2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඇල්පියේ තීරණය

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 238

මෛත්‍රී නිර්පාක්ෂිකයි: පොහොට්ටුව ශ්‍රීලනිප සන්ධානගත වෙයි.

ගෝඨා රජරටින් සජිත් කොළඹින් මහ සෙනඟ සමඟ ප්‍රචාරක වැඩට බසී.

සජිත් මහ සඟරාවගේ ආශිර්වාද ලබයි. ජනහමු 140කට සැරසෙයි.

මහින්දලා වතුකරයට අලුත් නායකයෙක් හදයි.

අනුර දිසානායක සහ සජිත් ජනපති මන්දිරවලට කරන්න යන දේ.

ජනපතිවරණයේදී මහමැතිවරණයට සැරසෙන හිටපු හමුදාපති.

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගන්නට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ සිටියේ ලොකු නීතිමය සටනකය. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම ප්‍රශ්න කරමින් පැවරූ නඩුව අධිකරණය විසින් විසිකර දැමීමෙන් පසුව පොහොට්ටුව හා එ.ජා.ප.ය පසුගිය සති අන්තයේ දැඩි ලෙස උත්සාහ කළේ ශ්‍රී.ල.නි.පයේ සහය තම පක්ෂ වෙත ලබාගන්නයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී.ල.නි.පය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති සිරිසේන මහතාගේ මෙහෙයුමෙන් තරග කොට ඡන්ද ලක්ෂ 15ක් ලබාගත් නිසා ඔවුන්ගේ සහය ජනාධිපතිවරණයේදී තීරණාත්මක විය. ඒ නිසා පසුගිය කාලයේ එ.ජා.ප.ය සමඟ විරසකව සිටි ජනාධිපතිවරයාගේ සහාය පොහොට්ටුවට මෙන්ම එ.ජා.පයටත් ලබාගන්නට ප්‍රබල උත්සාහයක් දියත් කැරිණි. ජනාධිපතිවරයා සමඟ මේ ගැන මහින්ද බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු පසුගිය දෙසතියේ වාර හත අටක් පමණ සාකච්ඡා කළ අතර බැසිල් රාජපක්ෂ ඊට වඩා වාර ගණනක් මෛත්‍රී ජනාධිපතිවරයා මුණගැසුණේය. එහෙත් ජනාධිපතිවරයා ප්‍රතිපත්තියක් ලෙස මහින්දලාට සහාය පළ කළ ද පොහොට්ටුව ලකුණට අකමැති බව දන්වනු ලැබීය. මේ ප්‍රශ්නය පොහොට්ටුවට ලොකු ගැටලුවක් වූයේ මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ නිසාය. ජනාධිපතිවරයා මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර ආදීන් නිතරම කීවේ පොහොට්ටුවෙන් නම් අපට බැහැ කියායි. නමුත් නිමල් සිරිපාලලා තරයේම කීවේ අප ඒ ගැන රණ්ඩු නොකර නොපමාව මහින්දලා සමඟ සන්ධානගත විය යුතු බවකි.

පුරවැසි නඩුවේ තීන්දුවට පෙරදා මෛත්‍රී ජනාධිපතිවරයා මුණගැසීමට බැසිල් සමඟ මහින්ද ගියේ පොහොට්ටු ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්නටයි. එහෙත් මෛත්‍රී වචනයක් දුන්නේ නැත. ඔහු නඩු තීන්දුව ලැබෙනතෙක් සිටියා විය හැකිය. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෙසු සියලු කොන්දේසිවලට පොහොට්ටුවේ ප්‍රතිචාරය සාර්ථක විය. අනතුරැව මහින්ද බැසිල් හා ගෝඨා ඒ ගැන සාකච්ඡා කොට නීතිමය ප්‍රශ්නයක් නොමැතිනම් පොහොට්ටුව වෙනුවට පුටුව ලකුණ භාර ගන්නටත් ශ්‍රී ලංකා පොදුජන සන්ධානය යන නමින් ජනාධිපතිවරණය තරග කරන්නටත් සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම් දීමට තීන්දු කළහ. එහෙත් ගෝඨාභය පොහොට්ටුවෙන් ඇප බැඳ ඇති නිසා ඒ ගැන තිබෙන නීතිමය බාධාවක් තිබෙනවාද යන්නත් සොයා බලන්නට තීන්දු විය. පොහොට්ටුවේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්ට බැසිල් රාජපක්ෂ නියම කළේ නීති උපදෙස් මත පොහොට්ටුව ලකුණ වෙනස් කරන්නටත් පක්ෂ නාමය වෙනස් කරන්නටත් සූදානම් බව ලිඛිතව ජනාධිපතිට දැනුම් දෙන ලෙසයි. ඒ අනුව සාගර සකස් කළ ලිපිය සෙනසුරාදා ශ්‍රී.ල.නි.ප විධායක සභාව රැස් වන්නට පෙර ජනාධිපතිවරයා අතට පත්කරනු ලැබීය.

ඒ සමඟ මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කටයුතු පිළිබඳ විශේෂඥ නීති විශාරදයන් ගණනාවක් සමඟත් මැතිවරණ විෂය පිළිබඳ ප්‍රවීණ රාජ්‍ය නිලධාරීන් ගණනාවක් සමඟත් කතා කොට ලකුණ වෙනස් කිරීම ගැන නීති උපදෙස් ගනු ලැබීය. එහෙත් ඒ සියලු දෙනා මහින්දට කීවේ ඇප මුදල් තැන්පත් කළ පසු ලකුණ වෙනස් කළ නොහැකි බවය. එය නාම යෝජනාව ප්‍රතික්ෂේප වන්නට බලපාන ප්‍රධානම හේතුවක් යැයි ද පෙන්වා දෙනු ලැබීය. ඒ බව වහාම මහින්ද විසින් ජනාධිපතිවරයාට දන්වනු ලැබූ අතර ඔහුට ද ඒ ගැන වගකිවයුතු අංශවලින් විමසා බලන ලෙස දැනුම් දුන්නේය.

ඒ වනවිට ජනාධිපතිවරයාට ද මෙතැන නීති ප්‍රශ්නයක් ඇති බව දැනී තිබිණි. ඔහු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ කතා කළේය. එවිට බොහෝ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කීවේ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් තරග කර ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයෙන් මහ මැතිවරණය තරග කළ යුතු බවයි. එම එකඟතාව මත ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව සෙනසුරාදා රැස් වී ජනාධිපතිවරයාට මේ සම්බන්ධව අවසන් තීන්දුව ගැනීමේ බලය පවරනු ලැබීය. ජනාධිපතිවරයා ඒ ගැන මහින්ද රාජපක්ෂලාට දැන්වීය. ගිය ඉරිදා දවසේ දහවල් 11.00ට ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේ මාධ්‍ය හමුවක් තබා මේ බව ප්‍රසිද්ධියේ කියන්නට තමන් සූදානම් යැයි ජනාධිපතිවරයා කීය. එහෙත් ඒ වනවිට ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මාධ්‍යයට පක්ෂ තීරණය හෙළිදරව් කර තිබීම ගැන ජනාධිපතිවරයා පසුවූයේ දැඩි කේන්තියෙනි. එම පක්ෂ තීරණය ඇඟවෙන ෆේස්බුක් සටහනක් මහින්ද අමරවීර මහතාගේ ෆේස්බුක් පිටුවේ ද දැක්විණි.

මෙම තීරණය ඉරිදාම දැනගත් එ.ජා.ප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාත් ජලනි ප්‍රේමදාස මහත්මියත් වාර ගණනාවක් ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයාගේ සහාය තමන්ට ලබා දෙන්නැයි ඉල්ලා සිටියෝය. එහෙත් ජනාධිපතිවරයා ඒ ගැන සජිත්ලාට නිසි පිළිතුරක් දුන්නේ නැත. ඒ සමඟ හිටපු ජනාධිපති චන්ද්‍රිකා ද ජනාධිපති අමතා ශ්‍රී.ල.නි.පයේ සහාය සජිත්ට දිය යුතු යැයි තදින්ම ප්‍රකාශ කළාය. එසේ නොකරන්නේනම් තමන් පක්ෂය තුළ සිටින තමන්ට හිතවත් මන්ත්‍රීන් සමඟ සජිත්ගේ වේදිකාවට නගින බවද කියා තිබිණි. නමුත් ඒ ගැන ජනාධිපතිවරයා තැකීමක් කළේ නැත. තවත් පාර්ශ්ව ගණනාවකින් ද ජනාධිපතිවරයා වෙත මේ ගැන පීඩනය එල්ල කෙරෙමින් පැවතුණි.

