2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

එකම දවසේ කොටු වූ කෝටි 100ක කුඩු කෝටි 2 1/2ක අයිස්

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 231

වාර්තා වන යම් ප්‍රවෘත්තියක් හෝ සිදුවීමක් දින ගණනක කතාවකට අලුත් මාතෘකා සපයයි. ඡන්දය හා දේශපාලන වේදිකාවේ උණුසුම නිසා අසන්නට ලැබෙන්නේ බල අරගලය ගැන කතාවන්ය. රටේම අවධානය ඒ වෙත යොමුව තිබියදී දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කාලයක පටන් සිදුකළ මත්කුඩු ජාවාරමක් වටලා තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් සමත් වූයේ සතිය මුලදීමය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ පර්යන්තය අසලදී මහාපරිමාණ හෙරොයින් ජාවාරමක් වටලා සුලමුල සොයාගත්දී එදිනම ඉන්දියාවේ සිට ගුවනින් මෙරටට රැගෙන එන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව අනාවරණය කොට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු සමත් වූහ. එම හෙළිදරව් කරගැනීමත් සමඟ ජාවාරමේ නිරතව සිටි මවක හා දියණියක රුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂයක් වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගනු ලැබූහ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් අතුරුගිරිය පිටවීමේ පර්යන්තයෙන් එළියට යාමට වූ සූදානමේදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි දක්ෂිණ අධිවේගී පොලිස් කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයකුට අදාළ මෝටර් රථය පිළිබඳව සැක සිතී ඇත. ඒ අනුව සිදුකළ හදිසි පරික්ෂාවකදී රථය පසුපස සඟවා තිබූ විශාල බෑග් දෙකක් සොයාගෙන තිබිණි. වැඩිදුරටත් පරික්ෂාවට ලක්කළ පොහොර උර දෙක තුළ සමාන ප්‍රමාණයේ පාර්සල් රැසක් දකින්නට ලැබී ඇත. ඒ පිළිබඳව රථයේ පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් විමසීමේදී කියා තිබුණේ පාර්සල් තුළ ගංජා අසුරා ඇති බවකි. ඉන් සෑහීමට පත් නොවූ නිලධාරීන් සිදුකළ දීර්ඝ පරික්ෂාවේදී ඒ තුළ හෙරොයින් සඟවා ඇති බව අනාවරණය කරගෙන සැකකරුවන් දෙදෙනා හා මෝටර් රථය අත්අඩංගුවට ගනුලැබ තිබිණ. කිලෝග්‍රෑම් 50ක බරින් යුත් එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 100 ඉක්මවන බව පොලීසිය වාර්තා කළේය.

කිලෝග්‍රෑම් එක බැගින් වූ පාර්සල් 50ක අසුරා රැගෙන යමින් සිටි හෙරොයින් තොගය සමඟ කොටු වූ දෙදෙනාගෙන් අයෙක් චමින්ද දිල්රුක් හෙවත් පරවි සුදූ වශයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු බොරැල්ල ස්වර්ණපාලි මාවතේ පදිංචිකරුවෙකි. 38 හැවිරිදි ඔහු මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙක් වශයෙන් හඳුනාගෙන සිටි අයෙකි. ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා මංගල සිසිර කුමා (38) නැමැත්තෙකි. ඔහු නුගේගොඩ උඩහමුල්ල සමගි මාවතේ පදිංචිකරුවෙකි.

සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ සැකකරුවන් දෙදෙනා විසින් පසුගිය 7 වැනිදා පෙරවරුවේ කඩවත නගරයට ආසන්න ස්ථානයකදී තවත් පර්ශ්වයක් හා එක්ව හෙරොයින් ගනුදෙනුව සිදුකර ඇති බවය. පසුව කඩවත අධිවේගී මාර්ග පිවිසුමෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට පැමිණි මෝටර් රථය මිනිත්තු කිහිපයකට පසුව අතුරුගිරිය පිටවීමේ පර්යන්තයෙන් එළියට යාමට සූදානම්ව තිබිණි. පෙරවරු 11.30ට පමණ අත්අඩංගුවට ගැණුන හෙරොයින් තොගය කඩවත, අතුරුගිරිය හරහා බොරැල්ල වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවත් අදාළ හෙරොයින් තොගය වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දික නැමැත්තකුට අයත් බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

සැකකරුවන් දෙන්නා මෙම හෙරොයින් තොගය පාතාලයට සම්බන්ධ ජාවාරම්කරුවන් පිරිසකගෙන් ලබාගෙන තිබූ බවත් මීට ඉහතදීත් මොවුන් හෙරොයින් සම්බන්ධ වැරදිවලට පොලීසියට කොටු වී තිබීම නිසා වෘත්තිය වශයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වන දෙදෙනෙකු බවට ද අනාවරණය වී ඇත.

පසුගිය 7 වැනිදා කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමේ පර්යන්තයේදී අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙත් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මව හා දියණිය අත්අඩංගුවට පත්වූහ. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ඔවුන් දෙන්නා ගමන් මළු කිහිපයන් රැගෙන පැමිණ ඇති අතර ඒවා අතර වූ සිවිලිම් විදුලි පංකා අඩංගු පෙට්ටි දෙකක් තුළ රහසිගතව මෙකී අයිස් මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇත. මව හා දියණිය වූ සැකකාරියන් දෙන්නා පවුලේ ව්‍යාපාරයක් වශයෙන් ඉන්දියාවේ සිට නිමි ඇඳුම් රැගෙනවිත් අලෙවි කරන අය බව ප්‍රකාශ කර තිබිණි.

වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මොවුන්ගෙන් මව 68 හැවිරිදිය. දියණිය 36 හැවිරිදි වියේ පසුවෙයි. මව රැගෙන ආ ගමන් මල්ලේ කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 500ක් අඩංගු රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක අයිස් සහ දුව රැගෙන ආ ගමන් මල්ලේ රුපියල් එක්කෝටි හාරලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 40ක් තිබී ඇත. ඒ අනුව අත්අඩංගුවට පත් ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂයකට අධික බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ක්‍රිස්ටල් මෙත් මත්ද්‍රව්‍ය ලොව මිල අධිකම මත්ද්‍රව්‍ය ලෙස වාර්තා වේ. විටින් විට අත්අඩංගුවට පත්වන අයිස් නමින් හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය මෙරටදී පළමුවරට අත්අඩංගුවට ගැනුණේ 2017 වසරේ මැයි මාසයේදීය. පසුකාලීනව මෙකී මත්ද්‍රව්‍ය ලංකාවට ආනයනය කෙරෙන හා අලෙවි කරන ක්‍රම පිළිබඳව වාර්තා විය. මෙරටදී පළමු වරට අයිස් සමඟ අත්අඩංගුවට පත්ව තිබුණේ ද වත්තල ඇළකන්ද ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකි. ඒ අනුව මෙකී ජාවාරම්කාරියන් දෙදෙනා හා පෙර අත්අඩංගුවට පත් අය සමඟ සබඳතාවයක් තිබීමට බොහෝදුරට ඉඩ ඇති බව සැක කෙරේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර