2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

රුපියල් දෙසීයක් නොදුන්නොත් බස් දුවනවා බොරු

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

ගාලුපාරේ කොළඹ දෙසට පෞද්ගලික බස් රථයක් ධාවනය වෙමින් තිබිණි. කළුතර පාලම පසුවිය. ගාලුපාරේ කෙළවරක සිටි නිල් පැහැයට හුරු නිල ඇඳුමින් සැරසුන නිධාරීන් දෙදෙනෙක් බසය නවතන ලෙසට සංඥා කළහ. තරමක් ඉදිරියට වන්නට රියදුරු බසය නැවතීය. කොන්දොස්තර තරුණයා රියදුරු අසුන ඉදිරියේ වූ යමක් අතට ගෙන ක්ෂණිකව බසයෙන් බැස නිලධාරීන් දෙසට දිව ගියේය. ගතවූයේ ස්වල්ප මොහොතකි, ඔහු නැවතත් දුවවිත් පා පුවරුවට ගොඩවිය. රියදුරු බසය පණගන්වා නැවත කොළඹ බලා එන ගමන ඇරඹීය.

මෙය ගාලුපාරේ නිතර ගමන් බිමන් යන බොහෝදෙනා අත්විඳ ඇති අත්දැකීමකි. ඔබ බස් මගියෙක් නම් දිවයිනේ කුමන හෝ මාර්ගයකදී මේ නිල් කමිස ඇඳගත් නිලධාරීන් බසය නතර කළ අයුරු ඔබට දැන් සිහිවිය යුතුය. මේ සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට පෙර නිල් කමිස ඇඳගත් පිරිස කවුරුද යන්න ඔබට පැහැදිලි කළ යුතුය. මේ පෞද්ගලික බස් ධාවනයේ ගුණාත්මකභාවය ප්‍රමිතිය නීත්‍යානුකූලභාවය පරික්ෂා කිරීමට සිටින පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීයේ නිලධාරීන්ය. ඔවුන් මාර්ග පරීක්ෂකවරුන් ලෙස හඳුන්වන ලබන අතර මේ පිරිස මහජන මුදලින් වැටුප් ලබති. මෙම පිරිසට මෙරට අතිමහත් බහුතර පෞද්ගලික බස් සම්බන්ධ විශාල වගකීමක් පැවරී තිබේ. ප්‍රධාන වශයෙන් මගී ප්‍රවාහනයට අදාළ බලපත්‍ර තිබේදැයි පරීක්ෂාව, මගී ප්‍රවාහනයට බස් රථයේ උචිත අනුචිත බව පරීක්ෂාව, නිසි පරිදි ටිකට් නිකුත් කරන්නේද යන්න පරීක්ෂාව ඉන් කිහිපයකි.

එහෙත් මෙවන් පරීක්ෂාවන් එම නිලධාරීන් සිදුකරනවා බස් මගීන් ලෙස ඔබ දැක ඇද්ද? කොන්දොස්තර ළමයා දිවගියේ ලොග් සටහන් රැගෙනය. ඒ නිකම්ම නොවේ. ඒ තුළ රුපියල් දෙසීයක් කලින්ම තබා තිබුණි. නිල් කමිසකරුවන් හමුවී ඔහු ක්ෂණිකව බසයට පැමිණියේ ඒ නිසාය. අපට මේ කතාව අනාවරණය කළේ බස් හිමියන් කිහිප දෙනෙක් සහ රියැදුරන් කිහිප දෙනෙක් විසිනි.

“දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා. ඒක දෙන්නම ඕනෑ. පාරේ ඉන්නවා දැක්කම අපි කලින්ම ලෑස්ති වෙනවා. ගේමක් ඉල්ලුවොත් ලෙඩ ගොඩයි. මොනවා හරි වරදක් අල්ලලා ලියනවාම තමා. ඇත්ත මේකයි. අපිටත් පරක්කු වෙන්න බෑනේ.”

ගාලු පාරේ බස්රථ රියදුරෙක් අපට මෙම වංචාව සරලව පහදන්නට විය. ඔහුට අනුව මෙම නිලධාරීන්ට ඕනෑම මොහොතක දඩයක් ලබාදීමට තරම් වැරදි පුද්ගලික බස් රථවල තිබේ. අනෙකක් තබා ආසනවල සැකැස්ම, බස් රථයේ අලවා ඇති ස්ටිකර්වලට පවා ඔවුන්ට  දඩ ලබාදිය හැකි බව ඔහු පවසයි. එම නිසාම රුපියල් දෙසීය ලබාදීම හිතකර වෙයි. මෙම පරීක්ෂකවරුන් කරන තවත් අක්‍රමිකතාවක් අපට හෙලිකළේ බස් රථ හිමියකි.

“ඔරිජිනල් පර්මිට් එක අපි බස් එකේ තියාගන්නේ නෑ. අපි ඒකට පළාත් සභාවෙන්ම දීපු කහපාට ලේබල් එක ගහපු කොපිය තමා බස් එකේ තියෙන්නේ. ඒකෙන් බස් එක දුවන්න පර්මිට් තියෙන බව කියලා සහතික කරගන්න එයාලට පුළුවන්. ඒත් ඔය කහ ලේබල් එකට දඩ දෙන්නමයි මෙයාලා හදන්නේ. අනික දඩේ දුන්නට ඒක ගෙවන්න ගියාම ඔෆිස් එකේ තියෙන කොළේට ඒක ඇවිල්ලා නෑ. ඉතින් අපිට ගෙවන්න වෙන්නේ නෑ. ඒත් කාලයක් ගියාම දඩේ පෙන්නනවා. එතකොට ප්‍රමාද ගාස්තුත් ගහලා. අපි ඒකත් ගෙවන්න ඕනා. මේ අයගේ කිසි පිළිවෙළක් නෑ.”

කෙසේ වෙතත් සියලු නිලධාරීන් හොරුන් වංචාකාරයන් ලෙස හැඳින්වීමට අපට නොහැකිය. එහෙත් බොහෝදෙනා අක්‍රමිකතා සිදුකරන බවට පෞද්ගලික බස් ක්ෂේත්‍රයෙන් චෝදනා එල්ලවෙයි. මේ අතර අප කතාබස් කළ තවත් රිය සහායකයෙක්ට අනුව ඉරිදා දිනවල සහ පෝය දිනවලද නිල ඇඳුම් ඇඳගත් මෙම පිරිස රාජකාරියේ නිරතව සිටිති. බස් හිමියෝ සැකකරන්නේ මේ නිවාඩු දිනවල මුදල් ඉපයීම පිණිසම මෙලෙස ඔවුන් පැමිණෙන බවයි. කෙසේ වෙතත් ඔවුන් සමඟ ගැටුමකට යන්න හෝ ඔවුන් සම්බන්ධව පැමිණිලි කරන්න මේ කිසිවෙක් උත්සුක නොවේ.

එනිසාම අප පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් මේ සම්බන්ධව විමසුවෙමු. ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.

“පහුගිය කාලේ අපි මේ කාරණාව පත්වෙන හැම සභාපතිවරයෙක්ටම කිව්වා. මාර්ග පරීක්ෂකයෝ ටිකට් පරීක්ෂණ කරනවා නම් බස් රථයේ ඇතුළට ඇවිල්ලා පරීක්ෂණ කරන්න කියලා. අපි සංගමයක් විදිහට මේ සම්බන්ධව සියලු දේවල් දිගින් දිගටම දැනුම් දීලා තිබෙනවා. ගස් යට ඉඳන් කරන මේ පරීක්ෂාව හරහා වෙන්නේ තනිකර මංකොල්ලකෑමක් තමයි. බස්රථය ඇතුළට ඇවිල්ලා බලපත්‍ර පරීක්ෂාව ඇතුළු සියලු පරීක්ෂාවන් කරන්න පුළුවන්. තවත් අක්‍රමිකතා රාශියක් වෙනවා. බොහෝදුරට බස් රථවල රූට පර්මිට් එක බස් එකේ තියන්නේ නෑ. ඒක අස්ථානගත වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් වලංගු කොපියක් තියනවා. ඒත් අධිකාරිය විසින්ම නිකුත් කරපු ලේබල් ඒකේ තිබෙනවා. එත් මේ අය ගණන් ගන්නේ නෑ. ලොග් ෂීට් එකේ දාල රුපියල් දෙසීයක් දෙනවා. එතකොට ටිකට් පරීක්ෂා කරන්නේත් නෑ. මුකුත් නෑ. බස් දහයකින් ගත්තොත් දෙදහයි. බස් පනහකින් ගත්තොත් කීයක්ද?”

