2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ලකුණේ ගිරයට හසු වූ අත - පොහොට්ටු සාකච්ඡා

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 153

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අතරතුර ඇති වූ ලකුණේ අර්බුදය තවම නිමා වී නැත. ගෙවුණු සතියේ ද අවස්ථා කිහිපයක දී මෙම ගැටලුව හේතුවෙන් පුවත් මැවිණි. දෙපාර්ශ්වයම ලකුණ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයකට එළැඹ සිටි අතර සන්ධානය බිහිවීම දිගින් දිගටම පමාවන බවක් පෙනෙන්නට විය.

පොහොට්ටු ලාංඡනය යටතේ ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂකයකුට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහයෝගය ලබා නොදෙන බවට එහි ප්‍රබලයන් ඍජුව ප්‍රකාශ කිරීමත් සමඟ පසුගිය සතිය ඇරැඹිණි. ශ්‍රීලනිප පාර්ශ්වයෙන් මෙම ඉල්ලීම පෙරටුකොටගෙන සටනට බට වර්තමාන ප්‍රබලයෝ තිදෙනෙක් වෙති. එම තිදෙනා වන්නේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර,  උප සභාපති  තිලංග සුමතිපාල සහ භාණ්ඩාගාරික වීරකුමාර දිසානායකය.

පොදුජන පෙරමුණු ලාංඡනය නොමැතිව පුටුව හෝ වෙනත් පොදු ලකුණකට එකඟ වන ලෙසට වූ ඉල්ලීම එන්න එන්නම දැඩි විය. පුංචි බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවක දී තිලංග සුමතිපාල මහතා පැවසුවේ දෙපාර්ශ්වය අතර පවත්වන සාකච්ඡාවලදී ඉදිරිපත් වන වෙනත් කරුණුවලට එකඟතාව පළ වුණද,  පොහොට්‌ටුව ලකුණ හේතුවෙන් සාකච්ඡාවලට බාධා එල්ල වී ඇති බවය. මෙහිදී පොදුජන පෙරමුණ පොහොට්ටු ලකුණ අතනොහැරියහොත් ශ්‍රීලනිපය ගන්නා තීරණය ගැන ද හෙතෙම පැහැදිලි කරලීය. පක්‍ෂයේ අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ නොවී දේශපාලන ගමනක් යන බව එහි දී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සාකච්ඡාවලදී එකඟ වී ඇති කරුණු පිළිබඳව ද සොයා බැලීම වටී. දෙපාර්ශ්වයම ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට මෙහිදී එකඟ වී තිබේ. එසේම පොදු සන්ධානයක්, පොදු ලකුණක් යටතේ ඉන් පසුව එළඹෙන මහ මැතිවරණයට තරග කිරීමට ද එකඟතාව පළ වී ඇත. එහෙත් ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණ ලකුණු භාවිතය හරහා තම දේශපාලන අන්‍යන්‍යතාව බිඳී යන බවට ද ශ්‍රීලනිපය මෙහිදී පෙන්වා දෙනු ලැබීය. නමුත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු බහුතරයක් මෙම ලකුණු මාරැවට දැඩි විරෝධයක් පළ කරමින් සිටිති. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද ශ්‍රීලනිප යෝජනා සම්බන්ධයෙන් දක්වා ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.

මෙම සංවාදය පිළිබඳ කතිකාව පොදුජන පෙරමුණු හවුල්කාර පක්ෂ අතර ද ගොඩනැගෙනු පසුගිය සතියේ දක්නට ලැබුණි. එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තරග වදින ලකුණ පිළිබඳ කිසිදු ගැටලුවක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. ඔහු පවසන පරිදි තරග වදින ලකුණ වැනි සුළු ගැටලුවක් මුල්කර ගනිමින් අර්බුදයක් ඇතිකර ගැනීම මේ මොහොතේ නොකළ යුත්තකි. කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව හවුල්කාර පක්ෂ පොහොට්ටුව ලකුණ අවශ්‍ය බව කීවද ඒ ගැන දැඩි ස්ථාවරක එළැඹ නොමැත. පොදුජන පෙරමුණට තීරණයක් ගැනීමට ඉඩ දී සිටින මොවුන්ගෙන් ඇතැමෙක් දෙපාර්ශ්වයේ ලකුණේ අර්බුදය හේතුවෙන් ඇතිවිය හැකි අවාසි සහගත තත්ත්වය පෙන්වා දෙති.

මේ අතර පොහොට්ටුව ලකුණින් හැර වෙනත් ඕනෑම ලකුණක්‍ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් ඊට සහයෝගය ලබාදෙන බව දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඔහුට අනුව සන්ධානගතවීමේ ක්‍රියාවලියේ ඇති එකම බාධාව පොහොට්ටුව ලාංඡනය බව පෙනී යයි. මෙහිදී ශ්‍රීලනිප පාර්ශ්වය උපුටා දක්වන කරුණු කිහිපයකි. ගමේ ශ්‍රීලනිප පාක්ෂිකයන් පොහොට්ටුව ලකුණට ඡන්දය දීමට අකැමැතිය යන ප්‍රකාශය ඉන් ප්‍රධානය. මේ හරහා ශ්‍රීලනිපය දියකර දැමීමට පොහොට්ටුව ක්‍රියා කරනු ඇතැයි අනෙක් කරැණයි. ඔවුහු තම පක්ෂයේ ප්‍රබලයන් පොහොට්ටුවට බඳවාගැනීම උදාහරණයක් කොට මෙම කරුණු පෙන්වා දෙති.

මෙම අර්බුද‍ය සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය සැප්තැම්බර් 11 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නිවෙසේ දී පැවැත්විණි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව හැර වෙනත් ලකුණකින් තරග කිරීම ඵලදායී නොවන බව එහිදී ප‍්‍රකාශ විය.  සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා මේ බව තහවුරු කළේය. පොදුජන පෙරමුණු දිස්ත්‍රික් කමිටු දක්වා මෙම අර්බුදය පැතිරී තිබූ අතර ඇතැම් දිස්ත්‍රික්ක තුළ පොහොට්ටුව ලකුණින් තරග කිරීම සම්බන්ධයෙන් යෝජනා ස්ථිර කරගෙන තිබිණි. පොදුජන පෙරමුණු දෙවැනි පෙළ මන්ත්‍රී කණ්ඩායමේ ජනප්‍රිය මාතෘකාවක් බවට ලාංඡන අර්බුදය ක්‍රමයෙන් පත් වූයේ මේ අනුවය.

තත්ත්වය එන්න එන්නම බරපතළ වෙමින් පැවතිය ද මේ සම්බන්ධව ශ්‍රීලනිපය කිසිදු නම්‍යශීලී බවක් නොදක්වන බව සතිය අවසන වන විට පෙනෙන්නට විය. එළඹෙන ජනාධිපතිවරණයේ දී ‘පොහොට්ටුව’ ලකුණින් තරග කර වෙනත් ලාංඡනයකින් මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කළ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කළ බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා මාධ්‍යයට පැවසීම ඊට උදාහරණයකි.

දෙසතියක් තිස්සේ දිග්ගැසෙමින් පවතින පොහොට්ටු ලකුණේ අර්බුදය ක්‍රමිකව ඉදිරියට යමින් තිබෙන්නේ මෙවන් පසුබිමකය. මෙහිදී හඳුනාගත හැකි විශේෂත්වයන් කිහිපයකි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලාංඡනය අර්බුදය පිළිබඳව මේ දක්වා අදහස් පළකර නොමැත. ගෙවුණු සතියේ පැවති අවසන් සාකච්ඡාවලදී මෙය විසඳීම නායක දෙපළට භාරදීමට තීරණය වූ බවද කියැවිණි.

මේ සතිය පොදුජන පෙරමුණු පාර්ශ්වයට කාර්යබහුල සතියකි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහය නිසාවෙනි. එම නිසාම සතිය අග වන විට මෙම අර්බුදය තාවකාලිකව යටපත් වුණු බවක් පෙනිණි කෙසේ නමුත් මීළඟ ජනාධිපති - විපක්ෂ නායක සාකච්ඡාවලින් අනතුරැව මීට විසඳුමක් නොලදහොත් අර්බුදය උග්‍ර වනු ඇත.

සමස්තයක් ලෙස විග්‍රහ කිරීමේ දී පොහොට්ටු ලකුණ සඳහා ශ්‍රීලනිපය කැමති කරවා ගැනීමට නම් පොදුජන පෙරමුණට ඇත්තේ එකම විකල්පයකි. එනම් ඉදිරි ආණ්ඩුවක දී ඔවුනට ලබාදීමට අපේක්ෂා කරන වරදාන හා වරප්‍රසාද වැඩි කිරීමයි. සැබෑ ගැටලුව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නොව වර්තමාන ශ්‍රීලනිප බලය දරන පාර්ලිමේන්තු කණ්ඩායමට බව මේ වන විට පැහැදිලිය. මේ අතර තවදුරටත් පැරණි දැවැන්තයන් පක්ෂය හැරයාමේ සූදානමක් පවතින බවට ද ආරංචි පැතිර යයි. ඇතැම් විට මෙය පොදුජන පෙරමුණ වාසියක් කොට ගැනීමට ද ඉඩ තිබේ. ශ්‍රීලනිප පාර්ශ්වයෙන් බලන විට පොහොට්ටුව ලකුණ අහෝසි කරවා ගැනීමට නම් ඔවුන් එකඟතාවයක් ගොඩනගාගත යුතු ප්‍රධානම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතාය. එසේම ඔවුන් පොදුජන පෙරමුණු හවුල්කාර පක්ෂ හා සාකච්ඡා ආරම්භ කර තවත් කවරකු හෝ ඔවුන්ගේ මතයට එකඟ කරගත යුතුය. වමේ නායකයෝ ඊට සුදුසු වෙති.

කෙසේ නමුත් අවසානයේ පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනාගතය මෙකී ලාංඡනය මත රුඳී පවතින බවකි. එජාපය සිය අපේක්ෂකයා සොයා තෝරාගැනීම පමාවීම නිසා දෙපාර්ශ්වයටම අවස්ථාවේ වාසිය මේ මොහොතේ අත්ව තිබේ. එජාප අපේක්ෂකයා තෝරාගැනීමට පෙර මෙම ගැටලුව නොවිසඳුණහොත් පොහොට්ටුව පසුබෑමකට ලක්වීමට ඉඩ ඇත.

► චමිඳු නිසල් 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00