2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ජනතාවගේ වැඩ අවුල් කරන වැඩවර්ජන

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

 

 

නුදුරු දිනක ජනාධිපති මැතිවරණයක් පවත්වන බව නිවේදනය කර තිබියදී පසුගිය දිනවල එකදිගට වැඩවර්ජන රැල්ලක් ඇති විය. මෙම වැඩවර්ජකයන් බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ ස්වකීය වැටුප් සහ දීමනා ඉහළ නංවා ගැනීම උසස්වීම් ලබාගැනීම ආදී සේවක ගැටලු නිරාකරණය කර ගැනීමය. මෙවැනි සංක්‍රාන්ති සමයකදී වෘත්තීය ඉල්ලීම් දිනාගැනීමට පෙළඹීම තුළින් පැහැදිළිව පෙනෙන්නේ පවතින රජයට තර්ජනයක් වෙමින් රජය අපහසුතාවට පත්කර තම ඉල්ලීම් දිනාගැනීමට උත්සාහ කිරීමය. ඔවුන් බලාපොරොත්තු වන්නේ මේ වකවානුව පවතින රජයේ අවසාන කාලය බැවින් ස්වකීය ඉල්ලීම්වලට එකඟතාව ලබාගැනීමට අපහසු නොවනවා ඇත යන්නයි. එසේම ඊළඟට පත්වන නව රජයකට සියලු බර පටවා තම ඇඟ ගලවා ගැනීමට රජය කැමැති වනු ඇතැයි ඔවුන් අදහස් කරනවා විය හැකියැයි සිතීමට සිදුවේ.

මෙයට පෙර රජයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකිවූයේද මේ ආකාරයෙන් අවසාන භාගයේදී බලපෑම් කිරීම නිසා බැවින් ඔවුන් එය පූර්වාදර්ශයකට ගැනීමට උත්සහ ගන්නවා විය හැකිය. අවසාන භාගයේ ආණ්ඩුව දුර්වලව තිබියදී තමන්ට වාසි සහගත තීරණයක් ගත හැකිවේයැයි ඔවුන් බලාපොරොත්තු වන බවක් දැකගත හැකිය. එහෙත් මෙම අවස්ථාවේ ආණ්ඩුව පවතින්නේ කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගත නොහැකි අවස්ථාවක බව කිවයුතු නොවේ. ඉදිරි වසර සඳහා අයවැය ලේඛනයක් ද අනුමත වී නොමැති අතර ඉදිරි මාස තුනේ වියදම් පියවා ගැනීමට බලාපොරොත්තු වන්නේ අතුරු සම්මත ගිණුමකිනි. එවැනි පසුබිමක් මත රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා දුරුකරලීම සඳහා තීරණ ගන්නේ කෙසේද යන්න විමැසුමට ලක්කළ යුතු කාරණයකි.

රටේ ජනතාව විශාල වශයෙන් බැට කෑ දුම්රිය වැඩවර්ජනය පසුගිය 7 වැනිදා අවසන් විය. දින 12ක් පුරා පැවැති මෙම වැඩවර්ජනය නිසා ලක්ෂ 5ක් පමණ වන මගී ජනතාව විශාල හිරහැරයකට පාත්‍ර වූ බව කිවයුතු නොවේ. මෙහිදී මගීන් රජයට දොස් පැවරෑ අතර ඇතැම් මගීන් වැඩවර්ජනයේ නියුතු වෘත්තීය සමිතිවල නියෝජිතයන් ජනාධිපතිවරයා සමඟ පැවැත් වූ සාකච්ඡාවකින් පසු වර්ජනය අතහැර දැමීමට වර්ජකයන්ට සිදුවිය. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පොදු මහජනතාව අපහසුතාවට පත්නොවන සේ ක්‍රියාමාර්ග ගැනීම වර්ජකයන්ගේ යුතුකම හා වගකීම බවය. මෙහිදී ජනාධිපතිවරයා දුම්රිය සේවකයන්ගෙන් මුලින්ම ඉල්ලා සිට ඇත්තේ වර්ජනය නතර කර රාජකාරිවලට වාර්තා කරන ලෙසය. අනතුරුව ඉල්ලීම් පිළිබඳ සලකා බලන බව ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම වර්ජනය පැවැති සමයේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග දිවයිනේ බැහැරව සිටි අතර රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෙම වර්ජනය පැවැත් වීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තේය. රාජ්‍ය ඇමැතිවරයා ද පැවසුවේ වර්ජනය නවතා සාකච්ඡාවලට එන ලෙසයි. එහෙත් ඒ අවස්ථාවේ වර්ජකයන් රාජ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලීම නොසලකා හැරිබව පෙනේ. එසේ වුවද මේ වනවිට ඔවුන් වර්ජනය නවතා ඇත්තේ ඉල්ලීම් ලබාගෙන නොවේ. අනාගතයේදී ඒවා ලැබේය යන අපේක්ෂාව මතය. රාජ්‍ය ඇමැතිට අවසානයේදී දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා මගින් ප්‍රකාශයට පත්කර ගැනීමට සිදුවිය. එසේම සේවය හැරගිය බවට ඇතැම් සේවකයන්ට ලිපි යැවීමට පවා සිදුවිය.

