2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

දේශපාලකයන්ගේ නඩුවලට වැටුන තොප්පි දිල්රුක්ෂිගේ හා සුහදගේ කටින් එළියට!

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 273

ඔබ කොතරම් උස පුද්ගලයකු වුවත් නීතිය සිටින්නේ ඔබට ඉහළිනි. මෙම කියමනින් පසක් වනුයේ නීතියේ ස්වාභාවය පිළිබඳ සමාජ ආකල්පයි. එනමුත් නූතන ලාංකීය සමාජ දේශපාලන වටපිටාව තුළ මෙම ආකල්පය පැවැත්ම ගැටලු සහගතය. සුහද ගමලත් හෙළිදරව්ව දිල්රුක්ෂි ඩයස් හඬපට මේ ගැටලුව පිළිබඳ කතිකාවතට මග කියයි. අප මේ සිදුවීම් දෙක සම්බන්ධව විමසන්නට සැරසෙනුයේ නීතිය නැවීම නමින් මේ දිනවල චිරප්‍රසිද්ධව ඇති කතාවද පදනම් කරගෙනය.

ආසන්න වශයෙන් සුහද ගම්ලත් මහතා ලබාදුන් පුවත්පත් සාකච්ඡාවේදී හෙළිවූ කරුණු හරහා අප මෙම සංවාදයට පිවිසෙමු. ඔහුට අනුව අරලියගහ මන්දිරයේ රැස්වෙන දේශපාලකයන්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට සහ නිලධාරීන්ට බලපෑම් එල්ල වී තිබේ. එම ප්‍රකාශ සත්‍යතාව තහවුරු වන්නේ නම් අර්ධ අධිකරණ ස්වරූපයක් උසුලන නීතිපති දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතී බව පිළිබඳ පැහැදිලි සැකයක් අපට මතුවෙයි. 

අපි ගම්ලත් මහතාගේ ප්‍රකාශයෙන් කොටස් උපුටා දක්වමු.

“එකපාරටම චම්පික රණවක ඇමැතිවරයා අතින් මේසෙට ගහමින් ආවේශ වෙලා වගේ කියනවා නිලධාරියෙක් සේනාධිපතිට රට යන්න පාස්පෝට් එක නිදහස් කරල තියෙනවා. ඔහු දැන් නයිජීරියාවට ගිහිල්ලා. සල්ලි සේරම වෙනත් රටවලට යවල ඇති. මේ පරීක්ෂණය කරන්න වෙන්නෙ නැහැ මේ විදියට කියලා. එතකොට මම කිව්වා, ඇමැතිතුමා ඔහුගෙ පාස්පෝට් එක නිදහස් කරන්න කියලා උපදෙස් දුන්නේ මම. මම ඒක කළේ නීතියට අනුව. මොකද තාම මේ පරීක්ෂණත් ඉවර නෑ කියලා.”

FCID රැස්වීමකදී සිදුවූවා යැයි කියන මේ සිදුවීම නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන බලපෑම් පිළිබඳ ප්‍රමුඛ සාධකයකි. නීති සැකසීම ව්‍යවස්ථාදායකයට පැවරුණු වගකීමක් වුවද නීතිය පදනම් කරගෙන කෙරෙන විමර්ශන හෝ විනිශ්චයන්වලදී විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් ඊට සම්බන්ධ වීම යුක්තියුක්ත නොවේ. ඒ හරහා නීති ක්‍රියාත්මක කිරීමට අනිසි බලපෑමක් එල්ල වෙයි.

“ආණ්ඩුව කිව්වට මේකට තදබල අවශ්‍යතාව තිබුණේ රාජිත සේනාරත්න හා චම්පික රණවක ඇමැතිවරුන්ට. අගමැතිතුමා එහෙම බලපෑමක් කළේ නැහැ. එක සැරයක් මේ FCID රුස්වීම තිබුණා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මම එතුමාට කිව්වා අපිට තිබෙන බලපෑම් ගැන. කොතරම් බලපෑම් කළත් සාක්ෂි නැතිව නඩු දාන්න බැහැ කියලා. එතුමා ඒක පිළිගත්තා. රාජිත සේනාරත්න හා අනුර කුමාර දිසානායක පැත්තට හැරිලා කිව්ව නයාට ගහලා පොල්ල වරද්ද ගත්ත වගේ වැඩකරන්න එපා කියලා.”

ගම්ලත් මහතා මතුකරන සිදුවීම සත්‍යයක් නම් මෙහිදී පැහැදිලි ගැටලු මතුවෙයි. එසේ නමුත් මෙම කරැණ සම්බන්ධයෙන් පසුගියදා පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අදහස් දක්වා තිබුණි.

“ගාලු වරායේ නවතා තිබූ ඇවන්ට්ගාඩ් පාවෙන නැව පිළිබඳව පරීක්ෂණ සිදුකළේ මම හෝ වෙන කවුරුවත් නෙමෙයි  නීතිපති දෙපාර්තමේන්තුව. ඔය කියන සුහද ගම්ලත්ගේ දෙවැනියා වන වසන්ත නවරත්න බණ්ඩාර තමයි ඒ පිළිබඳව නිර්දේශ නිකුත් කළේ. ඔහු ප‍්‍රකාශ කළා මේ නැවේ අවි ආයුධ රඳවා ගැනීම නිසා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ගිනිඅවි ආඥා පනත යටතේ අපරාධ වරදක් සිදුකර තිබෙන බව. ඒ කියන්නේ ශ‍්‍රී ලංකා රජයට දැනුම් නොදී අවි ආයුධ ආනයන අපනයන ක්‍රියාවලියක නියැලීම සම්බන්ධයෙන්.”

මෙම සිදුවීමට අදාළව නීතීඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතාටද චෝදනා එල්ල විය. සුහද ගම්ලත් මහතාට දේශපාලන බලපෑමකට යටත් කිරීමට ඔහු උත්සාහ දරා ඇති බව ගම්ලත් මහතාගේ ප්‍රකාශය හරහා පෙනී යයි. මේය නීති ක්ෂේත්‍ර අභ්‍යන්තරයේ අර්බුදයක් බවට  මෙය පත්වෙයි.

“ආපහු දවසක් උපුල් ජයසූරිය මාව හම්බවෙන්න ආවා. මූණත් නරක් කරගෙන මට කිව්වා ඔබ අර මනුස්සයට රට යන්න දුන්න නේද කියලා. මම කිව්වා ඒක සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූලයි කියලා. ඒ වෙලාවේ උපුල් ජයසූරිය මට කිව්වා අගමැතිතුමාට ඔබව හමුවෙන්න අවශ්‍යයි කියලා. මම ඔහුට කිව්වා අගමැතිතුමාට මාව හමුවෙන්න අවශ්‍ය නම් ඒ පණිවුඩය එන්න ඕනේ ඔබ හරහා නෙවෙයි. මගේ ප්‍රධානියා වන නීතිපතිතුමා මාර්ගයෙන් කියලා.”

සුහද ගම්ලත් මහතාගේ මෙම අන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අපි උපුල් ජයසූරිය මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු එහිදී දීර්ඝව මෙම සිද්ධිය පැහැදිලි කළ අතර ගම්ලත් මහතා සම්බන්ධ චෝදනා ද ඉදිරිපත් කළේය.

“මම අද හෙටම නීතීඥවරැ හරහා අපහාස කිරීම සම්බන්ධව එන්තරවාසියක් යවනවා. මේ පුද්ගලයා දේශපාලනඥයෝ පස්සේ ගිහිල්ලා තනතුර ඉල්ලගෙන යන කෙනෙක්. ඒ විදිහට තමා ඔහු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වුණේ. හරි විදිහ නම් පරිපාලන සේවයෙන් එන්න ඕනෑනේ. ධාරා විජේතිලක මහත්මිය අවුරුදු තිහක් විතර අධිකරණ අමාත්‍යාංශයේ වැඩකරලා තිබ්බා. එතුමියට නොදී නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු කනිෂ්ඨ නිලධාරියෙක්ට තමා දුන්නේ. එයා ලේකම් තනතුරේ අවුරුදු දහයක් විතර හිටියා. මම දන්න තරමින් නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ පළපුරුද්දක් නිපුණතාවක් නොමැති නිසා තමයි මේ පුද්ගලයාට නීතිපති තනතුර නොලැබී ගියේ.”