ඔහුගේ ප්‍රකාශයට අනුව ඉහළ නිලධාරීන් වෙත මෙම ගැටලුව පිළිබඳ ඔවුන් පැමිණිලි කර තිබේ. එහෙත් මේ දක්වා ඊට විසඳුමක් ලැබී නැත. කෙසේ වෙතත් කිසිවෙක් මේ සම්බන්ධව විශේෂයෙන් නොතකන බවක් මේ හරහා අවබෝධ විය. එහෙත් වංචාවට අල්ලසට ඉඩදීම සුළුකොට තැකීම විශාල වරදක් බව කිව යුතුය. එම නිසාම අප මේ පිළිබඳව මාර්ග ප්‍රවාහන අධිකාරියෙන් විමසුවෙමු.

එහිදී අපට සම්බන්ධ වූයේ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන කුමාර විජේරත්නායක මහතාය. ඒ මහතා මේ සම්බන්ධව අපට දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.

“මාර්ග පරීක්ෂක නිලධාරීන් බස්රථ පරීක්ෂා කිරීම සම්බන්ධව සේවයේ යොදවනවා. එහිදී බස් රථ අපේ නීතිරීතිවලට පටහැනිව ධාවනය වෙලා තිබුණොත් අපි දඩ නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. විශේෂයෙන්ම මාර්ග බලපත්‍ර, අදාළ මාර්ගයේ ධාවන වීම, ප්‍රවේශපත් නිකුත් කිරීම, බස් රථයේ යෝග්‍යතාවයේදී වැරදි 22ක් යටතේ අපිට දඩ නිකුත් කිරීමේ බලය තිබෙනවා.

දැන් මෙතැන මුදල් ලබාගැනීම සම්බන්ධ ගැටලුවක් මතුවෙනවා. නමුත් කිසිම අවස්ථාවක එහෙම මුදල් ගනුදෙනුවක් සිදුකරන්න බෑ. මාර්ගයේදී අනාවරණය කරගන්නා වැරදි සඳහා එම අවස්ථාවේදීම දඩ පත්‍රිකාවක් නිකුත් කළ යුතුයි. ඒ දඩ පත්‍රිකාවට අදාළ දඩය ගෙවිය යුතු වෙන්නේ ප්‍රාදේශීය කාර්යාලවලට. වෙනත් ආකාරයක මුදල් ලබා ගැනීමක් හෝ මුදල් ලබාදීමක් මෙහිදී සිදුකරන්න බෑ.

යම් කොන්දොස්තර කෙනෙක් රියදුරෙක් චෝදනා කරනවා නම් මාර්ග පරීක්ෂකවරුන් මුදල් ගත්තා කියලා එය අපේ ප්‍රදේශීය කාර්යාලයට හෝ ප්‍රධාන කාර්යාලයට එසේත් නැතිනම් සභාපතිතුමාට ඕනෑම අවස්ථාවක පැමිණිල්ලක් කළ හැකියි. එවිට ඒ සම්බන්ධව විමර්ශනයක් කරලා අදාළ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න අපිට හැකියාවක් තිබෙනවා. මීට ඉහතදී එවන් තත්ත්වයන් අපිට වාර්තා වෙලා අදාළ ක්‍රියාමාර්ග අපි අරගෙන තිබෙනවා. දැනට අපිට තිබෙන ප්‍රශ්නය නිශ්චිතව පැමිණිලි නැති එක. චෝදනා තිබ්බාට සාක්ෂි නැති එක අපිට තිබෙන තවත් ගැටලුවක්.”

අවසානයේ මෙම නිල් කබාකරුවන්ගේ අල්ලස් කතාවේ අගමුල පැහැදිලි වී ඇත. අවශ්‍යව තිබෙන්නේ නීතිගරුක ඔබගේ මැදිහත්වීමයි. ඕනෑම වංචාවක් ඉදිරියේ පසුබෑම සමස්ත පරපුරකට කරන හානියක් බව සැමදෙනකුම අවබෝධ කර ගතයුතුය. අනෙක් අතට අල්ලසෙන් උපයන මුදල් වසවිස හා සමාන බව දූෂිතයන් ද අවබෝධ කර ගත යුතුය.

චමිඳු නිසල් ද සිල්වා