දුම්රිය සාමාන්‍යධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු පැවසුවේ දින පහකදී වර්ජකය නිසා දුම්රිය සේවයට කෝටි 11 පමණ පාඩුවූ බවය. දිනකට දෙපාර්තමේන්තුවට ලැබෙන මිලියන 16-17 වූ ආදායම මුළුමනින්ම අහිමි වී තිබිණ. ජනාධිපතිවරයා සමඟ ප්‍රමාද වී වර්ජනය නැවැත්වීමට එකඟ වූ සමිති එම තීරණය රාජ්‍ය ඇමැති සමඟ කළ සාකච්ඡාවලදී ගත්තා නම් විශාල ආදායමක් නොලැබීම මෙන් ජනතාවට සිදුවූ හිරිහැරය වළක්වා ගන්නට ඉඩ තිබුණ බව පැවසිය යුතුය.

සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් සාර්ථක ප්‍රතිඵල ලැබූ බව සමස්ත ලංකා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කොරලේ ආරච්චි නිවේදනය කළේය. ඒ නිසා පසුගිය 2 හා 3 දිනවලට සැලසුම් කර තිබූ වැඩවර්ජන ක්‍රියාමාර්ගය අතහැරී බවද ඔහු කීය. සෞඛ්‍ය ඇමැතිවරයා තම ගැටලු ගැන සාකච්ඡා කිරීම දිගින් දිගටම මගහැරි අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරේරා සමඟ පැවැති සාකච්ඡාවේදී මේ එකඟතාවට එළඹීමට හැකිවූ බව ඔවුහු කියති.

ගුරු හා විදුහල්පති සේවයේ සාමාජිකයන් ස්වකීය වැටුප් විෂමතා සහ උසස්වීම් ආදි ගැටලු මුල්කරගෙන 26 හා 27 දිනවල වැඩවැරුම් සිදුකළ අතර ඒ හේතුවෙන් දිවයිනේ පාසල් රැසක අධ්‍යාපන කටයුතු අඩාල වූ බව වාර්තා විය. ඊට පසු දින 5ක වර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද 1දා වනවිට ගැටලු විසඳන බවට ඇමැති පැවැසු නිසා එම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අතහැර තිබේ. එසේ වුවද සති දෙකකින් පොරොන්දු ඉටු නොවුණහොත් යළි වර්ජනයකට යන බවට ඔවුහු අනතුරු අඟවා සිටිති.

ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය කෙටි කාලයකින් නිම කිරීමට සිදුවූයේ වර්තමානය රටේ පවතින මැතිවරණ සමය නිසා බව නිවේදනය කෙරැණි. කෙසේ වුවද එම නිලධාරීන්ට තනතුරු බේදයකින් තොරව රුපියල් 15,000ක අමතර දීමනාවක් වැටුපට එකතු කිරීමට රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කටයුතු යොදා තිබිණ.

මේ අතර වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු ගණනාවක් මුල්කර ගෙන වැඩවර්ජනවල නිරත සියලු සමිති නියෝජිතයන් සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය 30දා මුදල් අමාත්‍යාංශයේදී රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී සම්පූර්ණ එකඟතාවකට එළඹීමට නොහැකි වී තිබේ. එයට හේතුව මේ එක් එක් කේෂත්‍රවල වැටුප් ව්‍යුහ එකිනෙකට වෙනස් නිසා පොදු තීරණයක් ගැනීමේ අපහසුතාවයයි.

මුදල් ඇමැති මංගල සමරවීර පසුගියදා පැවසුවේ ඉල්ලා ඇති වැටුප් විෂමතා දුරුකිරීම සඳහා රුපියල් කෝටි 11500කට වැඩි අමතර මුදලක් වැයවන බවය. රාජ්‍ය සේවක වැටුප් සඳහා දැනට කෝටි 8000ක් පමණ වැයවන අතර තවදුරටත් වැඩි බරක් දැරීමට අපොහොසත් බව ද ඔහු කීය.

රාජ්‍ය සේවක වැටුප් විෂමතා දුරලීමට ජනපති පත්කළ රනුග්ගේ කොමිටුවේ නිර්දේශ අනුව ලබන ජනවාරි 1දා සිට සමස්ත රාජ්‍ය සේවයට වැටුප් වැඩිවන බව මේ අතර රජය නිවේදනය කළේය. ඒ සඳහා මේ වනවිට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. 2020 දී විධායක ශ්‍රේණිවල වැටුප මාසිකව රුපියල් 9587 බැගින් හා අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 23975කින් වැඩිවේ. එසේම පහළ ශ්‍රේණිවල සෑම රාජ්‍ය සේවකයකුගේම වැටුප රුපියල් 3000 බැගින් වැඩිවනු ඇත. 2015 පසු මේ වනවිට සමස්ත රාජ්‍ය සේවයේ වැටුප සීයට 107කින් ඉහළ නංවා ඇති බවද රජය ප්‍රකාශ කරයි.

මෙම වාතාවරණය මත අද රටේ පවතින හා පැවැති වැඩවර්ජන කොතෙක් දුරට සාධාරණදැයි බැලිය යුතුය. කෙසේ වුවද මේවා දිගටම පවත්වාගෙන යාමේ එක් අපේක්ෂාවක් වන්නේ පවතින රජය අපහසුතාවට පත්කිරීම බව පෙනී යයි. වැඩවර්ජනවලින් පැවැති ආණ්ඩුවලට වැඩකරගෙන යාමට ඉඩනොදී මහජනතාව අතර අපකීර්තියට ලක්කිරිමේ පටු දේශපාලන චින්තනය අද වැඩවර්ජන මෙහෙයවන්නන් අතර පවතින බව පෙනීයයි. කීර්තිමත් අගමැතිවරයකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඒ කාලයේ පැවසුවේ වර්ජනවලින් තමා නොමරා මැරෑ බවයි. එයින් පෙනෙන්නේ වැඩවර්ජනවලින් ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය හීන කිරීමට ඇති හැකියාවය. මේ තත්ත්වය අද දක්වාම එකසේ පවතින බව පෙනියයි. දැන් තත්ත්වය තවත් උග්‍රව තිබේ. බලධරයන්ගේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය දඩමීමා කරගෙන ආණ්ඩුවලට රිද්දන්නට වැඩ වර්ජනවල නිරතවීම නම් අනුමත කළ නොහැකිය. එයට හේතුව වර්ජන නිසා වැඩිපුර රිදෙන්නේ ජනතාවට වීම නිසාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනය අංශයේ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා අද ඇති වර්ජන ගැන මෙසේ පවසති.

“අද පවතින වර්ජන සාධාරණීකරණය කිරීමට වර්ජකයන් උත්සාහ කළත් පොදු මහජනතාවගේ පැත්තේ සිටගෙන ඒවා සාධාරණයයි කියන්න බැහැ. වර්ජනය යනු වැඩකරන ජනතාවගේ ඉල්ලීම්වල අවසාන ක්‍රියාකාරීත්වය වුණත් අද බොහෝ දෙනා පටන් ගන්නේම වර්ජනය කිරීමෙන්. එවිට ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සලකා බලා පියවර ගැනීමට රජයට අවස්ථාව ලැබී නැහැ. ඒ හින්දයි ආණ්ඩුව කියන්නේ වර්ජනය නවතා සාකච්ඡාවලට එන්නය කියලා. එහෙත් සිද්ධවන්නේ දිගටම වර්ජනය කිරීමයි. ඒත් එයින් වර්ජකයන්ට ලැබෙන දෙයක් නැහැ.

උදාහරණයක් වශයෙන් පසුගිය දිනවල පැවැති දුම්රිය වැඩවර්ජනය ගනිමු. සති ගණනාවක් වැඩ වර්ජනය කරලා කිසිදු දෙයක් නැතුව වැඩට යන්නයි ඔවුන්ට සිදුවුණේ. අන්තිමට සාකච්ඡා කරන්න එකඟ වුණා. ඉතින් එහෙම සාකච්ඡා කරන්න කැමැති නම් ඇයි මුලින්ම වර්ජනවලට ගියේ කියලා ප්‍රශ්න කළයුතු වෙනවා. මුලින් අල්ලාගන්න තිබියදී අගින් අල්ලා ගැනිල්ලයි වරද? අද පැවති බොහෝම වැඩවර්ජන මෙයට සමානයි. සේව්‍යයාගෙන් බලහත්කාරයන් ඉල්ලීම් ලබාගන්න බැරි බව සේවකයන් වටහාගත යුතුයි.

අද විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක වර්ජන නිසා සමස්ත පද්ධතියම බොහෝදුරට අකර්මණ්‍ය වෙලා. මෙහිදී පැනනැගී ඇති ප්‍රධාන ගැටලුවක් නම් විද්‍යාගාර පර්යේෂණවලට බාධා සිදුවීමයි. මෙය අනාගතයට බලපාන විශාල පාඩුවක්. මේ පිළිබඳ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අවබෝධයක් නැහැ. එසේම විශ්වවිද්‍යාල වසා තැබීමට සිදුවීමෙන් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට බාධා වෙලා. විෂය නිර්දේශ සම්පූර්ණ කරන්න වැඩිපුර කාලයක් ගන්න සිදුවෙලා. අවුරැදු 4 පාඨමාලාවට අවුරුදු 6ක් යනවා. මෙය කොතරම් හානිකරද? එට ශිෂ්‍යයන්ට මෙන්ම සමස්ත රටටම පාඩුවක්.

අපේ විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩලය රටේ සෙසු සමාන්තර රැකියා කරන අයට වඩා විශාල ලෙස ඉහළ වැටුප්තල හා දීමනා ලබනවා. හොඳම උදාහරණය රියැදුරන්. ඔවුන් දෙගුණයක පමණ වැටුප් ලබනවා. පරිපාලන නිලධාරීන් පර්යේෂණ දීමනා ගත්තත් ඔවුන් කරන පර්යේෂණයක් නැහැ. අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මෙවැනි දීමනා ලබාගැනීමට සුදුසුකම් නැහැ.

විදේශ ගතවීම්වලදී අනධ්‍යයන කාර්යමණ්ඩලය අධ්‍යයන අයට වඩා විශේෂ දීමනා ගන්නවා. ඒවා අධ්‍යයන අයට ලැබෙන්නේ නැහැ. මෙලෙස ජනතා මුදල් ගැනීම වැරදියි. එහෙමත් කරමින් තමා ඒ අය වර්ජනවලට යොමු වන්නේ.

මගේ අදහස නම් අද රටේ තත්ත්වය ගැන සලකලා සෑම සේවකයෙකුම රටට හා ජනතාවට හානිකර වර්ජනවලින් වැළකී සිටිය යුතු බවයි. තම අවශ්‍යතා හැකිතරම් දුරට සාකච්ඡා මගින් විසඳුම්ගැනීම තමා අවශ්‍ය වන්නේ.

► යසවර්ධන රුද්රිගු

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00