2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ජනාධිපතිවරණය උපතේ සිට බලය හුවමාරු වූ හැටි

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 151

එළඹෙන නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන 8 වැනි ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දී ඇති අපේක්ෂක සංඛ්‍යාව 35කි. මෙවර ඡන්ද පත්‍රිකාවද අඩි දෙකකට වඩා දිග වැඩියැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරන අතර සමස්ත ජනාධිපතිවරණ වියදම කෝටි 500කට ආසන්න විය හැකියැයි ද කියා තිබේ. ජනාධිපතිවරණ උණුසුම කෙමෙන් වර්ධනය වෙමින් පවතී. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය නොවැම්බර් 6 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව අවසන් වීමට නියමිතය. ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරැන් සතුව පැවැති  බලය මාරු වූ සැටි සොයා බැලීම මේ අවස්ථාවේ වැදගත් වන්නකි..

1977 පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් හිමි විය. එතෙක් විපක්ෂ නායක ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතා අගමැති ධුරයට පත් වූ අතර ඔහු 1972 ව්‍යවස්ථාව වෙනස් කොට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තේය. නව ව්‍යවස්ථාවෙන් පළමු වරට විධායක ජනාධිපතිධුරයක් නිර්මාණය කෙරුණු අතර ඡන්ද විමසීමකින් තොරව 1978 පෙබරවාරි 4 වැනි දින අගමැති ජයවර්ධන මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයකට සීමා විය. ඒ අනුව පළමු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වූයේ 1984දීය. එහෙත් සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීමෙන් පසු විපක්ෂය දුර්වල බව දුටු ජේ. ආර්. ජයවර්ධන දෙවසරකට කලින් ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව මෙරට පැවැති ප්‍රථම ජනාධිපතිවරණය 1982 ඔක්තෝබරයේදී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ද, ජනතා විමුක්ති පෙරමුණින් රෝහණ විජේවීර ද, දෙමළ කොංග්‍රසයෙන් ජී. ජී. පොන්නම්බලම්ද, ලංකා සමසමාජ පක්ෂයෙන් කොල්වින් ආර් ද සිල්වාද, නව සමසමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර ද එයට ඉදිරිපත් වූහ. ඡන්ද 34,50,811 දිනා ගනිමින් ජේ. ආර්. ජයවර්ධන යළි ජනාධිපතිධුරයට පත් විය.

දෙවරකට වඩා වැඩි වාරයක් ජනාධිපති ධුරය දැරීමට ව්‍යවස්ථාවෙන් වළකා තිබූ හෙයින් ජේ. ආර්. ජයවර්ධන 1988 දෙවැනි ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලලිත් ඇතුලත්මුදලි මහතාට හෝ ගාමිණී දිසානායක මහතාට ලබා දීමටය. එහෙත් අගමැති ප්‍රේමදාස ඒ දෙදෙනාට වඩා බලවත් විය. එහෙයින් දෙවැනි වරට පැවැත්වෙන විධායක ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය හිමිවූයේ අගමැති ආර්. ප්‍රේමදාසටය. ඒවන විට උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ද, දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයද දරුණු ලෙස පැතිර තිබූ හෙයින් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට තරග කිරීමට සිදු වූයේ  භීෂණකාරී වාතාවරණයක් යටතේය. කෙසේ වුවද අවසානයේ ආර්. ප්‍රේමදාස ඡන්ද 2,569,199 ලබාගනිමින් ජයග්‍රහණය කළේය. එවක ඉන්දියානු විරෝධයක් ද පැවැති අතර ඉන්දියානු සාම සාධක හමුදාව හරවා යැවූ ප්‍රේමදාස ජනතා විමුක්ති පෙරමුණේ විරෝධයද අවසන් කිරීමට පියවර ගත්තේය. ලලිත් ඇතුලත්මුදලි හා හා ගාමිණි දිසානායක ආර් ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ මේ අතරතුරය. ප්‍රේමදාස කෙසේ හෝ ඉන් ජයග්‍රහණය කළ අතර ලලිත් හා ගාමිණි පක්ෂයෙන් ඉවත්වී එක්ස්ත් ජාතික පෙරමුණ පිහිටුවා ගත්හ. 1993 අප්‍රේල් මස 23 දින මැතිවරණ වේදිකාවකදී ලලිත් ඇතුලත්මුදලි ඝාතනය විය. එම ඝාතනයේ සැකය සමහරුන් එල්ල කළේ ආර් ප්‍රේමදාසටය. ප්‍රේමදාසට සිය පළමු ධුර කාලය හෝ සම්පූර්ණ කිරීමට අවකාශ නොලැබිණි. ධුර කාලය තවත් වසරක් ඉතිරිව තිබියදී 1993 මැයි 1 දින එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඔහු ඝාතනය විය.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධුර කාලය තවත් වසරක් පැවැති හෙයින් එවක අගමැතිවරයා වූ ඩී. බී. විජේතුංග තුන්වැනි ජනාධිපතිවරයා ලෙස පත්විය. විජේතුංග මහතාගේ ධුර කාලය 1993 මැයි 2 සිට 1994 දෙසැම්බර් 12 දක්වා පැවතියේය. ජනාධිපති විජේතුංග 1994 ජනාධිපතිවරණයට පෙර අගෝස්තු මාසයේ මහා මැතිවරණයක් කැඳවීය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ කිහිපයක් එක්ව පොදු ජන එක්සත් පෙරමුණ නමින් පෙරමුණක් පිහිටුවාගෙන මැතිවරණයට ඉදිරිපත් වූ අතර වසර 17ක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කිරීමට ඔවුනට හැකි විය. නව රජයේ අගමැතිවරිය වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය.

ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව පක්ෂයෙන් ඉවත් වූ ගාමිණී දිසානායක යළි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව සිටි අතර නව රජයේ විපක්ෂ නායකයා වූයේ ඔහුය. තුන්වැනි ජනාධිපතිවරණයට නාම යෝජනා බාර ගැනුණේ 1994 ඔක්තෝබර් 7දාය. 1994 නොවැම්බරයේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වූ අතර ඒ සඳහා ී ලංකා නිදහස් පක්ෂය මුඛ පොදු පෙරමුණු අපේක්ෂිකාව ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් වූ අතර එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂ නායක ගාමිණී දිසානායක ඉදිරිපත් විය. මැතිවරණ වාපාරය අතරතුර 1994 වසරේ ඔක්තෝබර් 24 වන දින තොටළඟ පැවැති  එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැලියට එල්ල කෙරුණු මරාගෙන මැරෙන එල්ටීටීඊ ස්තවාදී හාරයෙන්  ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මරණයට පත් වූයේය. එක්සත් ජාතික පක්ෂය තම අපේක්ෂකයා ලෙස ගාමිණී දිසානායක මහතාගේ බිරිය වූ ීමා දිසානායක ඉදිරිපත් කළේය.. 1994 නොවැම්බර් 9 දින පැවැති තුන්වැනි ජනාධිපතිවරණයෙන් 62.2% වාර්තාගත ජයක් ලබමින් චන්ද්‍රිකා කුමාරතුංග මෙරට පළමු ජනාධිපතිවරිය ලෙසට පත් වූවාය. ජනාධිපති ඩී. බී. විජේතුංග චන්ද්‍රිකා කුමාරතුංගට බලය පවරමින් තම දේශපාලන දිවියෙන් සමුගෙන පිළිමතලාවේ පිහිටි තම නිවෙසේ විාමික දිවියක් ගත කළේය.

චන්ද්‍රිකා පාලනය සමයේ එවකට පැවති ජනවාර්ගික ගැටලුව නිරාකරණය කිරීමට ඇය පියවර ගත්තාය. පළමුව සාම සාකච්ඡා මගින්ද දෙවනුව යුදමය මෙහෙයුමකින්ද එල්ටීටීඊය පරාජය කිරීමට උත්සාහ කළා ය. 2001 දෙසැම්බර් පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂයට පැරදුණු අතර කුමාරතුංග ජනාධිපති ධුරයේ සිටියදී විපක්ෂය පාර්ලිමේන්තු බලය හිමිකර ගත්තේය.

1999 දී චන්ද්‍රිකා කුමාරතුංග තම දෙවැනි ධුර කාලය සඳහා තරග කළාය. විපක්ෂ අපේක්ෂකයා වූයේ රනිල් වික්‍රමසිංහය. ජනාධිපතිවරණයට දින තුනකට ඉහත දී චන්ද්‍රිකා බණ්ඩාරනායකට එල්ටීටීටීඊ  බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් ඇයට එක් ඇසක් අහිමි විය.. එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඇය  ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 51.12%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවැනි වරටද ජනාධිපතිධුරයට පත් වූවාය. රනිල් වික්‍රමසිංහ ඡන්ද 42.71 ක ප්‍රතිශතයක් හිමිකර ගත්තේය.

චන්ද්‍රිකා කුමාරණතුංගගේ දෙවැනි ධුර කාලය අවසන් වූයේ 2005 වසරේය.  එම වසරේ ජනාධිපතිවරණය පවත්වන්නේද යන්න පිළිබඳවත් අනියත බවක් පැවතිණි. නියමිත කාලයට වසරක් පෙරාතුව, ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින්, 1999 මැතිවරණය කැඳවා තිබීම ඊට හේතුව විය. එම අමතර වසර ඇයගේ දෙවැනි ධූර කාලයට එක් විය යුතු බව තර්ක කළ ඇය, ඒ පිළිබඳව නඩුවක් ගොනු කළාය.  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර 2005 මැතිවරණය පැවැත්විය යුතු බවට තීරණය විය. චන්ද්‍රිකා පාලන සමයේ අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා පස්වැනි ජනාධිපතිවරණය සඳහා නම්කෙරිණි. ඔහු තරග බිමට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ඇතුළු තවත් පක්ෂ කිහිපයක එකතුවකින් සැදුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළිනි. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහය. 2005 සැප්තැම්බර් 7 වැනිදා නාමයෝජනා බාරගන්නා ලද එම ජනාධිපතිවරණය 2005 නොවැම්බර් 17 වැනි දින පැවැත්විණි.

බහුතර ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 05 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරැම් දුන්නේ ය. මහින්ද රාජපක්ෂට ඡන්ද 48,87,152 හෙවත් 50.29%ක් හිමි වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ ඡන්ද 47,06,366ක් ලබා ගත්තේය. මහින්ද රාජපක්ෂ වීර චරිතයක් ලෙස තහවුරු වීමට බලපෑ ප්‍රධානතම සාධකය වූයේ 30 වසරක් පුරා පැවැති ඊළාම් යුද්ධය අවසන් කිරීමය. රටේ සමස්ත ජනතාව ඒ වෙනුවෙන් ඔහුට කෘතවේදී වූහ. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂගේ ධුර කාලය අවසන් වීමට නියමිත වූයේ 2011 වසරේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුගේ සාමාන්‍ය ධූර කාලය වසර හයක් වුව ද, ධූර කාලය වසර සතරක් ඉක්මවත්ම ජනාධිපතිවරයාට මැතිවරණයක් කැඳවිය හැකිය. ඒ අනුව 2010 වසරේ සිය දෙවැනි ධුර කාලය සඳහා තරග කිරීමට ඔහු  තීරණය කළේය. 2009 දෙසැම්බර් 17 දින නාමයෝජනා බාර ගැනුණු අතර ජනාධිපතිවරණය 2010 ජනවාරි 26 දින පැවැත්විණි.

ජනාධිපතිවරණ තරගයෙන් දෙවරක් පරාජය ලබා සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ අතර ඒ සඳහා පොදු අපේක්ෂයකු නම් කිරීමට පියවර ගත්තේය. ඒ සඳහා තෝරාගැනුණේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාය. ඡන්ද 6,015,934 ලබාගත් මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් ජනාධිපතිවරයා විය. සරත් ෆොන්සේකාට ඡන්ද 4,173,185ක් හිමි විය. ජනාධිපතිවරණය කලින් පැවැත්වුවද මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි ධුර කාලය ඇරඹෙන්නේ 2010 නොවැම්බරයේ සිට බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2010 පෙබරවාරි මාසයේදී තීන්දු කළේය.

2010 සැප්තැම්බරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ පාර්ලිමේන්තුව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා දහ අටවැනි සංශෝධනය අනුමත කළ අතර ඉන් ජනාධිපතිවරුන් සඳහා පැනවී තිබුණු දෙවරක ධූර කාල සීමාව ඉවත් කරනු ලැබීය. මහින්ද රාජපක්ෂට තෙවැනි වරටත් තරග කිරීමට අවසරය හිමිවිය. 

තමා වටා පැවැති ජනප්‍රියභාවය පිළිබඳ සැකයක් නොතිබි හෙයින් මහින්ද රාජපක්ෂ මෙවර නියමිත කාලයට දෙවසරකට ප්‍රථම ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව 2014 දෙසැම්බර් 8 දින නාම යෝජනා භාර ගැනුණු අතර 2015 ජනවාරි 8 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත විය.

 එය මෙරට පැවැති සත්වැනි ජනාධිපතිවරණය විය මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් ඔහුගේ තෙවැනි ධුර කාලය ඇරඹීමට නියමිත වූයේ 2015 නොවැම්බර් 19 දින සිටය. වෙනත් අපේක්ෂකයකු ජයග්‍රහණය කළහොත් ඔහුගේ ධුර කාලය ජනවාරි 8 වැනිදා සිට ආරම්භ වීමට නියමිත විය. එක්සත් ජාතික පක්ෂය මෙවරද පොදු අපේක්ෂකයකු නම් කිරීමට තීරණය කළේය. 

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමි යන අයගේ තෝරාගැනීම වූයේ මහින්ද රාජපක්ෂ රජයේ සෞඛ්‍ය ඇමතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේනය. 

නොසිතූ අයුරින් මහින්ද රාජපක්ෂ මෛත්‍රිපාල සිරිසේනට පරාජය විය. මෛත්‍රිපාල සිරිසේන ඡන්ද 6,217,162 ලබා ගත් අතර මහින්ද රාජපක්ෂ ඡන්ද 57,68,090 ලබා ගත්තේය. දිවුරුම් දුන් දිනයේ ඔහු ප්‍රකාශ කළේ තමා වසර පහක කාලයක් පමණක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.

මෛත්‍රිපාල ජනාධිපතිවරයා දින සියයේ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවමින් රටේ සංවර්ධන කටයුතු ව්‍යාප්ත කරන බවට පොරොන්දු විය. එහෙත් ඔහු පොරොන්දු වූ පරිදි සියල්ල කිරීමට නොහැකි විය. ඔහුගේ පාලන කාලයේ රටේ ආර්ථිකය ඉහළ නැංවුණේ නැත. විවිධ උද්ඝෝෂණ, වැඩ වර්ජන නිතර පැවතියේය. ජනාධිපති හා අගමැතිවරයා අතර පැවතියේ සීතල යුද්ධයකි. එය රටට හානිකර අයුරින් බලපෑවේය. පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ පැවැති ජනප්‍රසාදය ද ක්‍රමයෙන් හීනවන්නට විය. දෙවැනි වරට තරග කිරීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් නොවුවද ඔහු යළි තරග නොකොට පොදු ජන එක්සත් පෙරමුණු අපේක්ෂකයාට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටියි. ඒ අනුව ස්ව කැමැත්තෙන් දෙවැනි ධුර කාලය සඳහා තරග නොකළ පළමු ජනාධිපතිවරයා ඔහු වනු ඇත. ඔහුගෙන් ගිලිහෙන ජනාධිපති ධුරය ගෝඨාභය රාජපක්ෂගේ හෝ සජිත් ප්‍රේමදාසගේ ඔඩොක්කුව මතට වැටෙනු ඇති බව පොදු ජනයාගේ හැඟීම වී තිබේ. මෙතෙක් මෙරට ප්‍රධාන පක්ෂ දෙක වූයේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහෙත් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොර පිටියේ නොමැත. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු සහභාගී වුවද අලුතින් බිහිවූ පොදු ජන එක්සත් පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර තියුණු සටනක් පැවතිය හැකිය යන්න දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා