2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

හකීම්-සහරාන් වීඩියෝ හුටපටය

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 178

පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලකයන්ට චෝදනා නැගුණේ ප්‍රහාරයේ දෝංකාරය වියැකී යන්නටත් මත්තෙන්ය. එහෙත් එම ඛේදවාචකයට මාස හයක් සපිරෙන මොහොතේ පවා එම දේශපාලකයන්ගෙන් කිසිවෙක් ඊට වරදකරුවන් වී නැත. පසුගියදා චූදිත දේශපාලකයන් අතර නොවූ අලුත් චරිතයක් කරළියට ආවේ අහම්බයකින් මෙනි. එතැන් සිට රට තුළ මෙම චරිතය පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇතිවිය. අප මෙම සිදුවීම සම්බන්ධ තතු විමසීමට අදහස් කළේ එබැවිනි.

එම චරිතය නම් මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාය. ඔහු වෙත එල්ල වී ඇති චෝදනාව දැනටමත් රටම දන්නා පරිදි පාස්කු ප්‍රහාරයයේ මහ මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා පැවැත්වීමයි. මේ චෝදනාව ගෙන ආ වීඩියෝ පටයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ. එසේම ජනාධිපතිවරණ වේදිකාවේද හකීම්ගේ වීඩියෝව මාතෘකා වී ඇත. මෙම සිදුවීම ජනගත වන්නේ පසුගිය ඔක්තෝබර් 18දා මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවිගේ අනාවරණයක් පරිදිය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් ඇතුළු පිරිසක් සමඟ රවුෆ් හකීම් අමාත්‍යවරයා අදාළ සාකච්ඡාව පැවැත්වූ බව කියැවෙන්නේ 2015 මහ මැතිවරණ සමයේදීය. එම සාකච්ඡා සිදුව ඇත්තේ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ කාත්තන්කුඩි කාර්යාලයේදී බව කියැවේ. එසේම මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු නියෝජනය පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත් වූ බවද කියැවේ. මේ වනවිට අදාළ සාකච්ඡාවේ දර්ශන ඇතුළත් සංයුක්ත තැටිය පොලිස් මූලස්ථානය භාරදී පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය කටයුතු කොට තිබේ. එම පැමිණිල්ල හරහා රාවුෆ් හකීම් අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් ද කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ ඉකුත් 18 වැනිදා දින සිදුවීම් පෙළක් සිදුවිය. අප ඒ පිළිබඳ යම් අවධානයක් යොමුකළ යුතුය. පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පෙර මුස්ලිම් අයිතීන් සුරුකීමේ සන්ධානය පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවිය. එසේම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට විශාල මාධ්‍ය අවධානයක්ද යොමුවිය. අනතුරුව වැදගත්ම සිදුවීම වූයේ එදිනම මොහොමඩ් මිෆ්ලාල් මවුලවි නිවෙස පොලිස් පරීක්ෂාවට ලක්වීමයි. නිවෙසේ වූ පරීක්ෂාව සමඟ මවුලවි තැන මාධ්‍යයට අදහස් දැක්වීය. තම නිවෙස පොලිස් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු තම සංවිධානයට අයත් අත්පත්‍රිකා තොගයක්ද කන්තලේ පොලීසිය සිය භාරයට ගෙන ඇතැයි ඔහු එහිදී සඳහන් කළේය. කෙසේ නමුත් අවසානයේ අත්පත්‍රිකා තොගයේ කතාව මැතිවරණ කොමිසම දක්වා ගියේය.

කෙසේ වෙතත් ආන්දෝලනයට තුඩුදුන් අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන්ද රවුෆ් හකීම් අමාත්‍යවරයා ආරම්භයේදීම මාධ්‍යට අදහස් දැක්විය. එහිදී ඔහු කියා සිටියේ අදාළ දිනයේ හමුවූයේ සහරාන්ව බව තමන් දැන නොසිටි බවයි. එසේ වුවත් මැතිවරණ සමය නිසාවෙන්ම මේ සම්බන්ධ සංවාද තවදුරටත් වර්ධනය වන්නට විය. විපක්ෂ දේශපාලන වේදිකාවේ ප්‍රමුඛ මාතෘකාවක් බවට මෙය පත්වෙද්දී මොහොමඩ් මිෆ්ලාල් මවුලවි ද නැවත මාධ්‍යයට මේ සම්බන්ධ තොරතුරු අනාවරණය කරන්නට ඉදිරිපත් විය.

“අර වීඩියෝ එක කවුරුත් එඩිට් කරලා දාපු එකක් නෙවෙයි. මේ සාකච්ඡාව වෙන්නේ මැතිවරණයෙන් පස්සේ. එතැන කතාවෙනවා නැෂනල් ලිස්ට් එක ගැන. පක්ෂයක නැෂනල් ලිස්ට් එක ගැන කතා කරනවා නම් සහරාන් හකීම්ට කොච්චර ලොකු තැනක ඉහළ තැනක ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්ද? ඒක තමයි අපි කියන්නේ හොයන්න...”

ඔහු මතු කරන කරුණේ බරපතළ බවක් ඇති බව බැලූ බැල්මටම පෙනී යයි. පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පිළිබඳ සාකච්ඡා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව මෙන්ම ස්ථානය පිළිබඳවද මෙහිදී ගැටලු මතුවේ. මේ අතරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ පැවත්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ රවුෆ් හකීම් අමාත්‍යවරයා සමාජිකයකුව කටයුතු කිරීමද පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ප්‍රශ්න කළෝය. ඒ සමඟම ප්‍රධාන ධාරාවේ මාධ්‍යය අභිබවමින් සමාජ මාධ්‍යයේ වීඩියෝ පට කතාව විශාල ආන්දෝලනයක් ඇති කළේය.

මේ අතර වත්තේගම ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදී අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ කතාවට අලුත් විවරණයක් ලබා දුන්නේය. එහිදී පාස්කු ප්‍රහාරයෙන් මහජන චෝදනා ලැබූ හිටපු නැගෙනහිර ආණ්ඩුකාරයා වූ හිස්බුල්ලා මහතා මේ කතාවට නැවත ඈඳුණි.

“පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසට මඩකලපුවේ ආසනයක් ලැබුණා. එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණා. හිස්බුල්ලා මැතිතුමා ජනාධිපති මැතිවරණයේදී රාජපක්ෂලාට සහය දුන්නා. පැරදුණා... ඊට පසුව ඔන්න පස්ස දොරෙන් මේකා ගිහිල්ලා මෛත්‍රිපාල උන්නැහේ අල්ලගෙන ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිකමක් අරගත්තා. අරගෙන කරපු දේ එදා ගැසට් පත්‍රයේ පළවුණු විගසම ඒ රූම පටන් ගත්තා අපේ පාක්ෂිකයන්ගේ ගෙවල්වලට ගහන්න. කඩ කඩන්න. මේක තමයි සහරාන්ලා කරපු වැඩේ. මේ කඩු සෙල්ලම පුරැදු වුණේ හිස්බුල්ලාගෙන්. ඉතින් මේ වගේ දේවල් කරලා... එතැනදී තමයි මට යන්න වුණේ. එවේලේ මේ සිද්ධිය බලන්න මං ගියාම.... ඒ අස්සේ මේ හාදයත් රිංගලා ඇවිල්ලා. ඉතින් මං මොනා කරන්නද?”

මෙහිදී ජාතික ලැයිස්තුව කතාව තරමක් යටගිය බව පෙනී යයි. එහෙත් රවුෆ්  හකීම් සහරාන්ගේ සහෝදරයා වූ රිස්වාන් සමඟද සම්බන්ධතා පැවැත්වූ බව මේ වනවිට චෝදනා මතුව තිබේ. මෙහිදී මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවි කී කතාවක් අපි නැවත උපුටා ගමු.

“මේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් තරුණයෝ දෙදහකට වැඩිය අත්අඩංගුවට ගත්තා. සාමාන්‍ය හකීම් කෙනෙක් සාමාන්‍ය මොහොමඩ් කෙනෙක් සහරාන්ගේ දේශනයකට ක්ලාස් එකට ගියා කියලා අත්අඩංගුවට ගන්නවා රැට ඇවිල්ල සී.අයි.ඩී. එකෙන්. එගොල්ලෝ එන්ක්වාරි කරන්න තියාගන්නවා ඩී.ඕ. එක ගහලා. එහෙම තියෙද්දී සාමාන්‍ය හකීම්ලාට මොහොමඩ්ලාට එක නීතියකුත් ඇමති ලේබල් එකක් ගහගෙන තනතුරේ ඉන්න හකීම්ට වෙන නීතියකුත් මේ රටේ වෙන්න බෑ.”

විධිමත් පරීක්ෂණයක අවශ්‍යතාව මේ ඔස්සේ අවධානය වෙයි. රවුෆ් හකීම් අමාත්‍යවරයා පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධ විශේෂ ප්‍රකාශක් කළ බවද සැබෑවකි. එහෙත් ඔහු තේරීම් කාරක සභාවේ සමාජිකයකු වීමද බහුතර මුස්ලිම් ප්‍රජාවකගේ ජන නායකයකු වීමද එවන් ප්‍රකාශයක් මතින් පමණක් මේ අර්බුදයෙන් මිදීමේ අවකාශ ඔහුට අහිමි වේ. පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී මුස්ලිම් දේශපාලනඥයන්ට චෝදනා එල්ල වූ විට තනතුරුවලින් ඉල්ලා අස්වීමට නායකත්වය දුන්නේ ඔහුය. ඒ අවස්ථාවේ සිංහල සමාජයේ පිරිසක් රවුෆ් හකීම් නිදොස් බවත් වරදකරැවන් බදුයුදීන්ලා බවත් කී සැටි කාටත් මතක ඇත. එම නිසාම වාර්ගික දේශපාලනයක නියුතු වුවද රවුෆ් හකීම් නම් චරිත යම් පිළිගැනීම ලාංකික සමාජයේ ඇති බව පැහැදිලිය. එම නිසාම මෙම වීඩියෝව සම්බන්ධ අපක්ෂපාතී පරීක්ෂණට සහයෝගය දීමට රවුෆ් හකීම් අමාත්‍යවරයා නිහතමානී විය යුතුය.

මූලාශ්‍ර: මාධ්‍ය වාර්තා

සේයාරූ -  අන්තර්ජාලයෙනි
 

 චමිඳු නිසල්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30