මේ කලබලය පවතිද්දී එ.ජා.පයේ කබීර් හෂීම් මහතා සහ ජනාධිපතිවරයාට හිතවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ජනාධිපති නිවසට ගියේ අන්තිම උත්සාහය දියත් කරන්නටයි. කබීර්ලා සුහදව පිළිගත් ජනාධිපතිවරයා ටික වේලාවක් ඔවුන් සමඟ කතා කළත් වැඩිපුර කතා කළේ මාතෘකාව වෙනතකට යොමු කෙරෙන දේශපාලන ඕපාදූප ගැන බව අප වෙත වාර්තා විය. මේ නිසා කබීර්ට හා ඔහු සමඟ ගිය රාජ්‍ය ආයතන ප්‍රධානියාට සිදුවූයේ නැවත හිස් අතින් හැරී ඒමටයි. ඒ සමඟ බැසිල් රාජපක්ෂ හා ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන ද ජනාධිපතිවරයාගෙන් ශ්‍රී.ල.නි.ප තීන්දුව පමා වීම ගැන ප්‍රශ්න කර තිබිණි.

කෙසේ හෝ ඉන් අනතුරුව දින දෙක තුනක්ම බැසිල් රාජපක්ෂ මහතා මහින්ද අමරවීරගේ නිවෙසට ගොස් නිමල් සිරිපාල ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සමඟ කතා කරමින් අනුරාධපුර රැස්වීමට පෙර දෙපක්ෂය සන්ධානගත වීම සඳහා ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කළේය. නමුත් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම තුළ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් දැඩිව කීවේ පොහොට්ටුව සමඟ ගමනක් නැති බවයි. සෙසු ජ්‍යෙෂ්ඨයන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර ආදීන් පොහොට්ටුවට යායුතු බව තීන්දු කර තිබිණි. මේ ගැන ගිය අඟහරුවාදා සහ බදාදා ලොකු මතගැටුමක් ශ්‍රී.ල.නි.පය තුළ නිර්මාණය වී තිබිණි. කෙසේ හෝ අඟහරුවාදා සන්ධ්‍යාවේ ඇල්පිටිය ඡන්දයේ අවසන් මහා රුලිය සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස මාතර සිට පැමිණියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයට ද සහභාගී වීමෙන් අනතුරුවය. එදා දෙපක්ෂයේම ජන රැලි ඇල්පිටියේ පැවැත්වුණ අතර එ.ජා.පයේ ජන රැලිය සඳහා පක්ෂ නායකයන් කිසිවකු හෝ සහභාගී නොවීම කැපි පෙනුණි. ජන සහභාගීත්වය ද ඉතාම දුර්වල විය.

එ.ජා.පයේ ඡන්ද සටන වොක්ෂෝල් වීදිය කාර්යාලයේ සිට මෙහෙයවීමට තීන්දු කළ අතර ඒ සඳහා සංවිධායක මණ්ඩලයක් ද පත්කර ගැනිණි. ජලනි ප්‍රේමදාස මහත්මිය ද ඊට උදව් දීම සඳහා සහභාගී වන්නීය. තිස්ස අත්තනායක, ඉම්තියාස් බකීර් මාකර් පූර්ණකාලීනව එහි සිට මෙහෙයුම් සැලසුම් කරන අතර සජිත් ප්‍රේමදාස මහතා ජන රැලි 140ක් පමණ ඇමතීමට සැලසුම් කර තිබේ. ඒ අතර නාම යෝජනාවෙන් පසු ඔහු මහනුවරට ගොස් මල්වතු අස්ගිරි හා රාමඤ්ඤ මහ නායක හිමිවරුන් මුණගැසී ආශිර්වාද ලබාගත්තේය. එහිදී මාධ්‍යවේදීහු සජිත්ගේ කටින් පසුගියදා පිටවූ ‘ශ්‍රී මුඛ’ කතාව ගැන ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු දුන් සජිත් සඳහන් කළේ තමන් ද පෘතග්ජනයෙක් නිසා වැරදීම් සිදුවන්නට ඉඩ ඇති බවය. ඒවා ඉදිරියට හදාගන්නා බවත් මාධ්‍යයට ඒවා විවේචනයට පවා ඉඩ ඇති වගත් සජිත් සඳහන් කළේය.

ඒ අතර දෙමළ ජාතික සන්ධානය ද දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීම ගැනයි. නමුත් ඔවුන් තවමත් නිල වශයෙන් සිය තීරණය රටට කියා නැත.

සරවනභවන් මන්තීවරයා පමණක් ඊට සමාන කතාවක් මාධ්‍යයට ප්‍රකාශ කළේය. සජිත්ට සහාය දීමේ නැඹුරුවක් ඇති දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නියෝජනය කරන එම්. කේ. සිවාජිලිංගම් මහතා ස්වාධින අපේක්ෂකයකු ලෙස ඡන්දයට ඉදිරිපත් වීමට නාම යෝජනා භාරදීම ගැන ඔහු නියෝජනය කරන ටෙලෝ සංවිධාන පක්ෂය බලවත් විරෝධය පළකර තිබේ. එහි නායක සෙල්වම් අඩෛක්කලනාදන් කීවේ සිවාජිලිංගම් මහතා බරපතළ ලෙස පක්ෂ විනය උල්ලංඝනය කර ඇති බැවින් ඔහුට එරෙහිව වහා විනය පියවර ගන්නා බවයි. එහෙත් ඒ ගැන තැකීමක් නොකළ සිවාජිලිංගම් මහතා උතුරේ ස්වකීය ඡන්ද සටන ආරම්භ කර ඇත්තේ ස්වයං පාලන සංකල්පය ඉදිරියට දමමිනි. ඔහු ඡන්ද සටන ඇරඹීමත් සමඟ සිවාජිලිංගම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව එම පක්ෂය මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක හා ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ස්වකීය මංගල ප්‍රචාරක රැලිය ආරම්භ කළේ ඔහු උපන් ගම් ප්‍රදේශය යන තඹුත්තේගමිනි. මෙම රැලිය සඳහා සරසවි ඇදුරන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ. ඒ අය අතර අනුර දිසානායක මහතාට අධ්‍යාපනය ලබා දුන් ගුරුවරයෙක් ද විය. මාලිමාව ලකුණින් ජනාධිපතිවරණයට එන අනුර දිසානායක මහතා පසුගිය දිනවල යාපනයේ පවා සංචාරය කරමින් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළේය. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති මන්දිර සම්බන්ධව ස්වකීය දේශනවලදී අවධානය දක්වා තිබිණි. කළුතර බේරුවල ප්‍රදේශයේ පැවති ජන රැලියකදී අනුර දිසානායක සඳහන් කළේ ජනාධිපති මන්දිර ගණනාවක් රට පුරා රජය නඩත්තු කරන බවය. ඒවා සඳහා අති විශාල මුදලක් වැය කරන වග පෙන්වා දුන් හෙතෙම ජනාධිපති මන්දිර මෙතරම් ඉදිකර ඒවායේ සැතපෙන්නේ භූතාත්ම දැයි ප්‍රශ්න කළේය. එම නිසා එකී ජනාධිපති මන්දිර කෞතුකාගාර බවට හෝ ධනය උපයන සංචාරක මධ්‍යස්ථාන බවට පත්කරන්නේ යැයි අනුර දිසානායක වැඩිදුරටත් කීය. සජිත් ප්‍රේමදාස මහතා ඊට පෙර කියා තිබුණේ ඔහුට බලය ලැබුණොත් ජනාධිපති මන්දිර විශ්ව විද්‍යාල හෝ කාර්මික විද්‍යාල බවට පත්කරන වගයි.

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ස්වකීය ඡන්ද සටන ආරම්භ කළේ ශ්‍රී ලංකා පදනමේදී මාධ්‍ය අමතමිනි. තම දේශපාලන ව්‍යාපාරය ජනාධිපතිවරණයම ඉලක්ක කොට ගත්තක් නොව ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගත් එකක් බව ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරණයෙන් පසුව ද තමන්ගේ ඡන්ද සටන මහ ඡන්දය දක්වා සිදු කරන්නේ මේ රටට සැබෑ දේශ සේවකයන් බිහි කිරීමේ අරමුණින් යැයිද කීය. තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වනවිටත් සකස් කර ඇතැයි කී මහේෂ් සේනානායක මහතා එහි ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව ඇතුළු රටට ඉතාමත් වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කෙරෙන්නේ යැයි වැඩිදුරටත් පැවසීය. තමන් සිය මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නිර්පාක්ෂික ස්වාධීන අපේක්ෂකයකු ලෙස යැයි ද හෙතෙම කීය. තමා යුද හමුදාපති ලෙස සතුටින් විශ්‍රාම ගත් නමුත් රටේ ඇතිවෙමින් පවත්නා ව්‍යසනකාරී තත්ත්වය දැකීමෙන් පසු එයින් රට ගලවාගැනීමට ඡන්දයට පැමිණි බවද හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක ධූරය දැරූ නායක මධුමාධව අරවින්ද මහතාට ඔහු දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදුවිය. ඊට හේතු වූයේ ඔහු විසින් කරන ලදැයි පැවසෙන මුස්ලිම් ජාතියට එරෙහි ප්‍රකාශයක් හේතුවෙනි. මධුමාධවගේ ප්‍රකාශය සමාජ ජාලා මාධ්‍යයේ පළවූ විට ඊට එරෙහිව විරෝධතා රැසක්ම ඉදිරිපත් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද සමහරු මේ ගැන පැමිණිලි කළහ. එවිට මහින්ද කළේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අමතා මේ ගැන පක්ෂය තුළින් යමක් කළ යුතු යැයි උපදෙස් දීමය. එසේ නොකළොත් මුස්ලිම්වරුන්ගේ සුහදතාව නැතිවිය හැකි යැයි මහින්ද උදයට පෙන්වා දීමටත් පෙරම උදය මේ ගැන පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තීන්දුවක් ගන්නට සැලසුම් කර තිබිණි. ඒ සඳහා මධුමාධව ද එක්වූ අතර එහිදී ඇති කරගත් එකඟතාව අනුව මධුමාධව අරවින්ද පිවිතුරු හෙළ උරැමයේ නියෝජ්‍ය නායක පදවියෙන් මෙන්ම සියලු තනතුරුවලින් ඉවත් විය. අනතුරුව තමන් මුස්ලිම්වරුන්ට එරෙහිව කළ ප්‍රකාශය ගැන කනගාටුව පළකළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම ප්‍රශ්න කරමින් අධිකරණයට ගිය මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුනට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තර්ජන ගර්ජන එල්ල වෙමින් ඇතැයි ඔවුහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ. ඒ ගැන දැන් යම් විමර්ශනයක් ආරම්භ වී ඇත. එසේම ඔවුන් විසින් ගොනු කළ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරමින් ඇපැල් උසාවිය ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන්නට මේ දෙදෙනා සූදානම් වෙති. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකසමින් අවශ්‍ය කටයුතු සිදු කිරීම නීතීඥවරුන් පිරිසක් දැනටමත් ආරම්භ කර ඇතැයි දැනගන්නට තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල ප්‍රචාරක රැලිය ගිය බදාදා අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයෙන් ආරම්භ විය. එයට පෙරදා අනුරාධපුරයට ගිය ගෝඨාභය සහ මහින්ද ශ්‍රී මහ බෝධිය හා රුවන්වැලි සෑය වැඳ පුදාගෙන ආගමික කටයුතුවල නිරත වූහ. පසුදා උදෑසන ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් ද කැටුව සාම දූත මෙහෙවරක නිරත විය. ඒ අනුව ගෝඨාභය එස්. එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ ඇතුළු පිරිස ගියේ ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක දුමින්ද දිසානායකගේ නිවසටයි.

ගෝඨාභයලා එහි යනවිට දුමින්ද සිය හිතවත් පාක්ෂිකයන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසකට සිය නිවසට ඇරුයුම් කර තිබිණි. කවදත් ගෝඨා සමඟ හිතවත් දුමින්ද ගෝඨාභය උණුසුම් ලෙස පිළිගත්තේය. එස්. එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ ඇතුළු පිරිස සමඟ ද සුහදව කතා කරමින් තේ පැන් සංග්‍රහයකට ද එක්විය. ගෝඨාභය එහිදී දුමින්දට ස්තූති කළේ තම පක්ෂයට සහාය දීමට නොපැකිල ඉදිරිපත් වීම ගැනයි. සෙසු මැති ඇමැතිහු ද ඒ ගැන දුමින්දට ස්තූති කළහ. අනතුරුව එහි පැමිණ සිටි සියලු දෙනා ඇමතූ දුමින්ද දිසානායක මහතා කීවේ තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප.ය මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සහතික කරනු වස් උපරිම සහය දෙන බවයි. ඒ සඳහා ඔහු සිය පාක්ෂික හිතවතුන්ගේ සහාය ද ඉල්ලා සිටියේය.

මෙම හමුව පැවති දා සවස සල්ගාදු පිටියේ පැවති ගෝඨාභයගේ මංගල රුලියට දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක මහත්වරු ද එක්වූහ. විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සල්ගාදු පිටියේ පැවති ජන රුලිය අමතා කතා කළ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු තමන්ගේ මූලික ප්‍රතිපත්ති විස්තර කළෝය.

මංගල ජන රුලිය හමාර කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එදින සවස වහාම විශේෂ ගුවන් යානයකින් කොළඹට පැමිණියේ රාත්‍රියේ යෙදී තිබුණු සිංගප්පූරු ගමනට සූදානම් වීම පිණිසය. තමන්ට මෙයට මාස දෙකකට පෙර කළ හෘද සැත්කම සම්බන්ධ පරීක්ෂණයක් සඳහා ගෝඨා සිංගප්පූරුව බලා පිටත්වූයේ දින තුනක් එහි රැඳී සිටීමට අධිකරණයෙන් ද අවසරය ලබාගනිමිනි. ඔහු සිංගප්පූරුවේ වෛද්‍ය සිවනාදන්ගේ අධීක්ෂණය යටතේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දුන් බ්‍රහස්පතින්දා උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධාන ගිවිසුම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් කැරිණි. මෙම අවස්ථාව ශ්‍රී.ල.නි.ප සංවිධායකයන් හා ජ්‍යෙෂ්ඨයෝ රැසක්ම එක්වූහ.

ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් ලේකම් දයාසිරි ජයසේකර මහතාත් පොහොට්ටුව වෙනුවෙන් එහි ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතාත් ගිවිසුමට අත්සන් කළහ. ගිවිසුම අත්සන් කිරීමට නියමිත වූ දිනයට පෙරදා පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ගේ මව හදිසියේ මරණයට පත්වූවාය. නීතීඥ සාගර ගිවිසුම් අත්සන් කරන්නට ආවේ මවගේ දේහය සිය නිවසේ තිබියදී වීම විශේෂයකි. පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ ඊට එක්වූහ. එහෙත් මෙම සන්ධානගත වීම ගැන ශ්‍රී.ල.නි.ප හිටපු නායිකා චන්ද්‍රිකා මැතිනිය දැඩි ලෙස විරෝධය දක්වමින් වෙබි මාධ්‍යයේ ප්‍රකාශයක් පළකර තිබිණි. ශ්‍රී.ල.නි.ප සාමාජිකයන් 90෴ක්ම පොහොට්ටු ශ්‍රී.ල.නි.ප සන්ධානයට අකමැති බව චන්ද්‍රිකාගේ ප්‍රකාශයේ සඳහන් විය. තමන් ඒ අය සමඟ පක්ෂය ගොඩනගන්නට සූදානම් බැවින් ඊට අවස්ථාවක් දෙන ලෙස ද ඇය ඉල්ලා සිටියාය. මෙම ප්‍රකාශය නිකුත් කළ චන්ද්‍රිකා මැතිනිය කෙටි කලක් සඳහා විදේශ ගතවීමට සූදානම් වූ බවද වාර්තා විය.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය හිතවතුන්ටත් දේශපාලන කාර්ය මණ්ඩලයටත් උපදෙස් දී තිබුණේ පොහොට්ටුවට සහාය ලබා දෙන ලෙසයි. ඒ සමඟ ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස ඔහුට සමීපව ක්‍රියා කළ නීතීඥ ශිරාල් ලක්තිලක සිය පදවියෙන් ඉල්ලා අස්වූයේ එ.ජා.පෙ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට අදහස් කරන බව කියමිනි.

පසුගිය කාලයේ වතුකරයේ ජනතාව තොණ්ඩමන් මහතා සමඟ පොහොට්ටුව හා සම්බන්ධව සිටියත් ඔහු තවමත් මෙවර පොහොට්ටුවට සහය පළකර නැත. එනිසා ඉදිරි මැතිවරණ සඳහා නව තරුණ නායකත්වයක් වතුකරයේ නිර්මාණය කිරීම පොහොට්ටුව සැලසුම් කර තිබේ. දැනටමත් වතුකරයේ සමාජ සේවක කටයුතු රැසක් කරන ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාට දැනටමත් ඒ සඳහා ආරාධනා කර ඇත. මුරලි සහ ඔහුගේ බිරිඳගේ මෙහෙයවීමෙන් පසුගියදා වතුකර තරුණ සංවිධාන නියෝජිත පිරිසක් කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයට කැඳවා විශේෂ සම්මන්ත්‍රණයක්ද පැවැත්වීය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ පොහොට්ටුව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු වතුකර තරුණ සමාජයට තම පාලනයක් යටතේ දියත් කරන්නට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ විස්තර කළේය. ඉදිරි කාලයේදී තවත් ප්‍රකට ක්‍රිකට් තරු ගණනාවක් වතුකරයට සම්බන්ධ කිරීම පොහොට්ටුවේ සැලසුම බව කියැවේ.

- ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර