2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

මිල්කෝ පිටිකිරි - බටර් - චීස් වෙළෙඳපොළෙන් අතුරුදන්

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 145

1956 වසරේදී ජාතික කිරිමණ්ඩලය පිහිටුවීමේ පරමාර්ථය වූයේ ජාතියේ දරුවන්ගේ මන්දපෝෂණය දුරැකිරීම සහ කිරි ගොවියා නගා සිටුවීමය. කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පාර්ලිමේන්තු පනතක් මගින් මෙම ආයතනය ස්ථාපිත කර තිබුණි. 1986 වසරේදී ජාතික කිරි මණ්ඩලය අහෝසිකර සීමාසහිත මිල්කෝ සමාගම පිහිට වූ අතර, එය 1998 දී පැවැති රජය මගින් ඉන්දියාවේ කිරියා සමාගමට විකුණා ඇත. එම සමාගම වසර දෙකක් පමණ පවත්වාගෙන යනවිට සේවක උද්ඝෝෂණ ඇතිවීම නිසා ඉන්දියානු කළමනාකාරීත්වය ඉවත්කර යළි රජයට පවරා ගන්නට යෙදුණි.

මේ වනවිට පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය යටතේ මෙම ආයතනය “මිල්කෝ ප්‍රයිවෙට් ලිමිටඩ්” ලෙස පවත්වාගෙන එයි. එය සීමාසහිත සමාගමක් ලෙස නම්කර තිබුණද ඇත්තවශයෙන්ම එහි කොටස්වලින් සියයට සියයක්ම රජය සතුව පවතින නිසා සමාගමක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැත. එසේ වුවද මේ දක්වා පැවැති පාලකයන්ගේ වෙනත් පටු අපේක්ෂා ඉටුකර ගැනීම සඳහා පූර්ණ වශයෙන් රජයට හිමි මෙම ආයතනය තවදුරටත් සීමිත සමාගම් ලේබලය යටතේ පවත්වා ගෙන එයි. රට කිරිපිටිවලින් ස්වයංපෝෂිත කර පිටරටට ඇදෙන විදේශ විනිමය රටේ රඳවා ගැනීමේ වගකීමද ඇත්තේ මිල්කෝ ආයතනයටය.

මෙය එලෙස පවත්වා ගෙන ඒම නිසා විවිධ දූෂණ හා අවිධිමත් කටයුතුවලට යොදා ගැනීමට පහසු වී ඇති බව සේවකයෝ පවසති. සේවකයන් පවසන්නේ 2015 වසරේ යහපාලන ආණ්ඩුව ඇතිවීමෙන් පසු මෙම ආයතනයේ දූෂණ වංචා ඔඩු දුවා ඇති බවය.

අන්තර් සමාගම් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සෝමදාස වීරතුංග පවසන්නේ ආයතනයට පත්කර ඇති අධ්‍යක්ෂ මණ්ඩලය අමාත්‍යවරයා මාරු වූ පසු ඉබේටම අහෝසි වී නව අධ්‍යක්ෂවරුන් පත්වීම සාමාන්‍ය ස්වභාවය වුවද මෙහි පමණක් එසේ සිදු නොවී ඇති බවය. හිටපු ඇමැති පී. හැරිසන්ගෙන් පසු රංජිත් මද්දුමබණ්ඩාර පශු සම්පත් ඇමැති ලෙස පත්වුවද මුල් ඇමැති යටතේ පත්කර තිබූ සභාපති, උප සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය තවමත් පවත්වා ගෙන යන බව ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා පවසයි. මේ තත්ත්වය නිසා එහි වංචා දූෂණ සහ අවිධිමත් ක්‍රියා වඩ වඩා වර්ධනය වී තිබේ. තවමත් සභාපති ලෙස කටයුතු කරන කීර්ති මිහිරිපැන්න සහ සාමාන්‍යාධිකාරී සුගත් මුණසිංහ යන අයවලුන් විසින් කරනු ලැබ ඇති එක් නීති විරෝධී ක්‍රියාවක් වන්නේ තමන්ට හිතවත් සේවකයන්ට පෙරදාතම් කර පත්වීම් සහ උසස්වීම් ලිපි ප්‍රදානය කිරීමය. නව ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර පත්වූයේ 2019 අගෝස්තු 26 වන දිනයේ වන අතර, 2019.07.22 දිනය යොදා සකස් කළ පත්වීම් සහ උසස්වීම් ලිපි මෙම සේවකයන්ට ජූලි 30දා පමණ ප්‍රදානය කර තිබේ. මෙලෙස පත්වීම් දීම අවිධිමත් වන අතර නීත්‍යානුකූලද නොවන බව හෙතෙම පෙන්වා දෙයි.

රාජ්‍ය ආයතන නිලධාරීන් වෙනත් ආයතනවල ව්‍යාපාර කිරීම නීත්‍යානුකූල නොවන නමුත් සභාපති කීර්ති මිහිරිපැන්න තමාගේ විගණන සමාගමක් කොළඹ ගලධාරි හෝටලයේ පවත්වාගෙන යයි. එසේම උප සභාපති අමෙරිකානු ජල බෝතල් ව්‍යාපාරයක් කරගෙන යන අතර, ඔහුට හෝමාගම, කටුවන ප්ලාස්ටික් සමාගමක් තිබේ. මිල්කෝ ආයතනයට එළඟිතෙල්, ටින්කිරි, එළඟිතෙල් සඳහා අවශ්‍ය කෑන් සපයන්නේ මෙම සමාගමෙන් බව උප සභාපති කියයි. මිල්කෝ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකුට එම සමාගම සමඟ ව්‍යාපාර කිරීමට අයිතියක් නොමැති අතර මෙලෙස සපයන ප්ලාස්ටික් බඳුන් ප්‍රමිතියෙන් බාල අතර, ඒවායේ ස්ටිකර් ඇලවීමටද නොහැකි නිසා මෙයින් විශාල අවාසියක් ආයතනයට සිදුවන බවටද චෝදනා එල්ල වෙයි.

මෙම අධ්‍යක්ෂ මණ්ඩලය කරන තවත් දූෂණයක් වන්නේ කොමිස් ලබා ගැනීමේ පරමාර්ථයෙන් “මොබිටෙල්” සමාගම ඉදිරිපත් කළ මිල ගණනට වැඩි මිලට ටෙන්ඩර් පරිපාටියෙන් තොරව ඩයලොග් සිම් පැකේජයක් රුපියල් 600 බැගින් මිලට ගෙන ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු නිලධාරීන්ට පසුගිය අප්‍රේල් මසදී නිකුත් කිරීමය. ඒවා පාවිච්චි කරන ලෙසට බලපෑම් කරන අතර, ඇතැම් නිලධාරීන්ගේ විරෝධතා නිසා තවමත් එම මුදල් ගෙවා නැති බවද කියති.

“පසුගිය මාසයේ ලේලන්ඩ් සාමගමෙන් ලොරි තුනක් මිලට ගෙන තිබෙන්නේ සභාපතිවරයාට සම්බන්ධ PanAsia බැංකුවෙන් ගත් ණය මුදල්වලින් ගෙවීමේ බලාපොරොත්තුවෙන් මෙයද කිසිදු ටෙන්ඩර් පරිපාටියකින් තොරව කළ මිලදී ගැනීමක්.”

වීරතුංග මහතා පවසන්නේ දැනට සමාගමට සපයන කිරිවලට ගොවියාට මුදල් ගෙවීමේ විශාල ප්‍රමාදයක් ඇති බවයි. ඒ නිසා ගොවීන් මිල්කෝ සමාගම කිරි ලීටරයට ගෙවන රුපියල් 65 මිලට වැඩියෙන් පෞද්ගලික සමාගම්වටල විකිණීමට යොමුව ඇති බවද ඔහු කියයි.

“මාසයකට ගොවියාට වාරික දෙකකින් සල්ලි ගෙවන ක්‍රමයක් තමා තියෙන්නේ. මාසයේ 1 සිට 15 දක්වා සපයන කිරිවලට 20 වැනිදා මුදල් ගෙවන අතර 15 සිට 31 දින දක්වා සපයන කිරිවලට ඊළඟ මාසයේ 10දා මුදල් ගෙවීම තමයි සම්ප්‍රදාය ලෙස පැවතුණේ. එහෙත් මේ වනවිට එසේ නොගෙවීම නිසා මාස දෙකකට වාරික 4ක් හිඟව තියෙනවා. 2015 පසුව තමා මේ තත්ත්වය ඇතිවුණේ. විජයමුණි සොයිසා ඇමැතිව සිටි සමයේ මෙම හිඟ මුදල් මාස 6කට අධිකව තිබිලා ඒ සියල්ල ගෙවා දැම්මා. 2019 පෙබරවාරි මාසයේ හැරිසන් ඇමැතිවරයා වූවාට පසු යළිත් හිඟ මුදල් ඉහළ ගොස් තියෙනවා. මේ නිසා අවශ්‍ය කිරි ලබා ගැනීමද මේ වනවිට ගැටලුවක් වෙලා.” ඔහු කියයි.

මිල්කෝ සමාගම හයිලන්ඩ් කිරිපිටිවලට අමතරව ප්‍රෙෂ් මිල්ක්, යෝගට්, අයිස් ක්‍රීම්, කල්කිරි, ටින් කිරි, මුදවපු කිරි, කිරි පැකට්, වැනිලා චොකලට්, චීස්, බටර්, එළඟිතෙල් ආදියද නිෂ්පාදන කරන අතර දැනට පවතින අයහපත් කළමනාකරණය නිසා මෙම සියලු නිෂ්පාදන අඩාල වී තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

“මෙම ආයතනය පිහිටුවීමේ පරමාර්ථය වූයේ ලාභ ලැබීමට වඩා හොඳ නිෂ්පාදන ජනතාවට දෙන්නයි. එහෙත් දැන් කටයුතු කරන්නේ එම අපේක්ෂාව මුළුමනින්ම අමතක කරලයි. මෙයට පෙර මිල්කෝ ආයතනය කටයුතු කළේ උපරිම ධාරිතාවෙන් නිෂ්පාදනය වෙළෙඳ පොළට නිකුත් කිරීමටයි. දැන් අපේ කිරි Tulip Lanka කියන පුද්ගලික ආයතනයට දීලා ඒ අයගේ යන්ත්‍රවලින් තමා හයිලන්ඩ් කිරි නිපදවන්නේ. මෙහිදී කිරි පැකට් පෙට්ටි සහ ලේබල් ආදියද ඒ අයගෙන් තමා ගන්නේ. ඒ සඳහා අතිරේකව පැකට්ටුවකට රුපියල් 10-15 අතර වැයවෙනවා. පසුගිය සමයේ Tulip Lanka සමාගම තුළදී අපේ කිරිවලින් තැනූ ලීටර් පැකට් 50,000ක් නරක් වී අපතේ ගියා. එය රහසක් ලෙස තබා ගන්නයි උත්සාහ කළේ.

රුපියල් 50 බැගින් විකුණන මිල්කෝ කිරි පැකට්වලට ලොකු වෙළෙඳපොළක් නොමැති අතර රුපියල් 35 බැගින් විකුණන වෙනත් පිටත ආයතනවල නිෂ්පාදනවල ඉල්ලුම වැඩියි. දැනට අපේ කිරිපිටි සහ බටර් චීස් ආදී නිෂ්පාදන කෙළින්ම කීල්ස් වැනි සුපිරි සමාගම්වලට දෙන්නේ කොමිස් ලබා ගැනීම සඳහායි. ඉස්සර වගේ දැන් ගමේ කඩයකින් අපේ නිෂ්පාදන ලබාගත නොහැක්කේ මේ නිසාය.

අපේ නිෂ්පාදන සීමාකර ඇති නිසා දැන් ඉල්ලුමට අනුව සැපයීම කළ නොහැකියි. සභාපතිට හිතවත් අයට තමා වැඩිපුර දෙන්නේ. මොරටු ප්‍රදේශයේ සිටින හමුදාවලට අපේ නිෂ්පාදන සපයන සැපයුම්කරුවකුට සභාපතිවරයා විශේෂ සහන සලසා තිබෙනවා. ඔහු අපේ නිෂ්පාදනාගාරවල සිට අවශ්‍ය දේවල් ඔහුගේ වාහනවල ප්‍රවාහනය කළයුතු නමුත් මිල්කෝ වාහනවල නිෂ්පාදන ප්‍රවාහනය කර දෙනවා. මොහුට අයිස්ක්‍රීම් ලීටර 12-24 වගේ මෙන්ම යෝගට් කෝප්ප 100-200 වගේ සුළු ප්‍රමාණද අපේ වාහනවලින් ප්‍රවාහනය කරදීම විශාල අපරාධයක්. ඔහුට අයිති පෞද්ගලික වෙළෙඳසලකටද මෙලෙස භාණ්ඩ ප්‍රවාහනය කරන බව දකිනවා.

පාසල් ළමුන් සඳහා දියර කිරි බෙදාහැරීමේ වැඩසටහන් ජනාධිපතිගේ උනන්දුව නිසා ක්‍රියාත්මක වන අතර, 2014 වසරේ සිට මේ සඳහා කිරි සැපයුවේ මිල්කෝ ආයතනයයි. එහෙත් දැන් බස්නාහිර හා වයඹ වැනි විශාල ලෙස සැපයිය හැකි පළාත්වල කිරි සැපයීම කාගීල්ස් සමාගමට දී ඇත. මේ නිසා පාසල් සිසුන් මගින් මිල්කෝ නිෂ්පාදන ප්‍රචාරය කිරීමට තිබූ අවස්ථාවද වුවමනාවෙන්ම ගිලිහී ගොස් ඇත. දැනට මිල්කෝ ආයතනය බෙදන්නේ කුඩා ප්‍රමාණයක් අවශ්‍ය දුර පළාත්වල දුෂ්කර පාසල්වලටයි. අඩු පිරිවැයක් දැරිය හැකි පාසල් කාගීල්ස්වලට දී මිල්කෝ ආයතනය වැඩි පිරිවැයක් දැරිය යුතු දුර පළාත්වලට ප්‍රවාහනය කරනවා.

පසුගිය කාලයේ නිෂ්පාදන ධාරිතාව අඩු නිසා ලක්ෂ 13ක පමණ කිරි කාණුවලට හලන්නට සිදුවුවත් දැන් එසේ සිදු නොවේ. ඒ කාලයේ අපේ පැක්ටරි හතරේම නිෂ්පාදන ධාරිතාව ලක්ෂ 3 ½ - 4 අතරේ වූ අතර අද වනවිට ලක්ෂ 7ක් වී ඇත. එහෙත් අද ගැටලුව වී ඇත්තේ අවශ්‍ය තරම් කිරි නොලැබීමයි. ගොවීන් අපේ ආයතනයට කිරි දීම අඩුකර ඇත්තේ ලීටරයට ගෙවන මිල අඩුවීම සහ මුදල් ලබාගැනීමේ ප්‍රමාදය නිසයි. අද වනවිට වයඹ පළාත් පමණක් ගොවියාගෙන් කිරි ගන්නා පෞද්ගලික ආයතන 7ක් බිහිවී තිබෙනවා. ඔවුන් දින 5කින් මුදල් ගෙවන නමුත් අපි ගෙවන්නට මාස ගණන් ප්‍රමාද කරන නිසා අපට ලැබෙන කිරි ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. වයඹ පළාතෙන් පසුගිය 2016-17 වර්ෂවල කිරි ලීටර් 50,000 පමණ අපට ලැබුණ නමුත් අද ඒ ප්‍රමාණය දිනකට 27,000 දක්වා අඩුවෙලා.

මෙම වංචා දූෂණ පිළිබඳ වෘත්තීය සමිති විසින් කෝප් සභාවට සහ FCID ආයතනයටද අල්ලස් කොමිසමටද පැමිණිලි කර ඇති අතර විගණකාධිපතිද මේ පිළිබඳ විමර්ශනයක් කර වාර්තාවක් නිකුත් කර තිබේ. මෙහි සිදුව ඇති සමස්ත මුදල් අවභාවිතය හා වංචා කිරීම්වල අගය රුපියල් කෝටි 1000 ඉක්මවා තිබෙන බව වෘත්තීය සමිති කියයි. පාලනාධිකාරියේ වැඩපිළිවෙළට එරෙහි වන සේවකයන් දඩයම් කිරීම දිගටම කරගෙන යයි. වෘත්තීය සමිති නිලධාරීන් මාරු කිරීම, වැඩ තහනම් කිරීම හා සේවයෙන් පහ කිරීම සිදුවේ. ආසන්නතම උදාහරණය වන්නේ මිල්කෝ ආයතනයේ දූෂණ විරෝධී සේවක සංවිධානයේ සභාපති රොහාන් ගුණසේකරට අසාධාරණ චෝදනා පදනම් කරගෙන සේවයෙන් පහකර තිබීමය. ඒ පිළිබඳ දැනටමත් නුවර කම්කරැ උසාවියේ නඩු පවරා ඇති අතර ජනාධිපති සහ අගමැති ඇතුළු වගකිවයුත්තන්ට පැමිණිලි කර තිබෙන බවද හෙතෙම පවසයි.

මෙම ආයතනයට එරෙහිව ගොඩනැගෙන පැමිණිලි පිළිබඳව එහි සභාපති කීර්ති මිහිරිපැන්නගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවැනි සුළු දේවල් පිළිබඳ කාලය මිඩංගු කිරීමට තමාට ඉඩ නැති නිසා සාමාන්‍යාධිකාරී අමතන ලෙසය. සාමාන්‍යාධිකාරී සුගත් මුණසිංහගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ මේ ගැන කරුණු රැසක් පැවසීමට ඇති නිසා දිනයක් වෙන්කර ගෙන කාර්යාලයට පැමිණ තමා හමුවන ලෙසටය.

යසවර්ධන රුද්රිගු