2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

කොස්ගොඩ පොලීසියේ හිර කූඩුවේ අඩිගැසූ කුඩුකාරයා

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

තමා සිටින තැන, අවට වටපිටාව පිළිබඳව ඔහුට වගක් නැත. සිහින ලෝකයක සිට මත්පැන්වලින් සප්පායම් වන ඔහුට බාහිර බාධාවක් නැත. වැඩි ඉඩකඩක් හෝ බාහිර පරිසරය එතරම් නොපෙනෙන ස්ථානය කුඩා කාමරයක් හා සමානය. පාළු ගතියක් ඇති එහි මොහුට නිදහස උපරිමයෙනි.

මේ සඳහන් කළේ පසුගිය දින කිහිපයේ අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් පැවැති ස්මාර්ට් ජංගම දුරකතනයක වීඩියෝ තාක්ෂණයෙන් පටිගත කළ දර්ශනයකි. ඉහත කී විස්තර ඇතුළත් වීඩියෝ දර්ශනය තුළ සුවිශේෂී බවක් නැතත් අදාළ සිදුවීම ඇතුළත් දර්ශනය පටිගතකොට තිබූ ස්ථානයේ විශේෂ වන්නේ එම ස්ථානය කොස්ගොඩ පොලීසියේ සිරමැදිරියක් තුළ දර්ශනයක් වීමය. ඊටත් වඩා පුදුමය වූයේ අදාළ දර්ශනයේ මත්පැනින් සප්පායම් වන පුද්ගලයා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු වීමය.

මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වශයෙන් හඳුනාගෙන සිටින කොස්ගොඩ, ගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සුජිත් ද සොයිසා හෙවත් කඩි සුජී අවස්ථා ගණනාවකදී කොස්ගොඩ පොලීසියට කොටුවී තිබුණේ ගංජා සන්තකයේ තබාගෙන සිටියදීය. එසේ චෝදනාවට ලක්ව සිටි සැකකාර කඩි සුජී පසුගිය දිනක කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ලැබුණු ඔත්තුවකට අනුවය. හෙරොයින් පාර්සලයක් අතැතිව කඩි සුජී සිටින බවට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබියදී හෙරොයින් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු කොස්ගොඩ පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී මත්පැන් පානය කරමින් එය විඩියෝගත කර අන්තර්ජාලයට මුදාහැර තිබිණ. එය සිදුකොට තිබුණේද කඩි සුජී නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන 36 හැවිරිදි වියේ පසුවන සුජිත් ද සොයිසා විසිනි. 

අන්තර්ජාලයේ සංසරණය වෙමින් පැවති වීඩියෝව තුළ සැකකාර කඩි සුජී පැහැදිලිවම දකින්නට ලැබෙන බව කියන පොලීසිය පවසන්නේ සැකකරු සිරමැදිරිය තුළට මත්පැන් ලබාගත් ආකාරය පිළිබඳව හෝ එය පානය කරමින් වීඩියෝගත කළේ කෙසේදැයි නොදන්නා බවය. කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නායකත්වය සැපයූ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ජයවිර මහතා සැකකරුගේ මෙකී සිද්ධිය සිදුවන අවස්ථාව වනවිට නිවාඩු ලබා සිට ඇති බවද හෙළිව තිබේ. එහෙත් එම අවස්ථාවේ වැඩබලන ස්ථානාධිපතිවරයකු හා කාර්යභාර නිලධාරියකු ද රාජකාරියේ යෙදී සිට ඇත. එබැවින් රාජකාරිය මගහැරීමේ වරදට ඔවුන් දෙදෙනාගේ වැඩ තහනමට ලක්කර ඇති බව දැනගන්න තිබේ.

වීඩියෝ දර්ශනයට අනුව මත්පැන් පානය කරන කඩි සුජී නැමැත්තාට පොලීසියේ නිලධාරියකු මාර්ගයෙන් මත්පැන් ලැබුණාද යන්න ගැටලුවකි. එය විසඳෙනතුරු පෙර කී නිලධාරීන් දෙපළගේ රැකියාව යළි පිහිටුවනු ලබන්නේ ද නැත. සිදුවීමට සම්බන්ධයෙන් කියැවෙන්නේ සුජී නැමැත්තා මත් ජාවාරමට සම්බන්ධ අයකු බවය. ඔහුගේ නම අනුව ඇතැම් පිරිස් පමණක් නොව බොහෝ දෙනකු විශ්වාස කරන්නේ මෙම සිදුවීම කොස්ගොඩ සුජී නැමැති පාතාල නායකයා සිදුකළ එකක් බවටය. එය මුසාවක් වන අතර වාර්තා වන ආකාරයට පාතාල නායක කොස්ගොඩ සුජී දැනට ඩුබායි රටට පලාගොස් සැඟවී සිටී. එරට සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කොස්ගොඩ සුජී ලංකාවට තොග පිටින් මත්ද්‍රව්‍ය එවන බවට අනාවරණය වී ඇත. එසේම එරට සිටියදී ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ මයිකල් නැමැත්තකුට ඩුබායි සිට ක්‍රියාත්මක මත්කුඩු ජාලය හරහා අධිබල ආර්.පී.ජී. ගිනිඅවි සමඟ අවි තොගයක් එවා ඇති බවද වාර්තා විය. ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ ක්‍රියාත්මකව විමර්ශනය සිදු කරන බව වාර්තා වේ. 

මත්පැන් පානය කරන වීඩියෝව තුළ සුජී නැමැත්තා සමඟ තවත් අයකු සිටින බව පෙනෙන්නට ඇති අතර එදින රාජකාරියේ නිරතව සිටි නිලධාරිනියකගේ හිතවතකු මාර්ගයෙන් පැණිබීම බෝතලයක් ලැබුණු බවද එය පොලිස් සිරමැදිරියේ සිට සැකකරුට ලබාදුන් බවද එය ඇගේ අතිරේක රාජකාරි පොතේ සටහන් තබා ඇතැයි ද වාර්තා වේ. කෙසේ නමුත් සැකකරුවන් දෙදෙනා සහිත වීඩියෝවට අනුව එම බෝතලයේ අඩංගු දෑ පානය කරන අවස්ථාවේ “චියර්ස්” කියමින් හඬ නගන බවද දකින්නට ලැබේ.

කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් විමසීමේදී උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ පොලීසිය අපහසුතාවයට ලක් කිරීම සඳහා මෙවැනි වීඩියෝ දර්ශනයක් පටිගත කළේද නැතිනම් එවැන්නක් සත්‍ය ලෙසම සිදුවූවේද පිළිබඳව සෙවීමට විශේෂ විමර්ශනයක් සිදු කරන බවය.

 සමන්ත විල්තෙර