ඔක්කොම ගත්තම මේ රජය මැතිවරණ නීති උල්ලංඝනය කරන පොරොන්දු කඩකරන රට ආගාධයට ගෙනියන රජයක්.

- පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

මේ වසරේ විදේශ ණය වාරිකය ගෙවන්න ඩොලර් මිලියන 4500ක් සොයාගන්න අපට සිදුවුණා. 2010දී අපි ගෙව්වේ ඩොලර් මිලියන 1900යි. මෙය මෙතරම් වැඩිවෙන්න ප‍්‍රධාන හේතුව, මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි පොලියට වාණිජ වෙළඳපොළෙන් ණය ගැනීම.

- අමාත්‍ය පාඨලී චම්පික රණවක

ජනපතිවරණ ඩයරිය

20 ඉරිදා
අන්න ඊයේ කුමාර වෙල්ගමගේ ගෙදරට හොරැ පැනලා.  අද ගෝඨාභය මාතර පැත්තේ. ජාතික ආරක්ෂාවට හිටිය බුද්ධි නිලධාරීන් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් භාවිතය ගැන ගෝඨාභය කිව්වා. පහුගිය දවසක සජිතුයි කිව්වානේ ඔය ගැන. අද සජිත්, රාජපක්ෂ පවුල තමන්ට එරෙහිව එන හැටි ගැන දිග කතාවක් කිව්වා.

21 සඳුදා
අදට පාස්කු ප්‍රාහාරයට මාස හයක්. ඔන්න අද බෙලිඅත්තේදී ගෝඨාභය චෝදනා කළා පාස්කු ප්‍රහාරය නවත්වන්න මේ රජය අපොහොසත් වුණා තාමත් මෙයාලට ආරක්ෂක වැඩපිළිවෙළක් නෑ කියලා. සජිත් බදු ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා කියලා කිව්වෙත් අද.

22 අඟහරුවාදා
ඇමෙරිකා නඩුවෙන් ගෝඨාභය නිදහස් වෙච්ච කතාව තමයි අද හැමතැනම. ඒ අස්සේ මහේෂ් සේනානායකට රුස්වීමකදී අසනීප වෙලා. ඉස්පිරිතාලේ ගිනිහිල්ලා. මැකෝතුමා පොලිස් මාරැත් අත්හිටෙව්වා ඔන්න අද.

23 බදාදා
පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක වාර්තා ජනාධිපතිවරණය වේදිකාවේ ලොකු මාතෘකාවක් වෙයි වගේ. අන්න අද සජිත්ගේ රුස්වීමකදී කොල්ලෙක්ට ගහන වීඩියෝ එකක් බුකියේ යනවා ලොකුවට. වසන්ත සේනානායක මේ පාරත් වැඩක් දෙන්න වගේ යන්නෙ. අද මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා.

24 බ්‍රහස්පතින්දා
උතුරේ දේශපාලන පක්ෂ යෝජනා ගැන සාකච්ඡාවක් අද කොළඹ සම්බන්ධන්ගේ ගෙදර තිබ්බා. මහා සංඝරත්නය නම් මේ යෝජනා නිසා හොඳටම අමනාපෙන් වගේ. අද මහේෂ්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වුවා. රනිල් සම්බන්ධන් රහස් සාකච්ඡා ගැනත් කතාවක් යනවා. හකීම්ගේ වීඩියෝ කතාවත් තාම නැගලා යනවා.

25 සිකුරාදා
අද ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම තිබ්බා. ඒක නම් කරලා තිබ්බේ රට හදන සෞභාග්‍යයේ දැක්ම කියලා. වැඩේ තිබ්බේ  නෙළුම් පොකුණ රඟහලේ.

විකල්පයේ කතන්දර

අනුර කුමාර දිසානායක ජාතික ජනතා බලවේග - බදුල්ල රැලියේදී

2015දී මේ රටේ ජනතාව එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හැදුවා. ඇත්තටම අලුත්ද? තිබුණු ආණ්ඩුවේ ඇමති නිමල් සිරිපාල. හදපු ආණ්ඩුවේත් ඇමති නිමල් සිරිපාල. මහින්දගේ ආණ්ඩුවේ ඇමති ඩිලාන් පෙරේරා. රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිත් ඩිලාන් පෙරේරා. ඉතින් තමුන්නාන්සේලා ආණ්ඩුවක් මාරු කළාට අණ්ඩුවක් මාරුවෙලා නෑනී. මං දැක්කා මේ ළඟදී මහින්ද රාජපක්ෂ කියනවා මේ ආණ්ඩුව ප්‍රවාහන ක්ෂේත්‍රය විනාශ කරා කියලා. එතකොට නිමල් සිරිපාල අත්පුඩි ගහනවා. එයා තමයි මේ ආණ්ඩුවේ ප්‍රවාහන ඇමති. හැමදාමත් මේ රටේ මිනිස්සු ආණ්ඩුව මාරැ කළාට කාලයක් යනකොට පරණ ආණ්ඩුවම හැදෙනවා. ඒ නිසා තමයි අපි යෝජනාකරන්නේ මහජනයාට. වගකියක අලුත් ආණ්ඩුවක් හදමු.

 

මහේෂ් සේනානායක ජාතික ජනතා බලවේගය

මං ඉදිරිපත්වෙලා ඉන්නේ නිර්පාක්ෂිකව. ස්වාධීන ජාතික අපේක්ෂකයා හැටියට. ව්‍යවස්ථාව දිහා බැලුවොත් මේ රටේ ජනාධිපති විය යුත්තේ නිර්පාක්ෂික කෙනෙක් මිසක් පක්ෂයකට අයිති කෙනත් නෙවෙයි. 2015 දී ඔබලා එහෙම වෙනසක් කරන්නට ගියා. කිව්වා වගේ සතියකට පස්සේ ඒ පත්වෙච්ච ජනාධිපතිවරයා ඔහුගේ පක්ෂයට නැවත ගිහිල්ලා එහි සභාපතිකම ගත්තා. ඉන්පස්සේ නිර්පාක්ෂිකකම ඉවර වුණා. අවුරැදු හැත්තෑ එකක් තිස්සේ පාටවල් දෙක මාරු කර කර බල බලා හිටියා. අන්තිම පාර පාටදෙක එකට දාලා කොත්තු රොටියක් වගේ දාලා බැලුවා. එයත් අසාර්ථකයි. ප්‍රතිඵල රහිතයි.

දුමින්ද නාගමුව පෙරටුගාමී සමාජවාදී පක්ෂ - රැලියකදී

මේ රටේ කරන ජනතාව ඉදිරිපිට නා නා ප්‍රකාර ප්‍රශ්න ඇවිල්ලා තිබෙනවා. මේ රටේ වැඩකරන ජනතාවට, මේ රටේ ගොවි ජනතාවට, මේ රටේ කම්කරැවන්ට, වෘත්තිකයන්ට, රජයේ සේවකයාට, අපිට අවශ්‍යයි ඔවුන්ට තමන්ගේ ප්‍රශ්න මතක් කරලා දෙන්න. ඒ වගේම අපිට අවශ්‍යයි ඒ ප්‍රශ්න විසඳන්න තියෙන මාවත් මොකක්ද කියලා කියන්න. ජනතාව රාජ්‍යයට සම්බන්ධ වෙන ක්‍රමයක් ඕනෑ. ජනතාව සංවිධාන වෙලා හදාගන්න සභාවලට බලය ලැබෙන්න ඕනෑ රටේ ප්‍රතිපත්තිවලට ප්‍රතිචාර දක්වන්න. අන්න ඒක තමයි අලුත් ජනතා ප්‍රජාතන්ත්‍රවාදය. මේ මැතිවරණයේ හරියට ඉර අඳින්න ඕනෑ. අපි ඇවිල්ල ඉන්නේ ඒකට.

සතියේ පත්තුව 

කඩුවෙල කචල් එක

මේ සතියේ පත්තු වුණේ කඩුවෙල සජිත්ගේ රුස්වීමේදී කොල්ලට ගහපු සිද්ධියයි. ඒ වීඩියෝ එක සෝෂල් මීඩියාවල සෑහෙන්න පැතිරැණා. ප්‍රධාන මාධ්‍ය දෙක තුනකුත් වැඩේ අල්ලගෙන පොඩ්ඩක් නැටුවා. සිද්ධිය වුණේ අඟහරැවාදා රෑ. රැස්වීමේ කතා කරකර හිටියේ ඇමති පාඨලී චම්පික. සුදුපට ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටපු කොල්ලෙක් අත උස්සලා ප්‍රශ්නයක් අහන්න හැදුවා. ඔහු කිව්වේ නම් මං ස්වාධීන මාධ්‍යවේදීයෙක් කියලා වටේ හිටපු කට්ටියට මේක ඇල්ලුවේ නෑ. වචනයයි දෙකයි හුවමාරැ වුණේ කොල්ලට අල්ලන් නෙළුවා. හැබැයි ගොඩක්වෙලා බට් වෙන්න ගහන්න වුණේ නෑ. වටේ හිටපු අනික් අය මේක නතර කළා. වැඩේ කියන්නේ මේ ඔක්කොම ටික එහා හිටපු කෙනෙක් වීඩියෝ කරලා තිබ්බා.

කතා කරකර හිටපු පාඨලී මේ කලබලේ දැකලා කිව්වේ මෙතන කලබල කරන්න ඕනේ නෑ. සංසුන් වෙන්න කියලා. හැබැයි මේ මාධ්‍යවේදියෙක් කිව්ව තරුණයාට ඒ වෙනකොට ගුටි සංග්‍රහය ලැබිලා ඉවරයි. සජිත් ප්‍රේමදාස ලොක්කා එනකොට වැඩේ සංසුන් වෙලා තිබ්බේ. හැබැයි ෆේස්බුකිය සෑහෙන්න කලබල වුණා. පොහොට්ටුවෙ කට්ටිය ඇට්ටි හැලෙන්න දුන්නා. සජිත් &සදා ලෝකපූජිත වටකර නෙළුවාගම* කියලා ගමක් හදන්න යනවා කියා එයාලා බුකියේ පෝස්ට් දැම්මා. එන්න ඉස්සෙල්ලා මෙහෙම නම් ආවොත් කොහොමද කියලා තමා එයාල ඇහුවේ.

හැබැයි හංසයෝ කීවේ වෙන කතාවක්. මේක සැලසුම් සහගතව කරපු වැඩක් කියලයි එයාල කිව්වේ. අර විදිහට ගහන කොටම වීඩියෝ කරපු එක ගැන එයාල ප්‍රශ්න කරා. වැඩේ සෝෂල් මීඩියා එකේ දිව්වාට ජනාධිපති වේදිකාවේ ලොකුවට ඇවිලුණේ නෑ. මේ ගුටි කෑ කොල්ලා මාධ්‍යවේදියෙක් කිව්වාට එයා වැඩකරන ස්වාධීන මාධ්‍ය ආයතය මොකක්ද කියලා එළියට ආවෙත් නෑ. පොලීසිය හොයලා බලපු පාටකුත් පේන්න තිබ්බේ නෑ. හැබැයි වැඩේ හොඳ පත්තු වුණා. වැඩේ කියන්නේ මේ සැලසුම් කළා හෝ නොකළා මේ ගැන බලධාරීන්ට හරියට නොපෙනිච්ච එක.

Coming Up - next week

OCT. 28
පොජපේ - යාපනය ජනරැලිය
එජාප -  තරැණ ප්‍රතිපත්ති එළිදැක්වීම සුගතදාසයේදී
ජවිපෙ - මාතලේ ජන රැලිය

OCT.29
පො.ජ.පෙ. – අම්පාර ජනරුලිය
එජාපය - දිවුලපිටිය ජනහමුව
ජවිපෙ - පොළොන්නරැව ජනරැලි

OCT.30
පො.ජ.පෙ. - රුවන්වැල්ල ජනරැලිය
එජාපය - කුරුණෑගල ජනරැලිය
ජවිපේ - අම්පාර ජනරැලිය

OCT.31
පොජපේ -  ආසන රැස්වීම්
එජාපය - බේරැවල ජනරැලිය
ජවිපේ - හලාවත ජනරැලිය

NOV.01
තැපැල් ඡන්දය

පොජපේ - ආසන රැස්වීම්
එජාප - කැස්බෑව ජනරැලිය
ජවිපෙ - කෑගල්ල ජනරැලිය

NOV.02
තැපැල් ඡන්දය

පොජපේ - බොරැල්ල ජනරැලිය
එජාප - පොල්ගහවෙල ජනරැලිය
ජවිපේ - ඇඹිලිපිටිය ජනරැලිය

සංස්කරණය - චමිඳු නිසල්

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07