2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ඊළඟ මීතොටමුල්ල කරදියාන වෙයිද?

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 169

කරදියාන කසළ අංගනයේ ඇතැම් කොටස්වල දැනට උද්ගතව ඇති අධි අවදානම් තත්ත්වය නිසා පළාත් පාලන හතක් මගින් බැහැර කෙරෙන කසළ භාර ගැනීම සීමාකොට යාබදව ජීවත් වූ පවුල් දාහතරක් ඉන් ඉවත් කිරීම නිසා එම ජනතාව හා කසළ බැහැර කෙරෙන පළාත් පාලන ආයතන දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි පැවසේ.

මේ හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස, මොරටුව, කැස්බෑව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහරගම, හෝමාගම සහ බොරලැස්ගමුව යන පළාත් පාලන ආයතන හතක් මගින් බැහැර කෙරෙන දිරන කසළ දින 5ක් සහ නොදිරන කසළ දින 4ක් පමණක් භාර ගැනීමට උපදෙස් ලැබී ඇතැයි ද පළාත් පාලන ආයතන පවසයි.

එසේම කරදියාන කසළ අංගණයේ ස්ථායිතාවය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර් යේෂණ ‍සංවිධානය මගින් 2019 – 04 – 02 දින නිකුත් කළ වර්තාවකට අනුව එහි අධි අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව පවසමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මැදිහත් වී යාබදව ජීවත් වූ පවුල් 14 ඉන් ඉවත් කිරීම නිසා තමන්ට උන්හිටි තැන් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවද එම ජනතාව චෝදනා කරති.

උද්ගතව ඇති තත්ත්වය මත දුෂ්කරතාවට පත් පාර්ශ්වයන්ගේ කරුණු විමසීමේදී ඔවුහු අප සමඟ මෙසේ පැවසූහ.

ඉඩම් අහිමි වූ ඩබ්ලිව්. අයේෂා දිල්රුක්ෂි

“අපි දීර්ඝ කාලයක සිට කරදියානේ ජීවත් වුණු මිනිස්සු. අපි මුලින් පදිංචියට එනකොට කසළ කන්දක් තිබුණෙ නැහැ. නමුත් කලක් යනකොට අපේ ගෙවල් ළඟටම කසළ කන්ද ආවා. මේ කාලය තුළ අපි දුක් මහන්සියෙන් හම්බ කරගෙන ගෙවල් දොරවල් හදාගත්තා. සමහරු බැංකුවලින් ණය අරන් ගෙවල් හැදුවේ. තාම ඒ ණය ගෙවනවා. අපේ දරුවෝ සෙල්ලම් කළේ පාසල් ගියේ කිසිම කරදරයක් නැතිව. නමුත් එකපාරටම පසුගිය අප්‍රේල් මාසේ මැද දවසක පිළියන්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, පොලීසියත් අපිව කැඳවලා දැනුම්දුන්නා මේ කුණු කන්ද නාය යාමේ අවදානමක් තියෙනවා ඒ නිසා තම නිවෙස්වලින් හැකි ඉක්මනින් ඉවත් වෙන්න, මාස 6ක් ඇතුළත ස්ථිර විසඳුමක් දෙනවා කියලා. නමුත් දැන් මාස 5 ඉවරයි. තව මාසයයි තියෙන්නේ අපිට. මේ දක්වා ස්ථිර විසඳුමක් ලබාදීලා නැහැ. සාකච්ඡා පවත්වනවා විතරයි. අපි දැන් මාස පහක් තිස්සේ කුලී නිවෙස්වල ඉන්නේ. අපේ ගෙවල් පාළුවට ගිහිල්ලා. සමහර ගෙවල් හොරු කඩලා. 

කරදියාන නිවෙසකින් ඉවත් කළ - ලසන්ත බණ්ඩාර

“මීතොටමුල්ල කුණු කන්ද කඩාගෙන වැටුණු වෙලාවේ සිදු වූ විපත්තිය ගැන හිතලා බලධාරීන් ඉවත් කළ වෙලාවේ අපි ඉවත් වුණේ එදා පිළියන්දල ප්‍රාදේශීය ලේකම්තුමා අපිට පොරොන්දු වුණා මාස 6 ඇතුළත ස්ථිර විසඳුමක් ලබාදෙනවා කියලා. ඒත් දැන් මාස 5 ඉවරයි. කිසිම විසඳුමක් අපිට ලබාදීලා නැහැ. 

කරදියාන පදිංචි ප්‍රියන්ත සිල්වා

“අපිට දෙනවා කියපු වන්දිත් නැහැ. ස්ථිර විසඳුමකුත් නෑ. මාස 5 ඉවරයි. අපි කුලී ගෙවල් ගත්තේ මාස 6කට. තව එක මාසයයි තියෙන්නේ. සමහරු ගෙවල් ඉල්ලනවා. දැන් වෙන ගේකට යන්න සල්ලිත් නෑ.

