2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

හමුදාවෙන් මහ පුටු තරගෙට බසින හිටපු හමුදාපති මහේෂ් සේනානායක

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක තරග කරයි. පසුගිය 29 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති සමුළුවකදී ඒ බව ප්‍රකාශයට පත් කෙරිණි.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ හා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොළොන්නේ වැන්නවුන්ගේ නියෝජනයෙන් සංවිධානය වූ ජාතික ජනතා ව්‍යාපාරය පසුගිය දිනවලදී දේශපාලන කරළියට පැමිණියේය. මේ දෙදෙනාගෙන් අයෙක් ජනාධිපති අපේක්ෂකයා වනු ඇතැයි රාවයක් පැවතිය ද ජනරාල් මහේෂ් සේනානායක හමුදාපති ධූරයෙන් විශ්‍රාම ලැබූ පසුව ඔහු ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට පියවර ගැනුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුව රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ ආරක්ෂක අංශ ප්‍රධානියකු වශයෙන් ජනරාල් මහේෂ් සේනානායක ජනතා ප්‍රසාදයට පත් විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ 38 වසරක ඉතිහාසයක් හිමි මහේෂ් සේනානායක හමුදාවට එක්ව ඇත්තේ 1981 ඔක්තෝබර් 16 වැනිදාය. ඉකුත් අගෝස්තු 18 වැනිදා විශ්‍රාම ලබන විට ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 වැනි හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේය. යුද හමුදාවේ මාණ්ඩලික තනතුරු රැසක් හෙබවූ මහේෂ් සේනානායක, මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක සමයේ යුද හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂ වශයෙන් රාජකාරියේ නිරතව සිට ඇත. හමුදාපති ධූරයෙන් විශ්‍රාම ලැබූ සේනානායක මහතා මෙරට වැටී ඇති හා වැටෙන්නට යන අගාධයෙන් බේරාගැනීම සඳහා ජනතාවගේ ස්වාධීන අපේක්ෂකයා වශයෙන් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීය.

“ජාතික ජනතා ව්‍යාපාරය සමඟ සිවිල් සංවිධාන රාශියක් එකතුවෙලා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් වශයෙන් මාව තෝරා පත්කර තිබෙනවා. මෙය සංවිධානයක හෝ පෞද්ගලික සිහිනයක් නොවේ. නියත වශයෙන්ම ජනතාවගේ අපේක්ෂා ඉටු කරන රටේ සිහිනයයි. 71 වසරක මේ රටේ දේශපාලන ඉතිහාසය ඵල රහිත බව කවුරුත් දන්නවා. යමක් කමක් තේරෙන උගත් බුද්ධිමත් පිරිසක් එකතුවෙලා රටේ පවතින පිළිවෙත වෙනස් කිරීමේ උත්සාහයකයි මේ නිරතව ඉන්නේ. ජාතික ජනතා ව්‍යාපාරයේ කිසිවකුගේ ලාභ ප්‍රයෝජනයට හෝ වෙනත් පාර්ශ්වයක බලපෑමට අපි යටත් නෑ. මෙම ව්‍යාපාරයට ලැබුණු පළමු කඩුල්ල තමයි මෙවර ජනාධිපතිවරණය. ඒ සඳහා නිර්පාර්ශ්වික ස්වාධීන අපේක්ෂකයෙක් වශයෙන් මා ඉදිරිපත් වෙනවා. එයට සර්ව ආගමික නායකයන්ගේ හා ජාතික ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ ඉල්ලීම හා නිර්දේශවලට එකඟව සුදුසු කෙනා වශයෙන් මාව පත් කරගෙන තිබෙනවා. මෙම ව්‍යාපාරයේ කිසිවෙක් දේශපාලන පසුබිමක් සහිත පවුලක හෝ පක්ෂයක අය නොවේ. සියලුම දෙනා උගත් බුද්ධිමත් සහ රටේ සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක්.

ප්‍රධාන ධාරාවේ පක්ෂ ගැන ජනතාව කලකිරීමෙන් ඉන්නවා. ජනතාවට පිළිගත යුතු වෙනසක් අවශ්‍ය වෙලා තිබෙනවා. සාර්ථක වැඩපිළිවෙළක් එක්ක අපි තරග කරනවා. ජනතාව එය තීන්දු කරයි. ජනාධිපතිවරණය මුල් පියවර පමණයි. ඉදිරියේදී මහ මැතිවරණය සහ රටේ පවතින ඕනෑම මැතිවරණයකට ජාතික ජනතා ව්‍යාපාරය ඉදිරිපත් වීමට සූදානම්ව ඉන්නවා. අපි කියන සහ ජනතාවගේ අපේක්ෂාව ඉටු කිරීමට එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා. කාලයක සිට ජාතික ජනතා ව්‍යාපාරය සංවිධානය වෙමින් තිබුණා. පක්ෂයක් වශයෙන් වැදගත් ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් ඉන්නවා. එම ප්‍රතිපත්ති තව දින කිහිපයකින් අපි ජනතාවට ලබා දෙනවා. දේශපාලනමය වශයෙන් අවශ්‍ය පිඹුරුපත් සකස් කර තිබෙනවා. වෙනත් විකල්ප කණ්ඩායම් සමඟ සාකච්ඡා සිදුවෙනවා. අපේ ප්‍රතිපත්ති මාලාව උත්සවාකාරයෙන් එළිදක්වන්න සූදානම් වෙනවා.

අප්‍රේල් 21 ප්‍රහාරය සමඟ රටේ අර්බුදයක් ඇතිවුණා. හදිසි නීතිය යටතේ රටක් පවතින්න බෑ. රටේ පවතින යල්පැනගිය නීතිය යාවත්කාලීන කළ යුතුයි. මා ජනාධිපති වූ වහාම අවශ්‍ය නීති සම්පාදනය කරලා රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නවා.

ජාතික ජනතා ව්‍යාපාරය සමඟ තවත් සංවිධාන රාශියක් එකතුවෙලා සිටිනවා. වෙනත් පක්ෂ හෝ පිරිස් මෙතෙක් ප්‍රචාරණය කළ පිළිවෙතට වඩා වෙනස් ක්‍රම අපි භාවිත කරනවා. එය ඉතා වේගවත් ලෙස සිදු කරනවා. කෙසේ වෙතත් ප්‍රචාරණයේ දී අපිට ප්‍රතිපත්ති තිබෙනවා. පොලිතීන් විරෝධී පෝස්ටර් විරෝධීව කටයුතු කරනවා. නව තාක්ෂණය සමාජ මාධ්‍ය විශාල වශයෙන් භාවිත කරනවා. මෙය මහත්මා දේශපාලනයක් වශයෙන් සිදු කරනවා. අපි හැමෝගේම බුද්ධියට ආමන්ත්‍රණය කරන්න සූදානම්. 7 වැනිදා වන විට එය දීපව්‍යාප්තව සිදුවෙනවා. ග්‍රාමසේවා වසම් දක්වා අවශ්‍ය සියලු ප්‍රචාරණ ක්‍රමවේද සැලසුම් කොට අවසන්. බුද්ධිමත් ජනතාව අප සමඟ ඒකරාශී වීම වැදගත් සහ අපි එය අගය කරනවා.

ඒ වගේම කියන්න අවශ්‍යයි, වෙනත් පවතින පක්ෂ කතා කරන්නේ ඔවුන් හා ඔවුන්ගේ පවුල් පිළිබඳව. විශේෂය වන්නේ අප කතා කරන්නේ ඔබ සහ ඔබේ පවුල් පිළිබඳවයි.”
 
► සමන්ත විල්තෙර