2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ඩඩ්ලි - ධනපාල ගිනිකෙළිය

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 267

1965 මහ මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක මහතා බලයට පත්වීමත් සමඟ අලුත් අධ්‍යාපන ඇමති ධුරයට පත්වූයේ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාය. දේශපාලනඥයෙකුට වඩා පුවත්පත් කලාවේදියෙකු, ලේඛකයෙකු හා පොත් කර්තෘවරයෙකු හැටියට ප්‍රසිද්ධියක් ලබා සිටි ඊරියගොල්ල, පොත් ප්‍රශ්න නිසාම ගුණසේන සමාගමත් සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෙක් විය. එබඳු පුද්ගලයෙකු අධ්‍යාපන ඇමති වූ විට පාසල් පොත් මුද්‍රණය නැවතත් ගුණසේන සමාගමට බාරදෙනු ඇතැයි දැඩි විශ්වාසයකින් යුතුව සිටි ගුණසේන පාලකයෝ ඊට අවශ්‍ය නූල් සූත්තරද ක්‍රියාත්මක කළහ. එහෙත් ඊරියගොල්ලත්, ඩඩ්ලි සේනානායකත් ඔහුගේ ආණ්ඩුවේ වැඩි දෙනෙකුත් විශ්වාස කළේ ඇන්.ඇම්. පෙරේරා පාසල් පොත් මුද්‍රණය සම්බන්ධයෙන් ගෙන තිබුණු තීරණය නිවැරදි සාධාරණ තීරණයක් බවය. ඒ නිසාම පාසල් පොත් මුද්‍රණය ආපසු ගුණසේන සමාගමට පැවරීමට ඩඩ්ලිගේ ආණ්ඩුව කටයුතු කළේ නැත.

බලාපොරොත්තු කඩකර ගත් “දවස” පාලකයෝ (ගුණසේන පවුල) ඩඩ්ලිගේ ආණ්ඩුවට ප්‍රකාශ කිරීමට තීරණය කරගත්හ. එහෙත් එබඳු ඩඩ්ලි විරෝධී ව්‍යාපාරයක් සඳහා අවශයෙන්ම තිබිය යුතු දෙයක් වූයේ සියලුම පුවත්පත්වල ප්‍රධාන කර්තෘ හැටියට කටයුතු කළ ධනපාලගේ සහයෝගය සහ ආශිර්වාදයයි.

ගුණසේනලා පාසල් පොත් ප්‍රශ්නය උඩ ආණ්ඩු විරෝධී තත්ත්වයට පත්වෙද්දී, ධනපාලත් ජාඩියට මූඩියට වෙමින් ගැලපෙන තත්ත්වයට පත්වූයේ කෙසේද? ධනපාල කවදාවත් යූ.ඇන්.පී.කාරයෙකු හැටියට නියෝජනය වූයේ නැත. විශේෂයෙන් ඔහු කැලණියේ ධර්මාලෝක විදුහල්පති ධුරය දරද්දී විද්‍යාලංකාර පිරිවෙනේ දේශපාලන භික්ෂූන්ගේ පැත්ත ගැනීම නිසා යූ.ඇන්.පී. විරෝධියෙකු වුවත් ධනවත් පුවත්පත් ව්‍යාපාරිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව නිසා සිය දේශපාලන හැඟීම් යටපත් කරගෙන කටයුතු කළ බවට සැකයක් නැත. එහෙත් “දවස” පාලකයන්ට අවශ්‍ය වූ අවස්ථාවේම ධනපාල ද ඩඩ්ලි විරෝධියෙකු පත්වූයේ කෙසේද?

“දවස” ආයතනයට ලැබිය යුතු පත්තර කඩදාසි පංගුව හෙවත් “කෝටාව” සම්බන්ධයෙන් ධනපාලත් රජයත් අතර මතභේදයක් හටගෙන තිබුණි. ධනපාලගේ තර්කය වූයේ ලේක්හවුසියට වඩා ප්‍රකාශන ගණනක් නිකුත් කළ ඊට වඩා අලෙවියක් තිබුණු දවස ආයතනයට ලැබෙන පත්තර කඩදාසි කෝටාව ලේක්හවුසියට ලැබුණු කෝටාවට වඩා වැඩි විය යුතු බවය. ප්‍රශ්නය සමතයකට පත්කර ගැනීම පිණිස ධනපාල දිනක් අගමැති කාර්යාලයට ගියේය. “දවස” ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වූ පර්සි ගුණසේනද ධනපාලට හවුල් විය. පර්සි, සේපාල ගුණසේනගේ ලොකු මල්ලීය. ධනපාල ගණන්හිලව් ඉදිරිපත් කරමින් ජනප්‍රිය පත්තර සඟරා 16ක් පළකළ “දවස” ආයතනයට වැඩිපුර පත්තර කඩදාසි කෝටාවක් ලැබිය යුතු බවට තර්ක කළේය. එහෙත් ඒ වනවිට “දවස” ආයතනය නටන්නට සැරසෙමින් සිටි අලුත් නාඩගම ගැන ඩඩ්ලිට ඉව වැටී තිබුණු නිසාත් ලේක්හවුසියේ නිල නොලත් නියෝජිතයා බඳුවූ ඩඩ්ලිගේ පුද්ගලික ලේකම් නිමල් කරැණාතිලක විසින් දියයුතු තීන්දුව ඩඩ්ලි සේනානායකගේ හිසට ඇතුළු කර තිබුණු නිසාත් ධනපාලගේ තර්ක සියල්ල ඩඩ්ලි ප්‍රතික්ෂේප කළේය.

සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු පුටුව පස්සට තල්ලු කර නැගී සිටි ධනපාල ඩඩ්ලිට අභියෝග කරමින් අගමැති කාර්යාලයෙන් පිටවී ආවේය. ලිපි ගොනුවක් අතේ තබාගෙන වචනයක් හෝ කතා නොකර ඩඩ්ලි - ධනපාල ගිනිකෙළිය දෙස මවිත වී බලාසිටි පර්සි ගුණසේනද නැගිට ධනපාල පස්සෙන් ගමන් කළේය.

ඒ අනුව ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගුණසේනලාටත් ධනපාලටත් හේතු තිබුණි. ඒ නිසාම ඔවුහු ඒ කටයුත්ත ආරම්භ කළහ. පාසල් පොත් මුද්‍රණය ආපසු ගුණසේන සමාගමට පවරා නොදීමේ වෛරයට ඊරියගොල්ල දඩමීමා කරගෙන ඔහුට පහර දෙන අතර අවසාන අරමුණ හෙවත් ඩඩ්ලිගේ ආණ්ඩුව පරාජය කිරීම පිණිස “දවස” ආයතනය කෙළින්ම සටනට පිවිසියේය.

(1993 පළවූ ගුණදාස ලියනගේ විසින් රචිත “ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම” නමැති කෘතියෙනි. ජනජන ප්‍රකාශනයකි.)

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා