2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

දීගොඩ කුමාරගේ සෙත් ශාන්තියෙන් එලොව යන්න ගිය පාන් පිටි ඇලජික් දරුවා

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 310

මිනිසාගේ ලොකුම බලාපොරොත්තුව වන්නේ නීරෝගිකමය. රෝගීව ජීවිතේ අනේක විධ දුක් වේදනාවන්ට මුහුණු දෙන කවුරුත් බලාපොරොත්තු වන්නේ ඉතා ඉක්මනින් තම රෝගය සුවපත් කරගන්නටය. ඒ නිසාම රෝගයක් සෑදු සැණින් ඕනෑම කෙනෙක් එයින් මිදෙන්නට බොහෝ වෙහෙස වෙති. රෝහල් ගත වෙති. නොයෙක් පරීක්ෂණවලට මුහුණ දෙති. බෙහෙත් පෙති අහුරැ පිටින් බොති. ඒවායින් සුවයක් සම්පූර්ණයෙන්ම නොලද විට බෝධි පූජා පවත්වති. තමන්ගේ ආගම්වලට අනුව පුදපූජා කරති. අංජනම්කරුවන්, ජෝතිෂ්‍යකරුවන්, පේන කියන්නන්, යකැදුරන්, අරූඩකරුවන් වෙත ගොස් ඔවුන්ගේ පිහිට පතති.

මේ අතර එවැනි අසරණ මිනිසුන් ඩැහැගන්නට ඕනෑ තරම් බොරුකාරයන් මේ සමාජයේ එමටය. ඒ අතරින් විශ්ව ශක්තියෙන් රෝග සුවපත් කරන බව පවසමින් රෝගීන් මුලාකරන පුද්ගලයකු පිළිබඳව ද පසුගිය කාලයේදී වාර්තා විය. ඒ දීගොඩ කුමාරය. මෙම පුවත පිළිබඳව වාර්තා වීමත් සමඟ කාලයක් තිස්සේ යට ගිය බොහෝ කතා ඉස්මතු වෙන්නට පටන් ගත්තේය. සුජීවාගේ කතාවද එයින් එකකි.

සුජීවා දරුවන් දෙදෙනකුගේ මවකි. පුතුන් දෙදෙනෙකු සිටින සුජීවාගේ වැඩිමහල් පුතනුවන් ඉතා දක්ෂ දරුවෙකි. කොළඹට ආසන්න ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන ඔහු අපි මනුරංග ලෙසින් හඳුන්වමු. (මනඃකල්පිත නමකි)

“මනුරංග කියන්නේ මගේ වැඩිමහල් දරුවා. එයාට තව මල්ලියෙක් ඉන්නවා. ලොකු පුතා ඉගෙනගන්න හරි දක්ෂයි. ලොකු පුතාට මාස තුනේදී අපි එයාට දවසක් බිස්කට් එකක් (එය කුඩා දරුවන්ට දෙනු ලබන ජනප්‍රිය කෑමකි) කන්න දුන්නා. ඒකේදී තමයි අපි දැනගත්තේ පුතාට පාන් පිටි කන්න බැහැ කියලා එදා ඒ බිස්කට් එක පුතාට ඇලජික් වුණා.

සුජීවා පවසන්නීය.

මාස තුනක් වයසැති පුංචි පුතාට දුන් බිස්කට් එකෙන් දරුවාගේ මුළු ශරීරයම ඉදිමුණේය. සුජීවා වහාම දරුවා රජයේ රෝහලට රැගෙන ගියාය. දරුවා පරීක්ෂණ කළ වෛද්‍යවරු ඇතැම් විට කෑමට දුන් බිස්කට් වර්ග කල් ඉකුත්වන්නට ඇතැයි විශ්වාස කළහ. ඇතැම් වෛද්‍යවරුන් දරුවාට විටමින් වර්ගයක් ඇලජික්වන්නට ඇතැයි ද විශ්වාස කළහ. 

නැවත වතාවක් මනුරංගට දරුණුවටම රෝගී වද්දී කුඩා මනුරංගගේ වයස මාස නවයකි. එවකට සුජීව පෞද්ගලික ආයතනයකට රුකියාවක නිරතව සිටියාය. මේ නිසාම මනුරංග බලාකියා ගැනීමේ වගකීම ඔහුගේ ලොකු අම්මාට පැවරැණි. නින්දෙන් ඇහැරුණු මනුරංගට ලොකු අම්මා ක්ෂණින් නූඩ්ල්ස් ටිකක් කැව්වේය. ඔහු ඉතා ආසාවෙන් ක්ෂණික නූඩ්ල්ස් ටිකින් ටික කෑවේය. ටික වේලාවකින් මනුරංගගේ ඇඟ ඉදිමුණේය. බෙල්ල කඩා වැටිණි. වහාම ඔහු රෝහලට රැගෙන ගියහ. එතැනින් දරුවා කොළඹ ළමා රෝහලට ගිලන් රථයකින් රැගෙන යනු ලැබීය. එහිදී දරුවාව දින කිහිපයක් නතර කරගනිමින් විවිධ පරීක්ෂණ සිදුකෙරිණි. එම පරීක්ෂණවල අවසන් ප්‍රතිඵලය වූයේ මනුරංගට පාන් පිටි ආසාත්මික බව දැනගැනීමය. එතැන් සිට සුජීවාත් ඇගේ සැමියාත් දරුවා රැගෙන බොහෝ වෛද්‍යවරැන් වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්නට උත්සාහ දැරූහ. ඒ සෑම වෛද්‍යවරයෙකු පරීක්ෂණවලින් අවසානයේදී පැවසුවේ පාන්පිටි ආසාත්මිකතාවයක් දරුවාට තිබෙන බවය.

අපි ළමා රෝහලේ වෛද්‍යවරු කිහිප දෙනෙකුට පෙන්නුවා. ඒ හැම වෛද්‍යවරයකුම පැවසුවේ මේකට තියෙන්නේ විසඳුම් දෙකයි අම්මේ කියලයි. එක්කෝ ළමයාගේ ඇඟේ සම්පූර්ණයෙන්ම ලේ මාරු කරන්න ඕනේ. ඒක ජීවිතයත් මරණයත් අතර සටනක්. අනෙක් දරුවාට ආසාත්මිකතා ඇතිකරවන කෑම නොදී ඉන්නඑකයි. යැයි සුජීවා කියන්නීය.

අවසානයේදී වෛද්‍යවරුන් පැවසු දෙකෙන් දෙවැනි විකල්පය කරන්නට මනුරංගගේ මව්පියෝ අදිටන් කරගත්හ. රෝහල් වෛද්‍යවරුන්ගේ අදහස වූයේ ක්ෂණික ආහාර දී දරුවා මරණයට පත්කරන්නට උත්සහ ගැනීම හේතුවෙන් සුජීවාත්, ලොකු අම්මාවත් අත්අඩංගුවට පවා ගතහැකි බවය. ඒ තරමටම එය දරුවාගේ ජීවිතයට අවදානමක් විය. නමුත් හිතාමතා කළ දෙයක් නොවීමත් නැවතත් එවැනි දේ දරුවාට නොදෙන බවට කළ පොරොන්දුවත් හේතුවෙන් ඔවුන් නීතිය වෙත ගෙන ගොස් තිබුණේ නැත. එතැන් සිට මනුරංගට පාන්පිටි සහිත ආහාර තහනම් විය. කොහේ ගියද නිවසේ පිසින ආහාර පමණක් දරුවාට දීමට මව්පියෝ උත්සාහ ගත්හ.

පාන්පිටි ආසාත්මිකතාවයන් ඇතිවූ සෑම මොහොතකම මනුරංගගේ ඇඟ ඇතුළෙන් ඉදිමේ. අධික ඔළුව කැක්කුම හටගනී. ශරීරය ඇතුළත ඉදිමීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට ද හානි සිදුවේ. හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ වේ. ඇඟේ පළු මතුවේ. හතිය ඇතිවේ. හුස්ම ගැනීම අමාරැවේ. මුළු ශරීරයම රතු වේ. 

