2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

බෝම්බ සහරාන්ට කෝටි ගණන් සල්ලි දුන්නේ කවුද?

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරය දස වසරකට ආසන්න කාලයක් පුරා මෙරට පැවැති  සාමකාමී වාතාවරණය බිඳ දැම්මේය. මෙම අගෝස්තු 21 වැනිදාට එම ප්‍රහාරයට සිව් මසකි. ඉන් මියගිය සංඛ්‍යාව 250කට අධිකය. ඉන් තුවාල ලැබූවන් හා ආබාධිත තත්ත්වයට පත්වූවන්ද විශාල පිරිසකි.

එම ප්‍රහාරයේ මහ මොළකරු වූයේ තව්හීද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම්ය. ඔහු යටතේ පුහුණුව ලද පිරිස් මේ වනවිට අත්අඩංගුවට ගැනෙමින් පවතියි. පසුගිය 15 දින සහරාන් යටතේ අවි පුහුණුව ලද තවත් තිදෙනෙක් නුවරඑළිය හා හම්බන්තොට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් නමැති සංවිධානයේ සාමාජිකයන් බව පැවසෙයි. 

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකරන ලද්දේ සහරාන් සහ ඔහුගේ සොහොයුරු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් විසිනි. මේ දිනවල සහරාන්ගේ සහ ඔහුගේ සොහොයුරාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවැත්වේ. සහරාන්ගේ බිරිය වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන්  කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා පැය දෙකක රහස් ප්‍රකාශයක්ද ලබාගෙන තිබේ. සහරාන්ගේ ත්‍රස්ත සංවිධානයට අයත් සියලු පුද්ගලයන් පාහේ අත්අඩංගුවට පත්ව ඇතැයි රජය ප්‍රකාශ කරන අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසන්නේ තවත් 50%ක් පමණ අත්අඩංගුවට ගැනීමට සිටින බවය.

වහබ්වාදය ලෙසින් හඳුන්වන අන්තවාදය ප්‍රචාරය කරමින් සාම්ප්‍රදායික මුස්ලිම් ආගමටද තර්ජනයක් වූ සහරාන්ගේ තව්හීද් ජමාත් සංවිධානය අයි.එස්.අයි.එස්. නමැති ත්‍රස්ත සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි අනාවරණ වී තිබිණි. ජාතික තව්හීද් ජමාත් සංවිධානය ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයෙක් කැඩී ගිය පිරිසකි. ඉස්ලාමය ලොව පුරා ව්‍යාප්ත කිරීම සඳහා ශුද්ධ වූ යුද්ධයක් (ජිහාඩ්) වෙනුවෙන් ඔවුහු කැපවී සිටිති. ඉස්ලාම් නොවන සෙසු ආගම් සියල්ල විනාශ කිරීම ඔවුන්ගේ අරමුණය.

රටපුරා සිටින සිටින තරුණයන් තම සංවිධානයට බඳවාගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම පිණිස ඔවුන් පුහුණු කිරීම සඳහා රටේ විවිධ ප්‍රදේශවල පුහුණු කඳවුරු පවත්වාගෙන යෑම සඳහා සහරාන්ගේ ත්‍රස්ත සංවිධානයට විශාල වශයෙන් විදේශ මුදල් ලැබී ඇතැයි අනාවරණ වී තිබේ. ඔවුන් සතු රැපියල් මිලියන 140ක මුදලක් සොයා ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සමත් විය. මුදල් වශයෙන් ඉන් කොටසක් සොයාගන්නා ලද අතර තවත් කොටසක් බැංකු ගිණුම් 41ක තැන්පත් කර තිබිණි. ඔවුන් සතුව රැපියල් කෝටි 750ක් පමණ වටිනා වත්කම් ඇති බවද අනාවරණ විය.  එයට කර්මාන්තශාලා, නිවාස, ඉඩකඩම්, මැණික් සහ රන් ආභරණ ඇතුළු දේපළ රුසක් ඇතුළත්ය. මෙම වත්කම් සියල්ල තහනම් කිරීමට රජය කටයුතු කළේය. ඒ අතර ෂැංග‍්‍රිලා හෝටලයේ බෝම්බය පුපුරවාගෙන දිවි නසාගත් මොහොමඩ් ඉන්සාම්ට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව හා දෙමටගොඩ පිහිටි සුවිසල් නිවස සහ තවත් ඉඩකඩම් විශාල ප‍්‍රමාණයක්ද විය.

සහරාන් පිළිබඳව ප්‍රථමයෙන් අනාවරණ වූයේ 2017 කාතන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව අතර ඇතිවූ ගැටුමකිනි. ඊට පාදක වූයේ එම ප්‍රදේශයේ සාම්ප්‍රදායික මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් කිහිපදෙනෙකු අන්තවාදී දේශනයක් පැවැත්වීමට උත්සාහ කළ අවස්ථාවේ සාම්ප්‍රදායික මුස්ලිම්වරැ ඊට එරෙහිවීමත් සමගිනි. සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ පහරදීම මත සාම්ප්‍රදායික මුස්ලිම් වැසියන් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.

සහරාන්ගේ අන්තවාදී හැසිරීම් නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට මුස්ලිම් සංවිධාන හා දේශපාලනඥයන් පොලීසියට පැමිණිලි කළ අතර ඔහු නීතියෙන් සැඟවී සිටියේය. පාස්කු ප්‍රහාරය සිදුකරන තෙක් සහරාන් යටිබිම්ගත ජීවිතයක් ගත කළ බව පැවසේ. ඔහු මඩකලපුව කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරැවෙක් විය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉස්ලාම් ආගම පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ ඔහු කාතන්කුඩි ප්‍රදේශයේම පිහිටි ෆලාහ් මද්‍රසා නැමැති ආයතනයේ වැඩිදුර අධ්‍යාපනය ලබා තිබේ. 

කුරැණෑගල ප්‍රදේශයේ කාන්තාවක හා විවාහ සිටි සහරාන් ඉස්ලාම් ආගමට එරෙහි අන්තවාදී ආගමික අදහස් හා මතදැරීම හේතුවෙන් ඔහුගේ ඥාතීන් හා හිතවතුන් ඔහු හා එතරම් යහපත් සබඳතාවක් පවත්වා නොමැත. වරක් කාතන්කුඩි ප්‍රදේශයේ තරැණයකු විසින් සිදුකරන ලද වරදකට අරාබි රටවල දෙන දඬුවම් දීමට ඔහු උත්සාහ කර තිබේ. ඔහු දැඩි අන්තවාදියකු බවට අනාවරණ වූයේ එම සිදුවීමත් සමඟිනි.

පසුගිය දෙසැම්බර් 26 දින හා ඊට ආසන්න දිනවල මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කිහිපයක් කඩා දැමීම පිටුපස සිටියේද සහරාන් බව අනාවරණ විය. සහරාන්ගෙන් පසු තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා කවුදැයි බුද්ධි අංශවලට මෙතෙක් අනාවරණ වී නොමැති යැයි පැවසේ. නවුෆර් මව්ලවී නමැත්තා එහි නව නායකයා යැයි පැවසුණද ඔහුද දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් විය.

මේ වනවිට ජාතික තව්හීද් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන අති විශේෂ ගැසට් නිවේදනක් මඟින් තහනම් කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00