2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

අඩි දෙකේ සටනේ සැර කතා සහ මාර කතා

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 448

ජනාධිපතිවරණය සම්බන්ධ සිදුවීම් ගහන දේශපාලන සතියක අවසානයේ සමස්තය දෙස වෙනස් මානයකින් දැකීමට අපි උත්සුක වෙමු. නාමයෝජනා බාරදීම ප්‍රධාන අපේක්ෂකයන්ගේ පළමු ජනරුලි කිහිපයක් පැවැත්වීම දේශපාලන සන්ධාන බිහිවීම මේ සතියේ කැපී පෙනෙන සිදුවීම් විය. මේ සියල්ලේ මතුපිට පෙනෙන දේශපාලන කතාවට වඩා වෙනස් කතාවක් අපි සොයා ගියෙමු.

නාමයෝජනා බාරදීම නම් සිදුවීමට පළමු අප අවධානය යොමුකරමු. හතළිස් එකක් ඇප බැඳ තිස් පහක් නාමයෝජනා ලබාදුන් ඉතිහාසයේ විශාලතම ජනාධිපතිවරණය මෙයයි. එය මෙරට දේශපාලනයේ පරිවර්තනීය වෙනසකි. ඊට සාම්ප්‍රදායික කියැවීමක් එක් කළහොත් මෙය හුදු ප්‍රධාන අපේක්ෂකයන් වෙනුවෙන් බොහෝ දෙනෙක් කඩේ යන අවස්ථාවක් පමණි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අනුව මෙම තත්ත්වය කියවා ගතහොත් සිදුවන්නට යන්නේ ජනතා මුදල් නාස්තියකි.
එහෙත් නූතන දේශපාලනයේ ප්‍රබල චරිත බවට පත්වීමට ඕනෑම අයකුට අවස්ථා ලාභයක් ඇත්තේය යන ආකල්පයේ වර්ධනීය අවස්ථාවක් ලෙස අපි මෙය විවරණය කරගමු. මෙය පසුගිය ජනාධිපතිවරණය හරහා නිර්මාණය වූ නව දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵලයකි. පාලකයා පිළිබඳ ඇති සමාජ වටිනාකම අඩු වූ විට පාලනය අත්පත් කරගැනීම පහසුය යන ආකල්පය මතුවන්නේ නිරායාසයෙනි. එසේම පාලනය පන්තිය ප්‍රබලව විවේචනයට ලක්වන විට එහි ඇතිවෙන හිඩැස් මතින් රිංගා යාමට සැරසෙන්නෝ බොහෝ වෙති. මෙම තිස්පස් දෙනකුගෙන් යුතු අඩි දෙකක් පමණ දිග චන්ද්‍ර පත්‍රිකාවේ රහස එයයි. මේ සඳහා ගෝලීය දේශපාලන ප්‍රවණතාවලද යම් බලපෑමක් ඇති බව කිවයුතුය. එසේම මෙම තත්ත්වය ලාංකීය දේශපාලනයේ පරිනාමීය ලක්ෂණයකි. එය යහපත්ද අයහපත්ද යන තීරණය ඔබ සතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ දේශපාලන සන්ධානය බිහිවීම මේ සතියේ කැපී පෙනෙන සිදුවීමක් වූයෙන් එහි යටි පෙළද කියවා ගත යුතුය. ලංකාව වැනි රටවල දැකිය හැක්කේ හුරු කළ දේශපාලන ලැදියාවන්ය. පක්ෂ කඳවුරැ පැවත්ම සාධක වන්නේ ඒ හරහාය. යමෙකු එම ආරය බිඳ දමා යන්නේ නම් එය ඔහුගේ පෞද්ගලික කරැණක් මත හෝ ජාතික අවශ්‍යතාවක් මත විය යුතුමය. එහෙත් ජාතික දේශපාලනයේ බොහෝ තැන් හී සිදුව ඇත්තේ පෞද්ගලික හේතු කරපින්නාගෙන කඳවුරැ මාරැකිරීම්ය. එවිට හුරැ කළ දේශපාලන ලැදියාවන් ඔවුන්ට හරස් වේ. සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරැද්ධ කඳවුරුවලට ගිය දේශපාලකයන් ගෙම්බන් වීමේ රහස එයයි. ඔවුන් තුළ අභ්‍යන්තර ගැටුමක් ඇත.

ශ්‍රීලනිප - එජාප ජාතික ආණ්ඩුවට මෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේනට ද සිදුවූයේ මෙයයි. දේශපාලන ලැදියාවන් අතර ගැටුමකට ඔවුහු මැදිහත් වූහ. එසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මැතිවරණයකදී සම්පූර්ණයෙන් එජාපය විරෝධීය කඳවුරක සිට ගැනීම පහසු නැත. පෙරදී ඔහු එජාප චරිත විරෝධයක් ගොනුකළද සිවිල් සංවිධානය ප්‍රමුඛ සමස්ත යහපාලනවාදී කඳවුරට එරෙහි වීමේදී සදාචාරය පිළිබඳ ගැටුමක් මතුවේ. ජනපති නිර්පාක්ෂික වී ඇත්තේ මේ තත්ත්වය මතය. මීට වඩාත් දේශපාලනික සහ පාර්ශ්වික විග්‍රහන් එකතු කළ හැකිමුත් මේ අපගේ කියැවීමයි. කෙසේ වෙතත් පොහොට්ටුව සහ ශ්‍රීලනිපය නැවත සන්ධාන ගතවන්නේ පෞද්ගලිකත්වයද පෙර කී දේශපාලන ලැදියාවද කරපින්නාගෙන බව කිව යුතුය.

මීළඟට අපගේ අවධානය යොමු වනුයේ පසුගිය සතියේ ආරම්භ වූ දේශපාලන රැලිවලටය. සමස්තයක් ලෙස සැලකීමේදී මෙහිද නව දේශපාලන ප්‍රවණතා දක්නට ලැබේ. මෙහිදී අප දුටු ප්‍රධාන කරුණ වූයේ ගෝඨාභයගේ කතාවේ සැර වැඩිවීමත් සජිත්ගේ කතාවේ සැර බාල වීමත්ය. මේතාක් ගෝඨාභය දේශපාලන භාවිතය නිවුණු තියුණු රටාවක් අනුගමනය කළ අතර අනුරපුරයේදී එය යම් පමණකට දේශපාලනික විය. ජන රැලි රිද්මයේ කතාවක් කිරීමට ගෝඨාභය උත්සුක වන අයුරු නිරීක්ෂණය විය. එහෙත් එය ඔහුට නුහුරැ බවක් පෙනෙන්නට තිබුණි. මේ අතර සජිත් කතාවේ සැර බාල කර තිබුණේ ශ්‍රී මුඛ කතාවෙන් ලද පීඩනය මත විය යුතුය. දේශපාලනික නමුදු හිතුමනාපය කතා කිරීම නවතා සැලසුම් සහගත කතාවන්ට අවතීර්ණ වීමට සජිත් උත්සාහ කරන බවක් ගාලු මුවදොරදී දිස්විය.

දේශපාලන රුලිවල සෙනඟ පෙන්වීමේ උපාය මෙවර භාවිත වන බවක් පෙනී ගියේය. එහෙත් සමස්ත මහජනතාව සෙනඟ මත දේශපාලන පක්ෂ පාටවලට ආකර්ෂණ වීමේ යුගය දැන් නිමාවී තිබේ. පසුගිය සමයේ ඉතා ප්‍රබල ලෙස පැවති මෙම රුල්ල දේශපාලනඥන්ට නොදැනීම බැසගිය බව අපේ නිරීක්ෂණයයි. මේ අතර අපට නිරීක්ෂණය වූ තවත් අපූරු සිදුවීමක් මේ සතියේ සමාජ ජාල තුළ සිදුවිය. මුහුණු පොතේ පිටු තම දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් මුදල් දී භාවිතා කිරීම එම තත්ත්වයයි. මෙතෙක් කල් රහසක් වූ මෙය පිටු හිමිකරැවන් සත්‍යයක් බව තහවුරැ කරලනු ලැබූ අතර ඔවුහු සම්පූර්ණයෙන්ම ප්‍රචාරය ව්‍යාපෘතියේ කොටස්කරුවන් වී සිටියහ.

මෙවර සමාජ ජාල මතය හැසිරවීම නම් දේශපාලන ව්‍යාපෘතිය අවශ්‍ය පමණට වඩා කිරීමට යාම හරහා ලප්තැනම ලොප්වන බව පෙන්නට තිබේ. විකල්ප අපේක්ෂකයන්ට පමණක් සමාජ ජාල හරහා යම් සාධනීය තත්වයක් නිර්මාණය වී ඇත. ප්‍රධාන අපේක්ෂකයන්ට සමාජ මාධ්‍ය හැසිරවීමෙන් මෙවර විශාල වාසියක් ලබාගත හැකි යැයි අපේක්ෂා කළ නොහැකිය. මීට හේතුවද පසුගිය කාලය පුර පරිමාව ඉක්මවා සමාජ ජාල ප්‍රධාන දේශපාලන ධාරා දෙක භාවිත කොට තිබීමයි. සහභාගීත්ව මාධ්‍යයක් වන සමාජ මාධ්‍ය කිසිදු මතයක් දීර්ඝකාලීන නොවන බව මේ හරහා තවදුරටත් පැහැදිලි වේ. එකම දෙය දෙතුන් වරක් ඔසවා තැබීමට එහි ඉඩක් නැත. පසුගිය සතියේ ඔප්පු වූයේ ද එයයි.

සමස්තයක් ලෙස ගත්කළ ගෙවුණු සතියේ දේශපාලනය අනාගත දෙශපාලන වපසරියක කියවා ගැනීමට අතිශය වැදගත් වේ. වෙනස් වූ මානයකින් දේශපාලන වර්තමාන දේශපාලනය කියවා ගැනීම ඉහිත සිදුවීම් සියල්ල භාවිතා කර හැකිය. කෙසේ නමුත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවම ඇත්තේ සන්නද්ධ වීම් මිස සන්නද්ධ ගැටුම් නොවන බව අවසානය වශයෙන් කිව යුතුමය.

සතියේ පත්තුව 

ශ්‍රී මුඛ පළහිලව්ව

ඕං පහුගිය සතියේම පත්තු වුණේ ශ්‍රී මුඛ කතාව. සජිත් මහත්තයා ඔය කතාව කීවේ සිරිකොතේ සෙනසුරාදා (5) පක්ෂ නියෝජිතයෝ හම්බවුණ වෙලාවේ. එතුමා කීවේ මෙන්න මෙහෙම.

හොඳට මතක තියාගන්න දහසය වැනිදා මේ මැතිවරණයෙන් එන්නේ අපේකම රටේකම සභ්‍යත්වය සංස්කෘතිය රජයන යුගයයි කියලා මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. වෙන කාගෙවත් මුඛයකින් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් තමා මේ වටිනා වචන ටික පිටවුණේ කියන එක මම කියන්න කැමතියි.

කියලා කටගන්න හම්බවුණේ නෑ... ඔන්න එක දිගට පත්තුවෙන්න ගත්තා. හත්වලාමයි සුවාසූ දහසක් ශ්‍රී ධර්මස්කන්ධය දේශනා කරපු නිසානේ තථාගතයාණන් වහන්සේගේ දේශනාවලට ශ්‍රී මුඛ දේශනා කියලා කියන්නේ. ලොක්කා කට වරද්දා ගත්තා. වැඩිපුර කිපුණේ සංඝරත්නය. දෙස් දෙවොල් හතර වටින්. ඔය අතර සමහර හාමුදුරුවරු කිව්වා බල්ලෙක්ට පයින් ගහලා ශ්‍රී පතුලෙන් ගැහුවා කියලා ලොක්කා කියයි කියලා. එකම මඩ වළකට තමා සජිත් ලොක්කා බැස්සේ. මේ අතර එජාපේ සමහරු ලාවට ශේප් කතා කිව්වා. සජිත් ලොක්කා ගාථාවකුත් කිව්වා පස්සේ කතාවකදී. ඒත් වැඩේ හරිගියේ නෑ.

