2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ප්‍රභාකරන් බත් නොකෑ හේතුව

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 151

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා වූ හාර්දීප් සිං පූරී යාපනයේ දී ප්‍රභාකරන් හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට එහිදී ඔහුට ආරාධනයක් ලැබිණි. ප්‍රභාකරන් එම ඉල්ලීමට එකඟ විය. ඔහුට ඉල්ලීම් කිහිපයක් තිබිණි.

ඉන්දියාව බලා යන ගමනේ දී තම දේශපාලන සහායකයන් වන යෝගි හා තිලීපන්ට අතිරේකව කායාරක්ෂක භටයන් දෙදෙනකුන් හෝ තිදෙනකුන් කැටුව යාමට ඔහුට වුවමනා විය. මදුරාසියේ දී බාලසිංහම් තමන් හා එක්වීම ද ඔහුට අවශ්‍ය විය. ඔහුට තම බිරිඳ හා දරුවන් දෙදෙනා මදුරාසියට කැටුව යාමට ද වුවමනා විය. එහිදී තමන්ගේ දෙමාපියන් දැක බලා ගැනීමට තම බිරිඳට හා දරුවන්ට අවස්ථාව සලසා දීමට ප්‍රභාකරන් බලාපොරොත්තු විය. නවදිල්ලිය බලායාමට කලින් තමිල්නාඩු මහ ඇමැති එම්.ජී.ආර්. බැහැදැකීමට තමන්ට උවමනා බවද ඔහු කියා සිටියේය.

1987 ජූලි 24 වැනි දා හිමිදිරි පාන්දර වනවිට ප්‍රභාකරන් ඉන්දියාවට ගොඩබට පුවත ඉන්දියානු අගමැතිවරයාට හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබීය. ප්‍රභාකරන් සාම ක්‍රියාදාමයට පූර්ණ වශයෙන් සහභාගී කරවා ගැනීමට රජීව් ගාන්ධි විශේෂ උනන්දුවක් දැක්වීය.

ප්‍රභාකරන්ගේ ඉන්දියානු සංචාරයට අදාළ සියලු ගුවන් ගමන් ඉහළම රහසක් ලෙස තබාගන්නා ලදී. ඔහු නවදිල්ලියේ සාකච්ඡා සඳහා පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නො හික්මුණු පිරිස් දැන සිටියේ නම් ප්‍රභාකරන් ගමන් කළ ගුවන් යානයට වෙඩි තැබිය හැකිව තිබිණැයි ඉන්දියානුවෝ බියට පත්ව සිටියහ. පූරි, ප්‍රභාකරන්, ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහුගේ කායාරක්ෂක භටයන් ද රැගෙන ඒම සඳහා කොළඹ ආණ්ඩුවේ අවසරය ඇතිව ඉන්දියානු හෙලිකොප්ටර් යානා දෙකක් යාපනය බලා පියාසර කළේය.

හෙලිකොප්ටර් දෙක ගුවනට නැංවීමට මොහොතකට කලින් ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ සාමාජිකයෙකු වූ ශංකර් දුක්මුසු බැල්මකින් යුතුව පූරි වෙත පැමිණ “ඔබ අපගේ ජාතික සම්පත රැගෙන යනවා”යි. ඔහුගේ කනට කොඳුරා කීය.

“දිල්ලියේ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලය කුමක් වෙතත් ප්‍රභාකරන් මෙතැනටම රැගෙන විත් බස්සන බව මම මගේ ගෞරවයට ඔබින පරිදි ඔබට පොරොන්දු වෙනවා.”යි පූරි ඊට ප්‍රතිචාර ලෙස පැවසීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව වෙන්කෙරෙන මුහුදු තීරයට ඉහළින් ප්‍රභාකරන් ගමන් කළ ප්‍රථම වතාව එය විය. 1970 පටන් ඔහු බෝට්ටු මගින් බොහෝ වතාවක් මේ මුහුදු තීරයෙන් එතෙර මෙතෙර ගොස් තිබුණි. පැයකටත් අඩු කාලයක් තුළ හෙලිකොප්ටර් යානා තමිල්නාඩුවේ ට්‍රිචි නගරයට ගොඩබැසීය. මදුරාසිය බලා ඉක්මනින් යාම සඳහා සෑම කෙනෙක්ම ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සෝවියට් දේශයේ තනන ලද සවිමත් ඇනටොව් ප්‍රවාහන ගුවන් යානාවකට මාරුවිය.

ගුවන් තොටුපොළේදී පුවත්පත් වාර්තාකරුවෝ ප්‍රභාකරන් වට කරගත්හ. ජනමාධ්‍යවලට නම් එල්ටීටීඊ නායකයාට ඉන්දියාවට ඒමට ආරාධනා කිරීම ඉන්දියාව තුළ ඔහුගේ කණ්ඩායම නිල වශයෙන් පිළිගැනීමකට සමාන විය. නවදිල්ලිය පලස්තීන විමුක්ති සංවිධානයට හා අෆ්‍රිකානු ජාතික කොංග්‍රසයට ප්‍රදානය කර ඇති තත්ත්වයට සමාන තත්ත්වයක් එල්ටීටීඊයට ද ප්‍රදානය කළයුතුයැයි ප්‍රභාකරන් වසර ගණනාවක් තිස්සේ අවධාරණයෙන් ඉල්ලා සිට තිබුණි. සිය බිරිඳ හා දරුවන් එල්ටීටීඊ කාඩරවරුන් විසින් ඉවතට කැඳවා ගෙන යනු ලැබීමෙන් පසු ප්‍රභාකරන් බාලසිංහම් සමඟ එම්ජීආර් මුණගැසීම සඳහා ගුවන් තොටුපොළින් පිටත්ව ගියේය. උල්ලසිත හැඟීමක් රජයන්ට විය. බාලසිංහම් - කලින් වතාවක ඔහු ඉන්දියාවේ දේශීය ඔත්තු සේවා ඒජන්සිය වන බුද්ධි කාර්යාංශයට පවසා තිබුණු පරිදිම දිග්ගැස්සෙමින් තිබෙන ගැටුමට විසඳුමක් ඇති කර ගැනීමට එල්ටීටීඊය සූදානමින් සිටින්නේ යැයි පුවත්පත් වාර්තාකරුවකුට පැවසීය.

මදුරාසි ගුවන් තොටුපොළෙහි වූ ඉන්දියානු ගුවන් සේවයේ මගී විවේකාගාරය තුළ ප්‍රභාකරන් විනෝදකාමී විලාසයකින් පසු වනු දක්නට ලැබිණි. එහිදී පූරි හා ඔහු එක්ව දිවා ආහාර ගැනීමට ගියහ. ගරිල්ලා නායකයා ඔහු කැමති දෙයක් ඇණවුම් කරතැයි සිතමින් පූරි තමන්ට කුකුල් මස් ව්‍යංජනයක් සමඟ බත් ගෙන එන ලෙස දැනුම් දුනි. තිරිඟුවලින් සාදනු ලබන උතුරු ඉන්දියානු පැතලි පාන් විශේෂයක් වන චපාතිවලට තමන් වඩා කැමති යයි ප්‍රභාකරන් පැවසීය. “මම බත් කන්නෙ නැත්තේ කොකා ගස්සන ඇඟිල්ලට ඒක නරක විදිහට බලපාන නිසායි.” ඔහු මැඬගත් සිනවකින් යුතුව පැවසීය.

ගුවන් යානය මදුරාසියෙන් නවදිල්ලිය බලායාම සඳහා ගුවනට නංවත්ම ප්‍රභාකරන්ගේ විලාශය වෙනස් විය. හිටිවනම ඔහු කෙරෙන් කනස්සලු ස්වභාවයක් දිස්වන්නට වූයේය. “මම දන්නෙ නැහැ මම මේ හවුල්වෙන්ට යන්නේ මොකකට ද කියලා. තුවක්කුවේ ඉඳන් දේශපාලනේට මාරු වෙන එක ලෙහෙසි නැහැ.”යි ඔහු පූරිට පැවසීය. ඉන්දියානු තානාපතිවරයා ප්‍රභාකරන් සමඟ ස්වල්ප කතාබහක නිරතව සිටි නමුත් නවදිල්ලියේ කාර්යබහුල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුරකට ගුවන් යානය ගොඩබස්වන තෙක් වැඩිම කාලයක් ඔහුට සිතුවිලි සයුරේ ගිලී සිටින්නට ඉඩ හැරියේය.

(එම්.ආර්. නාරායන් ස්වාමි විසින් රචිත සේපාල විජේසේකර පරිවර්තනය කළ 2004 වසරේ පළවූ “ප්‍රභාකරන් - දුරවබෝධ මනසක ඇතුළාන්තය.” නම් කෘතියෙනි. විජිත යාපා ප්‍රකාශනයකි.)

(ජේ.එන් ඩික්සිත් මහතා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සමයේ එහි පළමු ලේකම්වරයා වූයේ හාර්දීප් සිං පූරිය. වත්මනෙහි ඔහු මෝදි රජයේ ඇමැතිවරයෙකි.)

► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා