2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ලොකු පිම්මක් පැන්න ඇල්පිටියේ පුංචි ඡන්දය

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

ජාතික දේශපාලනය උණුසුම් කරමින් මේ වනවිටත් දින වකවානු ප්‍රකාශයට පත්කර ඇති ජනාධිපතිවරණයට පෙර එන ජනාධිපතිවරණයේ ජය පරාජය උරගා බලන මැතිවරණයක් බවට පත්ව තිබූ ඇල්පිටියේ පුංචි ඡන්දය පසුගිය සිකුරාදා (11) පැවැත්විණි. මෙම උණුසුම් මැතිවරණයේ ජය ශ්‍රිලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවට) හිමිවිය.  ඒ ගැන උදම් වූ පොහොට්ටු පාක්ෂිකයෝ උත්සවශ්‍රීෙයන් ජයග්‍රණය සැමරීය. 

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට පෙර ප්‍රධාන පක්ෂ තුනෙහි පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇල්පිටියේ ගම්මාන රැසක සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කර තිබිණි. කොට්ඨාස 17හිම ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයන්ගේ පෝස්ටර් කටවුට් සමඟ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ රුව රැගත් පෝස්ටර් කටවුට් ගම්මාන පුරාවටම ඇළවී තිබුණේ මෙවර ජනාධිපතිවරණ පෙරහරේ කසකාරයා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව බව කියා පාමිණි. 

ඡන්ද මධ්‍යස්ථාන 47කදී සිකුරාදා උදෑසන 07ට ආරම්භ වූ ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 04.00ට අවසන් වූ අතර ඒ සඳහා සුදුසුකම් ලබාසිටි ඡන්දදායකයන් සංඛ්‍යාව 53384කි.

පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනකු පමණ මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටි අතර ඔවුන්ගෙන් 28 දෙනකු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරීපත්වීමට නියමිතය. ඒ කොට්ඨාස මට්ටමින් 17 දෙනකු සහ දෙවැනි ලැයිස්තුවෙන් 11 දෙනකු වශයෙනි. 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පෙර අවස්ථා කිහිපයකදීම “දේශය” අප ඇල්පිටිය ප්‍රදේශයේ සංචාරයකොට පුංචි ඡන්දයේ මැතිවරණ කටයුතු පිළිබඳව විස්තර පාඨක ඔබ වෙත ගෙන ආවෙමු. මෙවරත් මැතිවරණ දිනයට පෙර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් කිහිපදෙනකුගෙන් අපි මෙම මැතිවරණය පිළිබඳව විමසීමක් කර සිටියෙමු.

පසුගිය සිකුරාදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ 75%ක පමණ ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සිදුවීම් 2ක්ද වාර්තා වී තිබූ බව පැෆරල් සංවිධානය පැවසීය. 

 හසිත් අංජන
 සේයාරුව - චන්ද්‍රසිරි ගුණසේකර - ඇල්පිටිය 

කරුණාසේන පොන්නම්පෙරුම  
ඇල්පිටිය ප්‍රාදේශීය සභා අපේක්ෂක හා පොදු ජන පෙරමුණ කණ්ඩායම් නායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇල්පිටියට ආවා. විශාල ජන පිරිසක් එතුමාගේ රැස්වීමට ඇවිත් හිටියා. එතුමා කියපු පරිද්දෙන්ම අපි ඇල්පිටිය ඡන්දය ජයගෙන මේ ප්‍රදේශයේ සංවර්ධනයේ අරුණළු ක්‍රියාත්මක කරනවා. ජනතාවට දැන් මේ වත්මන් ආණ්ඩුව ක්‍රමයෙන් එපාවෙමින් යන්නේ. දැඩි විශ්වාසයෙන් කියනවා මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම අපි ජයග්‍රහණය කරයි කියලා. ඒ වගේම මෙවර ජනාධිපතිවරණයේ පළමු වෙඩිමුරය ඇල්පිටියෙන් දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙත්.

පිනිකහන, කහදූව, අවිත්තාව, ඉඳිපලේගොඩ, තිබ්බොටුවාව, තලාව, බටුවන්හේන, අමුගොඩ, ඕමන්ත, නවදගල, පිටුවල, කැටන්දොළ යන කොට්ඨාසවල සිකුරාදා උදෑසන සිටම ඡන්දය භාවිත කිරීම සඳහා විශාල වශයෙන් ඡන්දදායකයන් ඡන්දපොළ වෙත පැමිණි බව ප්‍රදේශයේ අප වාර්තාකරුවෝ පැවසූහ.

මෙවර මැතිවරණය සඳහා විශේෂ ආරක්ෂාවක් ඇල්පිටිය ප්‍රදේශය පුරාවටම යොදවා තිබූ අතර මැතිවරණ රාජකාරී කටයුතු සඳහා ද කාර්යමණ්ඩලයේ 800ක් යොදවනු ලැබ සිටියහ.

නිශාන්ත පෙරේරා
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂක හා කණ්ඩායම් නායක

පක්ෂ දෙකේම නායකයන් මැති ඇමතිවරුන් මෙවර ඇල්පිටියට ආවා. නමුත් ඒ දෙපැත්තෙන් ආව හැමෝම අනෙක් පක්ෂවලට විරුද්ධව කතා කරා ඇරෙන්න මේ ජනතාවට මේ ප්‍රදේශයට වෙන සේවය පිළිබඳ කිසිම කතාවක් කළේ නැහැ. මොවුන් මේ සිදුකරන්නේ වෛරී සහගත දේශපාලනයක්. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කිසිවිටකත් වෛරී සහගත දේශපාලනයක නියලුණේ නැහැ.

ඒ වගේම තමයි මෙවර ජනාධිපතිවරණය සඳහා වන පසුබිම මෙවර ඇල්පිටියෙන් මූලිකව ආරම්භ කරන බව අපි කියන්න ඕන. ඒ වගේම තමයි මේ පුංචි ඡන්දයෙන් පස්සේ අපි අපගේ ජාතික ජන බලවේගය යටතේ මුළු රටම සංවර්ධනය කරනවා.

භාතිය ලියනආරච්චි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා අපේක්ෂක සහ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක

විශේෂයෙන්ම ජනාධිපතිවරණය සඳහා දින වකවානු ප්‍රකාශයට පත්කරලා අපේක්ෂකයන් නාමයෝජනා බාර දීලා තිබෙන අවධියක මෙම පුංචි ඡන්දය පැවැත්වීම විශේෂ කාරණයක්. කොට්ඨාස 17ක් අයත්වෙනවා මෙම ප්‍රාදේශීය සභාවට. අපි හිතනවා මෙවර මැතිවරණයට වෙනදාට වඩා උද්යෝගයකින් ජනතාව ඡන්දය දෙන්න පැමිණෙයි කියලා. 

ඒ වගේම මෙවර අපට අලුත් ජනාධිපතිවරණ අපේක්ෂකයකුත් සිටින නිසා අපි හිතනවා මෙවර මැතිවරණය ජයගන්න අපට විශාල ඉඩකඩක් පවතී කියලා.