2017 මාර්තු 11 වන සෙනසුරාදා

මරුකටේ සැඟවී සිටින රොහා

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 352

 

2016 ජූනි 23 වැනිදා දහවල් මහර අධිකරණය භූමිය සහ කඩවත නගරය දෙවනත් කරමින් පට පට පට ගා ශබ්දයක් පැතිර ගියේ බොහෝ දෙනා කලබලයට පත් කරමිනි. ශබ්දය ඇසුණු දෙසට යන විටත් පුද්ගලයකු ලේ විලක් මැඳ වැටී සිටි අතර ඔහුගේ බිරියත් දරුවාත් භීතියෙන් වෙව්ලමින් පණ අදින ස්වාමියා සහ පියා දෙස බලා සිටියේ ඇඬූ කඳුළෙනි. නීතිය පසිඳින ස්ථානයක් ඉදිරිපිට පුද්ගලයකු මේ ආකාරයෙන් ඝාතනය කිරීම සැම දෙනාටම ගැටලුවක් මෙන්ම භීතිය ගෙන දෙන සිද්ධියක්වී තිබිණ.

කෙසේ වෙතත් මෙලෙස ඝාතනය කර තිබුණේ අහිංසකයකු නොවේ. රත්මලාන සහ මොරටුව තුළ මැරකම් කළ අයෙකි. ඔහුව බොහෝ දෙනා දැන සිටියේ ලංසියා නමිනි. ඔහු හෙරොයින් නඩුවකට පෙනී සිටිමින් නැවත නිවෙස බලා යාමට එළියට පැමිණි අවස්ථාවේ නාඳුනන මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා ඇති බව බිරියගේ ප්‍රකාශයෙන් හෙළිවිය. ඇය එසේ කියන විට මේ ඝාතනයට සම්බන්ධ බවට අයකුගේ නමක්ද හෙළි කළාය. ඒ වෙනින් කවුරුත් නොව තවත් පාතාල නායකයකු වූ ගොනාකෝවිලේ රොහාය. රොහා යනු කාලයක් ලංසියාගේ හොඳම මිතුරාය. එහෙත් ඒ මිතුරුකමට හෙණ වැදී තිබුණේ රොහාගේ කැත වැඩ නිසාය.

කෙසේ වෙතත් ඒ රොහාගේ නම හෙළි වූ නිසා පොලීසිය රොහා පසුපස පැන්නුවේය. එහෙත් ඒවන විට රොහා ප්‍රදේශයෙන් පැනගොස් තිබුණේය. එපමණක් නොව රොහා මෙම ඝාතනයට සම්බන්ධ බවත් ඔහු පැමිණි බවත් හෙළිවී තිබිණි. රොහාට පොලීසියෙන් කට්ටි පණිමින් සිටින්නට හැකි වුවත් රොහාගේ මස්සිනා ප්‍රභාත්‍ට ලංසියාගේ පිරිසගෙන් බේරෙන්නට සිදුවුණේ නැත. ලංසියා ඝාතනය කර සතියක් යන්නට මත්තෙන් ප්‍රභාත්ව වෙඩිතබා ඝාතනය කළේය. මෙලෙස ඝාතනය කළේ ලංසියා ඝාතනයට ප්‍රභාත් ආ බවට ලැබුණු තොරතුරු නිසා වුවත් සැබවින්ම ප්‍රභාත් මේ කිසිඳු දෙයකට සම්බන්ධ අයකු නොවීය. ඒ අනුව ලෙයට ලෙය පලිගත්තේ එලෙසිනි.

තුවක්කු පාර්සලේ බිම වැටීමෙන් පාතාලයෝ අධිකරණයේදී මාට්ටු

පොලීසිය රොහා ගැන සොයන විට බොහොමයක් තොරතුරු අනාවරණය වූහ. එනම් රොහා ලංසියාගේ මාමාවරු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඉන් එක් අයකු දේශපාලනඥයකුද විය. මේ නිසා රොහාට මහඋළු ගෙදර තපින්නට වුණේය. එසේ සිටියදී රොහා අපරාධ ක්‍රමය ගැන හොඳ හැටි ඉගෙනගත් අතර ඇතැම් අයට රොහා යහමඟ වෙනුවට මරැ කටට යන හැටි කියා දුන්නේය. මෙහිදී රොහාට කැපෙන නියම ගෝලයකු හමුවිය. ඔහු විශේෂ බලකායේ හිටපු සෙබළෙකි. හොඳ හැටි අවි ආයුධ හැසිරවිය හැකි නිසා රොහා එම පුද්ගලයාව තම ගෝලයා කර ගත්තේය.
කෙසේ වෙතත් නැවත එළියට පැමිණෙන රොහා සිය අපරාධ ජවනිකාව මහා පරිමාණයෙන් කරගෙන ගියේ කාටත් පෙනෙන්නටය. මේ නිසා ලංසියා සිටියේ රොහා ගැන බද්ද වෛරයෙනි.

දිනක් රොහාගේ ගෙදරට ඥාති කතෝලික පූජකවරයකු පැමිණියේය. ඔහු පැමිණ නැවත පිටත් වන මොහොතේ සිය වාහනය හැරවීම සඳහා පසුපසට ගනිමින් සිටියේය. මේ අතරතුර ලංසියාගේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කරන ඥාති සහෝදරයකු රාජකාරි නිමවී නිවෙසට යමින් සිටියේය. පූජකවරයාගේ වාහනයෙන් ඔහු එන මඟ ඇහුරුණු නිසා මේ පිළිබඳ බහින් බස් වීමක් සිදුවිය. මේ නිසා යකා ඇවිස්සුණු රොහා දෑත බදා සෙබළාට පහර දුන්නේය. පහර කෑ සෙබළා කෙලින්ම ලංසියා සොයාගෙන ගොස් සිද්ධිය අකුරක් නෑර කිව්වේය. මෙය ඇසූ ලංසියාට උන් හිටි තැන් අමතකවී රොහා සොයාගෙන ගියේය. එහිදි ලංසියත් රොහාත් අතර වචන හුවමාරැවක් සිදුවූ අතර අවසානයේ දෙන්නට දෙන්නා තර්ජනය කරමින් පිටත් විය. එසේ පිටවුවත් ලංසියාට ගැලවීමක් තිබුණේ නැත. අවසානයේ රොහා ලංසියා සොයාගෙනවිත් ඝාතනය කළේය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව කට්ටි පැන සිටි රොහාව පොලීසියත්, ලංසියාගේ පිරිසත් සොයන්නට පටන් ගත්හ. ලංසියාගේ පිරිස සෙව්වේ සැබවින්ම රොහාට මරණ සහතිකය ලබාදීම සඳහාය. එහෙත් රොහා සැඟවී සිටියේය. මේ නිසා අවසානයේ ජීවිතයේ වන්දිය ගෙවන්නට සිදුවුණේ රොහාගේ මස්සිනා වන ප්‍රභාත්ටය.

ප්‍රභාත් මැරුවෙත් පලිය ගන්න

කෙසේ වෙතත් මෙලෙස සැඟවී සිටි රොහාගේ නම නැවත කරළියට ආවේ 2016 නොවැම්බර් 16 වැනිදාය. ඒ කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු වෙඩි තබා ඝාතනය කිරීම නිසාය. පොලීසියට කට්ටි පනිමින් සිටි රොහා සම්බන්ධයෙන් තොරතුරක් කුරුණෑගල පොලීසියට ආවේ වෙනත් ක්‍රමයක් හරහාය. එනම් කුලියට ලබාගත් වාහනයක් රොහා විසින් කොල්ලකා ඇති බවට ලැබුණු තොරතුරක් හරහාය. මේනිසා රොහා ඉන්නා බව නොදත් පොලිස් නිලධාරින් වාහනය අත් අඩංගුවට ගත්තේය. එහිදී රොහාත් ගෝලයත් පැනයාම සඳහා සිය අවි වලින් වෙඩි තැබූ අතර මේ නිසා උප පොලිස් පරීක්ෂකවරයා මිය ගියේය. එසේ වෙඩි තබා පැනයාමට උත්සහ කළත් අවසානයේ රොහා පොලීසියට කොටු විය. රොහා පොලීසියට කොටු වුවත් ලංසියාගේ පිරිස රොහාගේ මරණ වරෙන්තුව ඉවත් කළේ නැත. ඔවුන් හැම මොහොතකම උත්සාහ කළේ කෙසේ හෝ රොහා මරා දමා ලංසියාගේ කණ්ඩායම රජ කරන්නටය. ඒ සඳහා ලංසියාගේ දෙවැනියා වූ ලොකු මයියා නිතරම උත්සාහ ගත්තේ කෙසේ හෝ වැඩේ දෙන්නටය.

දිනය පසුගිය 01 වැනිදාය. එදින ගල්කිස්ස අධිකරණ භූමිය තරමක් කාර්ය බහුල වී තිබුණේය. පිරිසක් සැකකරුවන් රැගෙන එන තෙක් අධිකරණ භූමිය තුළ රැඳී සිටියෝය. තවත් පිරිසක් අධිකරණ ශාලාවේ රැඳී සිටියහ. අධිකරණ ශාලාවේ රැඳී සිටි අය අතර එක් අයකු සන්තකයේ තිබූ පාර්සලයක් දඩස් ගා බිම වැටුණේය. මෙය දුටු ඊට යාබද පුටුවේ වාඩිවී සිටි පුද්ගලයා පාර්සලයේ හිමිකරුට දන්වා ඇත්තේ ඔහු සන්තකයේ තිබූ පාර්සලයක් බිම වැටුණු බවය. එය ඇසුණු සැණින් එම පුද්ගලයා පාර්සලය අහුලා නොගෙන එම ස්ථානයෙන් පැනදිව්වේ මහා වැරදිකරුවෙකු ලෙසිනි.

මේ පිළිබඳ සැක සිතූ අසල පුද්ගලයා වහාම පොලිස් නිලධාරින්ට මේ බව දැනුම් දුන්නේය. පොලිස් නිලධාරින් පැමිණි එම පාර්සලය පරීක්ෂා කරන විට එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට කට හරවා ගැට ගසන ලද ගිනි අවි දෙකක් සොයා ගැනීමට හැකි විය. එක් ගිනි අවියක් මයික්‍රෝ පිස්තෝලයක් වූ අතර අනෙක රිවෝල්වරයක් විය. නියත වශයෙන්ම මෙය ඝාතනයක් සඳහා රුගෙනා ආ අායුධයක් බව පොලිස් නිලධාරිහු සැක කළහ. එසේම එලෙස ඝාතනය කරන්නට ඉන්නේ කවුදැයි සොයා බලන විට රොහා ඝාතනය සඳහා රැගෙන එන්නට ඇතැයි පොලීසිය සැක කළේය. මේ නිසාම පොලීසිය අධිකරණය පූර්ණ ආරක්ෂාවකට යටත් කළේය. ඉන් අනතුරුව අධිකරණ භූමියේ සිටින සියලු දෙනා පරීක්ෂා කළේය. එහිදී තරැණයන් 20 දෙනකු කිසිඳු හේතුවක් නොමැතිව අධිකරණ භූමියේ රැඳී සිටි නිසා ඔවුන් සියලු දෙනා පොලීසිය විසින් අත්අඩංගවට ගන්නා ලදී. පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වුණේ 16 දෙනෙකු ලොකු මයියා නැමැති අයගේ කීමට පැමිණි බව කියාය. ඔවුන් ගල්කිස්සේ පැවැති ක්‍රිකට් තරගයකට පැමිණි බවත් එහිදී මයියා හැමදෙනාටම රුපියල් 2000 බැගින් ලබාදී අධිකරණයට රුගෙන ආ බවත් ඔවුහු කීහ. එහෙත් මෙලෙස පැමිණියේ ඇයිද යන්න ඔවුන් නොදන්නා බවද පැවසූහ. එසේම තවත් හතර දෙනෙකු සිටි අතර ඔවුන් රොහාගේ ගෝලයන් විය. ඔවුන් පවසා ඇත්තේ රොහාගේ ආරක්ෂාව සඳහා ඒ අය පැමිණ ඇති බවය. කෙසේ වෙතත් අවසානයේ පොලීසිය ඔවුන් සියලු දෙනාම අධිකරණය වෙත ඉදිරිපත් කළහ.

පොලීසියට මීළඟ අභියෝගය වුණේ මයියා සොයා ගැනීමය. මයියා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවූ අතර අවසානයේ පසුගිය 03 වැනිදා ඔහු වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. එසේ අත්අඩංගුවට ගත් මයියා තොරතුරු රැසක් වැමෑරුවේය. මෙම ඝාතනය සඳහා වූ කොන්ත්‍රාත්තුව විදේශගතවී සිටින ලංසියාගේ සහෝදරයකු විසින් තමන්ට ලබාදුන් බව ඔහු කීවේය. ගිනි අවි දෙක ඉදිරි දොරටුවෙන් ගෙන ආ නොහැකි නිසා පාර්සලය අධිකරණයේ පිටිපස්ස තාප්පයේ උඩින් තබා නැවත ඇතුළට පැමිණ ගත් බවත් ඔහු කියා ඇත. එසේම, රොහාට ස්ථාන තුනකදී වෙඩි තැබීමට තීරණය කර තිබී ඇත. එක් ස්ථානයක් බසයෙන් බහින විටත්, කොරිඩෝව දිගේ ඇවිද යන විටත් එසේ නොමැති වුවහොත් අධිකරණ ශාලාවෙන් එළියට බසින විටත් වෙඩි තැබීමට තීරණය කර තිබී ඇත. එහෙත් පාර්සලය බිම වැටුණු නිසා වැඩේ අවුල් සහගතවූ බව සැකකරු පවසා ඇත. එසේම මේ සඳහා ගෝලයන් දෙදෙනකුද රැගෙන ආ බවත් ඔවුන් පැනගොස් ඇති බවත් සැකකරැ ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මයියා ලංසියාගේ ගෝලයෙකි. මයියා විවිධ කතා ගැන කීවත් සැබවින්ම මයියාට අවශ්‍යවී ඇත්තේ කෙසේ හෝ රොහාට වැඩක් දීමය. එසේ වුවහොත් පාතාලයේ කිරුළු පළඳින්නට හැකියාව උදාවනු ඇත. කෙසේ වෙතත් මේ සියලු කතා උන්ගේම කතාය. ඇත්ත කතාව සමහර විට මෙය නොවනු ඇත. මේ ගැලවීමේ කතාව විය හැක. එහෙත් නියත වශයෙන් එක් ඇත්තක් ඇත. එනම් අපරාධකරැවන්ට වැඩි ආයුෂ නොමැති බවය.

 ගයාන් ගාල්ලගේ