ගොඩනැගුණ මෙම සංවාදයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමසීම මහජනතාව සතුය. අප කරනුයේ ඔබ විමසා බැලීම කරුණු සම්පාදන පමණි. නීතිය නවා ඇත්තේ පළමුවැන්නාද දෙවැන්නාද යන්න පිළිබඳ අපට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ නීතිය නිල බලය හෝ දේශපාලන බලය ඉදිරියේ කෙළි බඩුවක් වීමයි. කවරකු වරදකරු වුවද මේ හරහා බිඳී යන්නේ මෙරට මහජනයා සතු නීතිය පිළිබඳ වන විශ්වාසයයි. නීතිය බලවතුන්ගේ වුවමනා එපාකම් මත ක්‍රියාත්මක් වන්නේ නම් අසරණ වන්නේ මෙරට සමස්ත මහ ජනතාවයි. නීතියේ ආධිපත්‍යය බිඳවැටීම වැනි බරසාර වචනවලින් මහජනයාට අවබෝධ නොවූවද මේ සරල සත්‍යයකි.

නීතීඥ සංගමයේ වත්මන් සභාපති කෞශල්‍යය නවරත්න මහතාගෙන් අප උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව විමසීමක් කළෙමු.

“මේ ස්වාධීන ආයතන දෙකක ප්‍රධානීන් දෙදෙනෙක් කරන ප්‍රකාශ. ඒ අයගේ දේශපාලන මතිමතාන්තර නිසාවෙන් මේ වගේ ප්‍රකාශ කරනවාද කියලා අපිට අදහස් දක්වන්න බෑ. අධිකරණ කටයුත්තකදී තමයි ඒක හොයාගන්න වෙන්නේ. නමුත් මේ කියන කරැණු සම්බන්ධයෙන් සත්‍යතාවක් තියෙනවා නම් කරැණු සොයාබැලීමක් කරන්න ඕනෑ. මොකද නීතියේ, අාධිපත්‍යය නීති ආයතනයන්ගේ ස්වාධීනත්වය සම්බන්ධ තර්ජණාත්මක තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන නිසා.”

ඔහු පවසන ආකාරයට සාමාන්‍ය ජනතාව තුළ දේශපාලන සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විශ්වාසය බිඳ වැටී තිබේ. යම් විශ්වාස ඇත්තේ අධිකරණ ක්‍රියාවලිය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳවය. මෙවන් සිදුවීම් හරහා බිඳ වැටෙන්නේ එම විශ්වාසයි. නීතියේ අධිපත්‍යයි. ඒ හරහා රටේ ක්‍රියාකාරීත්වය මෙන්ම සමාජ ව්‍යූහය බිඳවැටීමට ලක්වේ. මෙය බරපතළ තත්ත්වයකි.

දිල්රුක්ෂි ඩයස් හඬපටද මෙම සංවාදයේ කොටසකි. තාමත් ඒ සම්බන්ධ විමර්ශන පැවැත්වෙන නිසාවෙන් දීර්ඝ සංවාදයක් ගොඩනැගීම අපහසුය.

“මම ගෝඨාභය රාජපක්ෂට විරුද්ධවත් නඩුදාන්නේ නැහැ. මම ඒ කරපු එක ගැනම දුක්වෙනවා. මම දන්නවා කොහොමද නීතිය කඩන්නේ කියලත්, නීතිය හදන්නේ කියලත්. ඒ දෙකම.”

එහි එන කොටස් මෙම තුළ අතිශය බරපතළ ප්‍රකාශයක් ඇත. ඒ නීති හැදීමට මෙන්ම නීති කැඩීමටද තමන් දන්නා බව ඇය පැවසීමයි. නීති හැදීම ව්‍යවස්ථාදායකයේත් නීති කැඩීම අපරාධකරුවන්ගේත් ස්වභාවයන් බව අප මෙහිදී සිහිපත් කර ගතයුතුය. මේ දෙකම එකම වර යමෙකුට කළ හැකිනම් ඔහු සර්ව බලධාරි විය යුතුය.

අවසානයේ අපි මෙසේ සටහන් කරමු.  නීතිය දේශපාලන කෙළිබඩුවක් වී ඇති යුගයක මහජනයාට පවා මේ ගැන වගක් නැති මොහොතේ මේ සටහන ඔබගේ බුද්ධිමත් විමසීම වෙනුවෙන් තැබූවකි. කිසිවකුට කිසිවිටකත් අගතියට පත් කිරීම අපේ අරමුණ නොවේ.
► චමිඳු නිසල්

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30