ලෙඩේ ලොකුවට පත්තු වෙවී යද්දී මේක නවත්තන්න එජාපේ සජිත් ළඟම ඉන්න අය කල්පනා කළා. අන්තිමට ලකුණු කපාගන්නේ නැතුව වැඩේ ගොඩ දා ගන්න මරු ක්‍රමයක් යෝජනා වුණා. එජාපේ ගෝල්ෆේස් රැලියේ ලක්ෂ ගාණක් මිනිස්සු ඉස්සරහා ලොක්කා මෙහෙම කිව්වා.

මගේ කතාවකදී අත් වැරැද්දකින් මට කියවුණා ශ්‍රී මුඛය කියලා. ඒ සිදුවූ අඩුපාඩුවට ගෞරවනීය මහා සංඝරත්නයෙනුත් රටේ ජනතාවගෙනුත් බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා.

ජනපතිවරණ ඩයරිය

ඉරිදා (06)

ගෝඨාභය නාමයෝජනා අත්සන් කළා. ඊයේ සජිත්, අනුර මහජන වේදිකාවට ආවානේ ගෝඨාභය නෑ. ඒක තමා අද කට්ටිය පත්තුවෙලා ඉන්නේ. ශ්‍රී ලංකා පොහොට්ටු අවුල ලිහිලා ඔන්න ගිවිසුම් ගහන්න ලෑස්ති වෙනවා.

සඳුදා (07)

ඔන්න අද නාමයෝජනා. තිස් පහක්ම නාමයෝජනා දුන්නා. ඉතිහාසයේ වැඩිම ගණන. පොහොට්ටුවේ කට්ටිය රනිල් අකිල නාමයෝජනා දෙන තැනට ආවේ නැති නිසා පොඩි අවුලක් දැම්මා. ආ අර නාගානන්ද නාමයෝජනා දුන්නේ නෑනේ.

අඟහරුවාදා (08)

ඡන්ද පත්‍රිකා අඩි දෙකක් දිගයිලු මේ පාර. ඔන්න කාදිනල්තුමා කිව්වා ජනතාව ඡන්දේ දෙන කෙනා තීරණය කරලා ඉවරයි. අපි නම් දන්නේ නෑ. අද කට්ටිය ආශීර්වාද ගන්න ගිහිල්ලා පන්සල්වල. ටිකක් සංසුන් ඊයේ එක්ක බැලුවාම.

බදාදා (09)

පොහොට්ටුට ශ්‍රී ලංකා එක එකතු වුණා. බොක්කෙන්ම සහයෝගේ දෙනවා කියන්නේ. අද පොහොට්ටුවේ පළවෙනි රැලිය අනුරාධපුරේ. ලොකු සෙනඟක්. දුමින්දත් ඔය ස්ටේජ් නැග්ගේ. මෛත්‍රී ලොක්කා මධ්‍යස්ථව ඉන්නවා කියලයි කියන්නේ.

බ්‍රහස්පතින්දා (10)

ඔන්න අද සජිත්ගේ පළවෙනි රුලිය ගෝල්ෆේස් එකේ තිබ්බා. සෙනඟ සූ ගාලා. ශ්‍රී මුඛ කතාවට සජිත් සමාවත් ගත්තා. පොහොට්ටුව - ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමටත් අද අත්සන් තිබ්බ ඔන්න. අද කතාව සෙනඟ ගැන ෆේස් බුකියේ නම්.

සිකුරාදා (11)

ඔන්න අද ඇල්පිටියේ ඡන්දේ. කට්ටිය බල බලා හිටියේ ඕකනේ. මේක ජනාධිපතිවරණය ප්‍රතිඵල කියලා කට්ටියක් කියනවා. තව කට්ටියක් කියනවා ඕකෙන් ජනාධිපතිවරණය මනින්න බෑ කියලා. කොහොමවුණත් ඇල්පිටිය 72% ක් ඡන්දෙ දාලනම් තිබුණා.

 චමිඳු නිසල්