2018 වසරේදී පාසලේ ස්වාමීන්වහන්සේ නමකගේ ධර්ම වැඩසටහනක් පැවැත්වුණි. පාසල් මට්ටමෙන් පත්වනු ලබන මෙම වැඩසටහන ඉතා ජනප්‍රිය වැඩසටහනකි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබ තිබූ ස්වාමින්වහන්සේ සහභාගී වෙන වැඩසටහනට දීගොඩ කුමාරද සහභාගී වී සිටියේය. නමුත් එවැනි වැඩසටහනකට ඔහුට අනුමැතියක් ලැබී නොතිබූ බව කියයි. විශ්වශක්තියෙන් ලෙඩ රෝග සුවපත් කරන්නට පැමිණ දීගොඩ කුමාර පළමුව පාසල් විදුහල්පතිගේත් ගුරැ මණ්ඩලයේත් හොඳ හිත දිනාගෙන තිබිණි.

හාමුදුරුවන්ගේ වැඩසටහන ඉවර වුණාට පස්සේ දීගොඩ කුමාර ඉස්සරහට ඇවිත් ලෙඩ රෝග තියෙන අය ඉස්සරහට එන්න. මම විශ්වශක්තියෙන් සුවපත් කරනවා. කියලා තිබුණා. මේ ආදර්ශය ගත් පාසල් දරුවෝ වැලනොකැඩි දීගොඩ කුමාර ළඟට යන්නට පොර කෑහ. ඔය අතරේ මනුරංගද මේ පෝලිමට එකතුවී ඇත. මනුරංගගේ අවස්ථාව උදාවිය. මට පාන් කන්න බැහැ. මට පාන් ඇලජික්. ඒවා කෑවම මම වහ කෑවා වගෙයි. මාව මැරෙන්න යනවා. මනුරංග දීගොඩ කුමාරට පැවසීය. ඔහු මනුරංගගේ හිසට සහ ඇඟට සෙත් ශාන්ති කර “බය වෙන්න එපා.. දැන් කන්න.. ඔය බය නැතිව පාන් කන්න. යැයි කියා පාසලෙන් ඔවුන්ට සංග්‍රහයට ගෙනා පාන් පෙති දෙකක් මනුරංගගේ අතට දී ආ කන්න කියා කෑමට දුන්නේය. මනුරංග පාන් කන්නට බිය විය. කවුරැ කෙසේ කීවද ඔහුට තම රෝගය ඇතිවූ විට මුහුණ දෙන තත්ත්වය ගැන හොඳ හැටි අවබෝධයක් තිබුණි. ඒ නිසාම දීගොඩ කුමාර කෙසේ කීවද අතට දුන් පාන් පෙති දෙක කන්නට මනුරංග බිය වූවේය. මේ අතරේ දීගොඩ කුමාරගේ සංවිධානයේ පිරිසද “ඕක කන්න.. කන්න... බය වෙන්න එපා යැයි කියා තිබිණි. මනුරංග කුඩා පාන් පෙති කැබැල්ලක් කෑවේය. “පොඩි කෑල්ලක් කෑවට මදි මේ දෙකම කන්න.* යැයි පාන් පෙති දෙකම ලබාදී ඇත.

සුජීව කීවාය.

මනුරංගට වෙන්න යන දේ තේරුණේය. මනුරංගගේ මිතුරෙක් දීගොඩ කුමාර ළඟට දිවගොස් මේ පිළිබඳව කීවේය. අසනීප වූ මනුරංගට දෙවැනි වරටත් කොරිඩෝවට ගත් දීගොඩ කුමාර නැවතත් සෙත් ශාන්තියක් කර ඇත. නමුත් එයින්ද පලක් නොවිණි. වැඩේ වරදින බව තේරුණු දීගොඩ කුමාරට කරකියා ගන්නට දෙයක් තිබී නැත. පාසලට ධර්ම වැඩසටහනට පැමිණි ස්වාමින් වහන්සේගේ රියැදුරා වහා තම වාහනයෙන් මනුරංගව පිළියන්දල රෝහලට රැගෙන ගියේය. මාස නවයේ සිට රෝගය පිළිබඳව ප්‍රතිකාර ගත් සියලු රෝග කාඩ්පත් ඒ වනවිටත් තිබුණේ සුජීවා ගාවය. මේ නිසාම රෝහලට රැගෙන ආ මනුරංගගේ රෝගය ගැන විනිශ්චයක් නොගෙන ප්‍රතිකාර කිරීමට මනුරංගගේ රෝග ලක්ෂණ අනුව බරපතළ බව වටහාගත් පිළියන්දල රෝහලේ වෛද්‍යවරු වහා මනුරංගව ගිලන් රථයකින් කළුබෝවිල රෝහලට මාරු කළහ.

මට ආරංචි වෙලා මම පිළියන්ද රෝහලට පුතාගේ ෆයිල් ටිකත් අරගෙන දිව්වා. ඒ යද්දීත් පුතාට හැම තැනකම බට ගහලා හිටියේ. පුතාගේ යුනිෆෝම් එක කතුරුවලින් කපලයි අයින් කරලා තිබුණේ. පුතාව ගිලන් රථයකින් කළුබෝවිල ඉස්පිරිතාලෙට අරගෙන ගියා. ඇත්තටම ඒවගේ දර්ශනයක් කිසිම අම්මා කෙනෙක්ට දකින්න නම් සිද්ධ වෙන්න එපා. ඒ වෙලාවේ මගේ දරුවා මැරිලා වගෙයි හිටියේ. මාව සිහිය නැතිව වැටුණා. ආයේ සිහිය ආවට පස්සේ මම එතන හිටපු පුතාගේ යාළුවන්ගෙන් පුතා මොනවද කෑවේ කියලා ඇහුවා. ඒ වෙලාවේ තමයි මේ සිද්ධිය කිව්වේ. පුතාව කළුබෝවිලට ගිලන් රථයෙන් අරගෙන ගියා. අපි ඉස්කෝලේ වෑන් එකෙන් කළුබෝවිලට ගියා. ඒ යනකොටත් පුතා කළුබෝවිල රෝහලේ හදිසි ශල්‍ය ඒකකයට ඇතුළත් කරලායි හිටියේ. මම එතන ඉඳන් කෑ ගැහුවා. අපිට පුතාට බලන්නටත් දුන්නේ නැහැ. එළියට ආපු දොස්තර මහත්තයෙක් අපිට කිව්වේ අම්මේ.. හොඳ අතට හැරෙයිද... නරක අතට හැරෙයිද කියලා කියන්න බැහැ. අපි පුළුවන් උපරිමයෙන්ම මහන්සි වෙනවා. කියලා. අපි ඒ දොස්තර මහත්තයාට වැන්දා. ඇත්තටම දොස්තර මහත්තුරැන්ටත් පුතාගේ ජීවිතේ ගැන විශ්වාස නැහැ. ඒක මට එයාගේ කතාවෙන් තේරුණා. ඔය කාලේදී පුතාගේ තාත්තා හිටියේ මාලදිවයිනේ රස්සාවක් කරමිනුයි. පුතා ගැන ආරංචි වෙලා එයාත් අතින් ටිකට් එකට වියදම් කරගෙන පහුවදාම ලංකාවට ආවා. පුතා දවස් දෙකක් හදිසි ශල්‍ය ඒකකයේ හිටියා. අපි පිළියන්දල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක්ද දැම්මා.

සුජීවා.. ඒ අමිහිරි අතීතය අදද මතක් කරන්නේ දෑසේ කඳුළු පුරෝගෙනය.

සමහරු දීගොඩ කුමාර ගැන පොලිසියට පැමිණිලි කරන්නට එපායැයි සුජීවාට ඇවිටිලි කළහ. නමුත් දරැ දුක දැනෙනා සුජීවා පිළියන්දළ පොලිස් පොතේ පැමිණිල්ලක් ලිව්වාය.

දිනක් සිහිය නොලැබ හදිසි ශල්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් ජීවිතයත්, මරණයත් අතර ලොකු සටනක නිතර වුණු මනුරංගට සෙමින් සිහිය ආවේය. මනුරංගගේ දෑස් අම්මා දෙසට යොමු විය. ටිකින් ටික මනුරංගගේ සිරුරට සවි කර තිබූ යන්ත්‍ර ගලවනු ලැබීය. පසුවදා සවස මනුරංග වාට්ටුවකට මාරැ කළේය. ටිකින් ටික මනුරංග සුව අතට හැරුණේය.

විශ්ව ශක්තියෙන් රෝග සුවපත් කරන බව කියන දීගොඩ කුමාරගේ එම &ශක්තියේ* බලමහිමෙන් නැතිවෙන්නට ගිය පාසල් දරැවකුගේ ජීවිතය බේරාගනු ලැබුවේ මේ රටේ වෛද්‍යවරුන්ගේ ශක්තියෙනි. 

 දිශානි ජයමාලි කරුණාරත්න