කසළ බැහැර කිරීමේදී පළාත් පාලන ආයතන මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් ද අපි විමසා බැලුවෙමු. එහිදී පිළියන්දල නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මෙසේ කීය.

“කරදියාන කසළ අංගණය කැස්බෑව නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටා තිබීම පිළිබඳ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හැටියට පක්ෂ විපක්ෂ සියලුදෙනා ඊට විරෝධය පළකර තිබෙනවා. 2011 වසරේ මා සභාපතිවරයා හැටියට පත්වීමත් සමඟ මහ සභාවේ යෝජනාවක් සම්මත කරගත්තා මේ කසළ කන්ද ඉන් ඉවත් කළ යුතු බවට. මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරීන් දැනුවත් කළත්, කසළ කන්ද ඉවත් කිරීම වෙනුවට ඔවුන් කළේ අවට පළාත් පාලන 7හි කසළ මෙහි බැහැර කිරීමයි.

මේ නිසා කුණු ටොන් 550 පමණ දිනකට මෙහි බැහැර කෙරෙනවා. අඩි 80 පමණ උසට මේ කසළ කන්ද ඉහළට ගිහින් තියෙනවා. මේ අවිධිමත් කසළ ගබඩා කිරීම නිසා අද වනවිට මෙම කන්ද නාය යන  බවට අපට දන්වා තිබෙනවා. මේ නිසා කසළ බැහැර කිරීමේ දින පවා සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ හේතුව නිසා කැස්බෑව බල ප්‍රදේශයේත් ඉවත් කරන කසළ බැහැර කිරීමට කැස්බෑවේ ඉඩම පවා අපිට අහිමි වන තත්ත්වයකුයි උදා වී තිබෙන්නේ.

අනික කරදියාන කසළ බැහැර කෙරෙන තැන ජල පෝෂක ප්‍රදේශයක්. මේ තුළින් වේරුස් ගඟ දැඩි අපවිත්‍රතාවයකට පත්ව තිබෙනවා. එසේම වසර 15 – 20 සිට එහි අවට පවුල් 500 පමණ ජනතාව දැඩි දුෂ්කරතාවයකටයි පත්ව සිටින්නේ. ඒ නිසා මේ කරදියානට කුණු ගෙනෙන අනිත් පළාත් පාලන 6 කුණු නවත්වලා කිසියම් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. එසේම අරුවක්කාරුවලට කසළ ගෙන යන්න කියනවනම් ඊට අවශ්‍ය භෞතික සම්පත් අපිට ලබා දිය යුතුයි.

හෝමාගම ප්‍රදේශීය සභාවේ සභාපති - සම්පත් ජයසිංහ

“හෝමාගම අපිට කසළ බැහැර කරන්න වෙනත් තැනක් නැහැ. ඒ නිසා අපේ කසළ කරදියානට තමයි බැහැර කරන්න වෙන්නේ. ඒ නිසා එකපාරටම කසළ දාන්න එපා කීවොත් පසුගියදා කොළඹ මහ නගර සභාව මුහුණ දුන් තත්ත්වයට අපිත් පත්වෙයි. ඒ සඳහා අපිට කාලයක් ඕනේ. අනික අපි කසළ බැහැර කරන්නේ සල්ලි ගෙවලා. දිරන කසළවලට රුපියල් 250 ගෙවනවා. මිශ්‍ර කසළවලට රුපියල් 1050 ගෙවනවා. මේ දිරන කසළ භාවිතා කරලා මිහිසරු ව්‍යාපෘතිය යටතේ පළාත් සභාව මිලියන ගණනින් ලාභ උපයනවා. නමුත් ඔවුන් මේ කසළ බැහැර කිරීමට පළාත් පාලන ආයතන සඳහා විධිමත් සැලැස්මක් සකස් කර නැහැ.

ඒ වගේම මේ කසළ කන්ද අද නාය යන බව පවසනවා. නමුත් කුණු ටොන් 500 භාවිතා කරලා විදුලි උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කළා.. නමුත් ඒ ව්‍යාපෘතියත් අද වනවිට අතරමග නතර වෙලා. ඒ ව්‍යාපෘතිය දියත් කළානම් මේ අවදානම අද සිදුවන්නේ නැහැ.

මේ තත්ත්වය මත අපි අරුවක්කාරුවලට කසළ බැහැර කරන්න වුණත් කැමතියි. හැබැයි ඊට නිසි සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි.”

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස්

“කරදියාන කසළ අංගනයේ අඩි 80 පමණ උසට කන්දක් බවට පත්වෙලා. මේ වැසි සහිත කාලගුණයක් සමඟ මේ කන්ද නාය යන්න පුළුවන්. එහෙම වුණොත් අපි දැඩි අර්බුදයකට පත්වෙනවා. මෙතනට අපි අවුරුදු 15 පමණ සිට කුණු දානවා. අවුරුද්දකට මිලියන 480 පමණ අපි ගෙවනවා. ඒත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මේ තත්ත්වයෙන් මිදෙන්න නිසි සැලසුම් ඉදිරිපත් කර නැහැ.

අපි රුපියල් මිලියන 480 පමණ කරදියානට ගෙවනවා. මේවා ජනතාවගේ බදු මුදල්. එහෙමනම් අපි අහන්නේ මේකට සාධාරණ විසඳුමක් ලබාදෙන්නේ නැත්තේ ඇයි?”

මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු

“මේ කුණු කන්ද හදිසියේ නාය ගියොත් එකවර අරුවක්කාරුවලට අපේ කුණු ගෙනියන්න අපි පොහොසත් නෑ. කොළඹ නගර සභාවට සල්ලි තිබුණට අපිට නැහැ. අනික මේ පළාත් සභා යටතේ මේ කසළ අංගනයට විසඳුම් ගේන්න හැමදාම උත්සාහ කළත් අද වනවිට ඒ අය කොම්පෝස්ට් කසළ වෙනුවට මිශ්‍ර කසළ ගේනවට තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ.

ඒ නිසා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මේ අක්කර 25 පමණ ඉඩම සම්පූර්ණයෙන් සමතලා කරලා පළාත් පාලන ආයතනවලට සමසේ බෙදා දීලා මේ කසළ බැහැර කිරීම කරන්න කියනවනම් අපි ඒ වැඩේ කරලා පෙන්නනවා. ඒ කෙසේ වෙතත් අපි අපේ බල ප්‍රදේශයේ කසළ රඳවනයක් පටන්ගන්න අවශ්‍ය තීරණ ගෙන තිබෙනවා. ඒක මාස 6 ඇතුළත ඉදිකොට වැඩ පටන්ගන්නවා.”

පිළියන්දල ප්‍රාදේශීය ලේකම් කේ. පී. ප්‍රේමදාස මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීය.

“ඉකුත් අප්‍රේල් 12 දා අපිව දැනුවත් කළා. මේ කසළ අංගනය අවදානම් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අවට ජනතාව ඉන් ඉවත් කර දෙන්න කියලා. ඒ අනුව එක් මසකට රුපියල් 25000 බැගින් කුලී නිවාස මුදලක් ලබා දී ඔවුන් මාස හයකට ඉවත් කළා. දැන් මාස 5 ඉවරයි. මේ වනවිට ඔවුන්ට වන්දි දීලා ඉවර කිරීමටයි පියවර ගෙන තිබුණේ. නමුත් මීට මාසයකට පමණ පෙර අපට වාර්තා වුණා. මේ ඉඩම් වේරෑස් ගඟ ව්‍යාපෘතියට අත්පත් කරගෙන ඇති බව. ඒ අනුව දැන් ගැටලුවකට අපි මුහුණ දී සිටිනවා මේ ජනතාවට වන්දි ලබා දිය යුත්තේ කුමන ආයතනයෙන් ද කියන වග. නමුත් මේ වන්දි ලබාදීම ඉක්මන් කර ගැනීමට නොහැකි වුවහොත් ඉදිරි මාස කිහිපයටත් කුලී මුදල් සුපුරුදු පරිදි ලබා දීමට පියවර ගන්නවා.”

පත්ව ඇති තත්ත්වය මත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු අප සමඟ මෙසේ පැවසීය.

කරදියාන කසළ අංගනය ඝන අපදුව්‍ය කළමනාකරණ අධිකාරියට 2009 වසරේදී ලැබෙන්නේ. එදා සිට මේ දක්වා මේ ස්ථානය විධිමත් ලෙස පවත්වාගෙන යන්න කොම්පෝස්ට් අංගනයක්, මහිසරු පුහුණු පර් යේෂණ ආයතනයක් සහ මහා පරිමාණ කසළ කළමනාකරණ ආයතනයක් පිහිටුවන්න පියවර ගත්තා.

මේ වනවිට රුපියල් මිලියන 250 වැය කරලා කොම්පෝස්ට් අංගනය ඉදිකරමින් යනවා. ඉන් නිෂ්පාදනය වන කොම්පෝස්ට් වලින් සියයට 50 පමණ විදේශ රටවලටත් යවමින් සිටිනවා. එහෙත් අපේ මහා පරිමාණ ව්‍යාපෘතිවල වැඩ නිම කිරීමට කාලයක් ගියා. නමුත් මේ වනවිට අතරමග නතර වූ වැඩ නැවත ආරම්භ කර තියෙනවා. ඒ අනුව ඉදිරි ඔක්තෝබර් මාසයේ සිට මාස 18 ඇතුළත බයෝ ගෑෂ් ව්‍යාපෘතියක් මාස 24 ඇතුළත බලශක්ති ජනනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගන්නවා.

I මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න