2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඡන්දය කාලේ මුහුණු පොතට හොරෙන් බහින කට්ටිය

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 28

කලින් කලට සමාජ මාධ්‍ය ජාලාවලට හඳුනා නොගත් පුද්ගලයන් පිවිස ඒවා අයුතු ලෙස භාවිත කරන බවට හෝ එහි ඇති දත්ත සොරකම් කරන බවට තොරතුරු අසන්නට ලැබෙයි. ඉදිරියේ පැවැත්වීමට නියමිත ඡන්ද සමයේ විවිධ දේශපාලන මතවාද  තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හුවමාරු කරගන්නා පුද්ගලයන්ගේ ගිණුම්වලට රිංගා ඔවුන්ගේ දත්ත සොරකම් කරන හා එම ගිණුම් හිමියා ලෙස පෙනී සිටිමින් විවිධ මතවාද ප්‍රචාරය කරන හඳුනා නොගත් පාර්ශ්වයක් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා “මෙය හැකර් ප්‍රහාරයක් නොවෙයි. මෙය හඳුන්වන්නේ ෆිෂිං ඇටෑක් එකක් ලෙසයි. මෙය හඳුනා නොගත් පාර්ශ්වයකින් කරන දෙයක්. ඔවුන් සමාජ මාධ්‍ය පරිශීලකයාගේ ගිණුමේ ඉවත් කළ යුතු ඡායාරූපයක් වැනි දෙයක් ඉවත් කර ගැනීම සඳහා ඔහුගේ ගිණුමට ලොග්විය යුතු බව පවසමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද සමාජ මාධ්‍ය වෙබ් අඩවියක ආකෘතියක් සකස්කොට අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයාට යවනවා. තම ගිණුමේ ඉවත් කළ යුතු දෙයක් ඇතැයි සිතා කලබලයට පත්වන පුද්ගලයා අර ව්‍යාජ වෙබ් අඩවියට ගොස් තම පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් කළ විට එය හඳුනා නොගත් පාර්ශ්වයට අතට පත් වනවා. එවිට ඔවුන් එම පරිශීලකයාගේ දත්ත සොරාගන්නා අතර  ඔහුගේ ගිණුමට ප්‍රවේශ වී ගිණුම් හිමියා ලෙස පෙනී සිටිමින් ඔවුන්ගේ මතවාද එම ගිණුම් හිමියාගේ මිතුරන් වෙත යොමු කරනවා.

මෙවැනි ක්‍රියාවල නිරතවන පුද්ගලයන්ගේ අරමුණ කිසියම් මතයක් දරන පුද්ගලයන්ගේ ගිණුම්වලට ප්‍රවේශ වී ඔහු මෙන් තමන්ගේ මතවාදය ප්‍රචලිත කිරීමයි. එමෙන්ම එම පුද්ගලයාගේ චරිතය ඝාතනය කිරීම සඳහාද ඔවුන් මෙවැනි ක්‍රම භාවිත කරනවා. මේ දිනවල එවැනි එක් ක්‍රියාවක් පිළිබඳව සාක්ෂි සහිතව තොරතුරු ලැබී තිබෙනවා. ඒ නිසා ඉදිරියේ එවැනි ක්‍රියා සිදුවිය හැකි බවට අප ජනතාව දැනුම්වත් කරනවා.”

මෙවැනි ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද යන්න හඳුනා ගැනීම අසීරුය. පසුගිය අගෝස්තු මාසයේද මෙවැනි ෆිෂිං ප්‍රහාරයක් පිළිබඳ වාර්තා විය. කිසියම් ගිණුමකට රිංගා එවැනි ගිණුම් දහයක් දොළහක් පමණ නිර්මාණය කොට ඒ හරහා විවිධ අයුතු ක්‍රියාවල නිරත වූ කණ්ඩායමක් පිළිබඳව වාර්තා විය. බොහෝ විට මෙම ප්‍රහාරයට ගොදුරු වූයේ ඉහළ රාජ්‍ය නිලධාරීන්, පූජකවරුන් හා දේශපාලන පක්ෂවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ගිණුම්ය. එයින්ද වැඩි ප්‍රමාණයක් දේශපාලන පක්ෂවලට සම්බන්ධ විවිධ මතධාරී පුද්ගලයන්ගේ ගිණුම්ය. ඔවුන්ගේ ස්වාධීන මතය විකෘති කිරීමට හෝ යටපත් කිරීම මෙම හඳුනා නොගත් පාර්ශ්වයේ අරමුණ වී තිබේ.

බොහෝ විට අවම ආරක්ෂණ ක්‍රමවේදයක් සහිත ගිණුම් පහසුවෙන් ඔවුන්ගේ ගොදුරු බවට පත්වෙයි. Two Factor Authentication නොහොත් දෙවැනි සාධක ස්‍යාපන ආරක්ෂණ ක්‍රමවේදයක් පවතින ගිණුම්වලට මේ අයුරින් පිවිසීම අසීරුය. එවැනි ආරක්ෂණ ක්‍රමයක් භාවිත කරන අයගේ දුරකතනයට පණිවිඩයක් ලැබෙන බැවින් නොහඳුනන පාර්ශ්වයකට ගිණුමට පිවිසිය නොහැකිය. ගූගල් ඕතන්ටිකේටර් වැනි ක්‍රමයක්  භාවිතයෙන්ද මෙවැනි ෆිෂිං ප්‍රහාර වළක්වාගත හැකිය. එමෙන්ම කිසියම් වෙබ් අඩවියකට හෝ සමාජ මාධ්‍ය ජාලයකට පිවිසීමේදී එහි ඇති විශ්වීය ව්‍යාප්තජාල ලිපිනය (URL) එක නිවැරදිද යන්නත් විමසා බැලීම වැදගත්ය. ඔබ ෆේස්බුක් ගිණුමකට පිවිසෙනවා නම් www.facebook‍.com යනුවෙන් තිබේදැයි විමසිය යුතුය. එවැනි ක්‍රම මගින් තම සමාජ ජාල ගිණුම් ආරක්ෂා කරගත හැකිය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා