2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ඉන්දියාවේ අලුත්ම බෞද්ධ ප්‍රාන්තය සුන්දර ලඩාක්!

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 779

ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් (union territory) ලෙස නම් කිරීමට එරට ආණ්ඩුව පියවර ගත්තේ මේ නොබෝදාය. උතුරු ඉන්දීය දේශ සීමා ආසන්නයේ ජම්මු කාෂ්මීරයට අයත්ව තිබූ ලඩාක්හි ජනගහනයෙන් බහුතරය බෞද්ධයන්ය. මේ අනුව ලඩාක් ඉන්දියාවේ ප්‍රථම බහුතර බෞද්ධ ජනගහනයක් සහිත ප්‍රාන්තය බවට පත්ව තිබේ. ලඩාක් ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 59 196ක් හෙවත් සමස්ත ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට බොහෝ දුරට සමාන විශාලත්වයකින් හෙබි අතර ජනගහනය 274 289කි. හිමාල කඳුකරයේ පිහිටි එම ප්‍රදේශය සංචාරයට සුදුසු සොඳුරු ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධය.

බෞද්ධ බහුතරයක් වෙසෙන ලඩාක්හි ජනතාව ඉන්දු ආර්ය සහ ටිබෙට් සම්භවයක් සහිත අයයි. ඔවුන්ගේ සංස්කෘතිය බොහෝ දුරට ටිබෙට් සංස්කෘතියට නෑකම් කියති. ඉතා සුන්දර හා විචිත්‍රවත් සංස්කෘතියකට හිමිකම් කියන කලාපයක් ලෙස ලඩාක් ප්‍රදේශය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබේ. එය ඇත්තෙන්ම බහු ආගමික බහුජාතික රාජ්‍යයකි. ලඩාක් නම ටිබෙට් බසින් බිදී ආ අදහසක් ගම්‍ය කරයි. එහි තිබ්බත අදහස කඳුකර කපොලු භූමිය යන්නය. ඉපැරුණි සේද මාවත සමඟ ඉන්දියාව සම්බන්ධ කරන්නේ මේ ගිරි කපොලු සහිත දුර්ග භූමියයි. ලඩාක් කරාකොරාම් දුර්ග අඩවියේ ෂීයාවෙන් ග්ලැසියරයේ සිට ඉන්දියාව පාකිස්ථානය සහ චීනය මායිම් කරගනිමින් හිමාල කඳුවැටියේ දකුණු දිග දෙසට වන්නට  නිම්නය පුරා විහිද පවතියි. එහි නැගෙනහිර ටිබෙටයටත් බටහිරින් ජම්මු කාශ්මිර නිම්නයටත් දකුණෙන් ලාහෝල් ස්පිටි පළාත්වලිනුත් උතුරින් කරාකොරාම් දුර්ගය සහ නිරිතදිග ෂීන්ජියැන් පළාතෙනුත් මායිම්ව තිබේ. එහි ටිබෙට් බෞද්ධයන් සියයට 40ක් පමණ දක්නට ලැබේ. ෂීයා මුස්ලිම්වරු හින්දූන් සහ සික් ජාතීන් ද වෙසෙන මෙහි සාක්ෂරතාව  ඉහළය. එය සියයට 62කි. නවීන ලෝකයෙන් ඇත් වී සිය සම්ප්‍රදායික ජීවන රටාවට නතුව සිටිය ද ලඩාක් ජනතාව ඉංග්‍රිසිය ද හොඳින් උගත් පිරිසකි. ලේහ් සහ කාර්ජිල් නගර මුල් කරගනිමින් මූලික දිස්ත්‍රික්ක දෙකකට බෙදී ඇති මෙහි හින්දි, උර්දු, චීන, ටිබෙට් ආදී නොයෙක් භාෂා අසන්නට ලැබුණත් සමස්ත ලඩාකය පුරා එක සේ භාවිත වන රජ බස ලඩාක් බසයි. එය ටිබෙටයෙන් ලද දායාදයකි.

සංස්කාර් සහ ඉන්දුස් දෙගංඟාවන් මැදි කරගත් නිම්නය පුරා හොඳ වාරිමාර්ග පද්ධතියක් දකින්නට හැකිය. එහි එදිනෙදා භාවිතයට සීත හිම කඳු බිඳ පෙරාගත් පිරිසුදු ජලය ලබාගනී. පෙර කල ලඩාකයේ බත් දුලබය. එකල එය සුපිරි පැලැන්තියේ ආහාරයකි. ඒත් රජයේ සහන නිසා දැන් එය සුලබ ආහාරයකි. එහෙත් බාර්ලි සහ තිරිඟු ප්‍රධාන වගාවන්ය. මෙහි ප්‍රජාව බහුතරය වෙළෙඳුන්ය. සුළු ජනයා තවලම් වෙළෙඳුන්ය. සූර්ය, සුළං බල සහ විදුලි බලය ද සහිත මෙහි ගොඩනැගිලි තාක්ෂණය අතින් හා පෙනුමෙන් ටිබෙට් සම්ප්‍රදායික ලකුණු දරයි.

එහි ඇත්තේ එක් ගුවන් තොටකි. ලේහ්වල ඇති ගුවන්තොටින් දිල්ලිය බලා දිනපතා යානා ප්‍රවාහනය සිදුකරයි. සතියකට වරක් ශ්‍රීනගර් සහ ජම්මු වෙත ගමන් වාර තිබේ. කාරාකෝරාම් සහ හිමාල කඳු වැටිවලින් වට වූ උස්ම භූමිය විවිධ වර්ණපදාස මගින් සායම් කළ විචිත්‍ර චිත්‍රයක් බඳුය. මේ උස් බිමේ පිහිටි නිම්නය සීත කතරකි. නමුත් මේ දුෂ්කර කඳු ප්‍රපාත සහිත හිමකතර ධීර සිතැති සංචාරකයන් සිත් ඇද ගන්නා තැනකි. කඳු ප්‍රපාත තරණය, දිගු කඳුකර සංචාර, දුෂ්කර ගංඟා සවාරි මෙන්ම සති ගණන් කඳුකර ආරාම කරා යන ගවේෂණ චාරිකා මේ පළාතට ඇදී එන සංචාරකයන් ප්‍රබෝධයට පත්කරනා ප්‍රයානයන්ය. ලඩාකයේ ආගමික උත්සව ඇතුළු සැණකෙළි වසර පුරාම බහුලය. සම්ප්‍රදායික ටිබෙට් අවුරුදු උළෙල ප්‍රමුඛ මේ උත්සව අත්‍යාලංකාර දසුන්ය. සැප්තැම්බරයේ පැවැත්වෙන ලඩාක් සැණකෙළිය සියවස් ගණනක් ඉපැරණි සංස්කෘතිකාංග තුළත් මනරම් සම්ප්‍රදායික උත්සවයකි. එහිදී ලඩාක සොඳුරු ලියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් මෙන්ම විලාසිතාවන් ද හිතේ හැටියට දැකගත හැකිය. ඉපැරුණි ක්‍රීඩා අතර ලඩාක් පෝලෝ ක්‍රිඩාවත් දුනු ශීල්ප දැක්මත් අපූරුය. මේ තරම් විචිත්‍රවත් විවිධත්වයක් දරන ලඩාකය ඉන්දීය ලෝක් සභාවේදී   නියෝජනය කරන්නේ එකම එක මන්ත්‍රීවරයෙකි. මේ වනවිට එයට පත්ව ඇත්තේ අගමැති මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ජැම්යැන්ග් සෙරින්ග් නමග්ය්‍ාල් මන්ත්‍රීවරයාය.

ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට අයත් බලතල ගැන අදාළ වූ 370 වැනි වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට පියවරගත් ඉන්දීය රජය ජම්මු හා කාශ්මීරය පාලන ඒකක දෙකක් බවට පත්කිරීමටත් හදිසි තීරණයක් ගත්තේය. ඒ සමඟ ලඩාක් කලාපය ද මධ්‍යම රජය යටතේ පාලනය වන වෙනම ඒකකයක් බවට ඉන්දීය බලධාරීන් තීරණය කළේය. ඒ අනුව ඉන්දියාවේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් වෙනම පාලන ඒකකයක් ලෙස නම් කෙරුණු පළමු අවස්ථාව මෙය බවට පත්විය.
ලේහ් යනු මේ බෞද්ධ ලඩාක් භූමියේ විශාලතම නගරයයි. එහි ආරාම රැසකි. ලිකීර් පන්සලේ මෛත්‍රී බෝසත් පිළිමය රනින් ආලේපිත උත්කෘෂ්ට නිමැවුමකි. හිමාල කඳුවැටි තෙක් පැතිරුණු ඉන්දු නිම්නය ආශ්‍රිත මධ්‍යම ලඩාකයේ සුන්දරත්වය වර්ධනය කරමින් අපූරු නිර්මාණයක් දක්නට හැකිය. මේ භූමියේ ඇති බෞද්ධ උරුමය තහවුරු කරන ඒ සුන්දර දසුන තමන් තිබ්බතය වෙත පැමිණ සිටින්නේය යන හැඟීම කෙනෙක් තුළ ඇති කරවන්නකි. ඉන්දු ගංඟාව දකුණු පසින් ගලා බසී. ගඟ දෑල හිම තැන්පත් වී ධවල බැමි දෙකක් බැඳ ඇතුවා සේය. මැදින් නිලට නිලේ ගලා බසින ජලයේ හිම කැටිති පාවෙන හැටි බලන්නට ලස්සනය. වම් පසින් හිස් භූමිය කෙළවර වන්නේ ලඩාක් කඳු පන්තියෙනි. එහි කඳු මුදුන්හි එක යායකට ඇති ග්ලැසියර් හිරු රැස් වැටී සුදෝ සුදු වර්ණයෙන් බැබළේ. මෙතැන ලඩාක් කඳු පන්තිය ඉදිරියෙන් කුඩා කඳුගැටයකි. එහි පාමුල සිට මුදුන දක්වා පැතිරුණ ලොකු කුඩා ධවල මන්දිර අතර රතු සහ කහ පැහැගත් උත්තුංග ප්‍රාසාදයක්ය. මෙය දකින කෙනකු තමුන් සිටිනුයේ ලාසාවේ යයි නිසැකවම සිතනු ඇත. ලාසාව  අසල්වැසි තිබ්බතයේ අගනගරයයි. එහි දක්නට ලැබෙන රාජකීය මන්දිරය ලොව ප්‍රකට  පෝතල මාලිගාවයි. ලඩාකයේ ලේහ් වෙත ළඟා වන අයෙක් හට නෙත ගැටෙන අපූර්ව  දසුනක් වන්නේ එහි තනා ඇති කිත්සි ගමේ පෝතල මාලිගාවයි. ලාංකික බෞද්ධයන්ට  දළඳා මාළිගාව මෙන් වජ්‍රයාන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන්නේ දලයි ලාමාතුමාගේ වාසස්ථානය ටිබෙටයේ ලාසාහි පෝතල මාලිගයයි. ඒ හා සමාන ආරාමයක් ලඩාකයේ ඉදිකිරීමට ලඩාක් බෞද්ධයන්ට අවශ්‍ය විය. ඒ අනුව ගෙලුග්පා පාර්ශ්වයේ ආරාමයක් ලෙස තික්සි ආරාමය ඉදිකිරීම ඇරඹුයේ පහළොස්වන ශතවර්ෂයේදී පමණය. එහි ප්‍රධාන විහාර මන්දිර කිහිපයක්ම ඇත. දෙමහල් මෛත්‍රීයාන විහාරයේ ඉහළ මාලයට ගියවිට මෛත්‍රී බෝධිසත්වයන්ගේ යෝධ බුදු ‍බ‍ඳේ ඉහළ කොටස දැකගත හැකිය. යෝධ   ප්‍රතිමාව නෙළා ඇත්තේ පහළ මාලයේ සිටය. රන් පැහැ ආලේප කර ඇති ප්‍රතිමා වහන්සේ ධර්ම දේශන මුද්‍රාවෙන් වැඩ සිටිති. තික්සි අරමේ අඩි 49ක් වන මෛත්‍රී බෝසත් පිළිමය තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් තරම් උසැති බලන්නට වටින අරුමයකි. මේ ප්‍රතිමාව නෙලීම පටන් ගත්තේ 1970 දී දාහතර වැනි දලයිලාමාතුමන් තික්සි ආරාමයට පැමිණීම මුල්කරගෙනය. ආරාමයේ මූලික වාස්තු විද්‍යා සැලැස්ම පෝතල මාලිගයට සර්ව සමානය.

කන්ද පාමුල සිට ඉහළට ගොඩනැගිලි විසිරී ඇත්තේ කේතුවක් පරිද්දෙනි. පාමුල බොහෝ ලොකු කුඩා මන්දිර පුළුල් පෙදෙසක විසිරී ඇත. කන්ද මධ්‍යයට වන්නට ඇති ගොඩනැගිලි ගාම්භීරත්වයෙන් අනූනය. ඒවා තෙමහල් හෝ සිව්මහල්ය. ඉහළින්ම ඇත්තේ මන්දිර එකකි. මන්දිරවල වැදගත්කම ද පහළ සිට ඉහළට ආරෝහණය වන පරිදි පිහිටා ඇත. ඉහළින්ම ඇති පොතෑංග් මන්දිරය තික්සි ආරාමයේ ප්‍රධාන ලාමාතුමාගේ නිල වාසස්ථානයයි. පහළින්ම ඇත්තේ සාමාන්‍ය ලාමාවරුන්ගේ ලැඟුම් කුටිය.

උදා හිරු රැස් වැටී ඇති නිල් අහස්තලය පසුබිමේ ලඩාක් හි පෝතළ මාලිගය එහි පාමුල සිට බලනවිට ‍පෞඩ නිර්මාණයක් සේ ‍විරාජමානව සිටී. ශ්වේත මන්දිර මධ්‍යයේ ඇති රන් පැහැ මන්දිරත් දකුණු පසින් හා ඉහළින් ඇති රක්ත වර්ණ මන්දිරත් ලාසා පෝතල මාලිගයට සිතින් ඔබ නිසැකවම රැගෙන යයි.

කැමතිනම් ‍කෙනකුට ආරාමයේ පහළ සිට ඉහළට ඇති පියගැට පෙළ ඔස්සේ විහාර මන්දිර සහ ප්‍රතිමාලයන් වෙත පිය නැගිය හැකිය. පුළුල් ඉන්දු නිම්නයේ හාත්පස දසුනත් සංස්කාර් කඳු පන්තියෙන් මායිම් වූ සුන්දර තික්සි ග්‍රාමයත් ඒ අතර තුර රිසිසේ රස විඳිය හැක. තාරා දෙවඟනට කැප වූ තාරා පන්සල ද අපූරු තැනකි. පවතින දේශ සිමා අර්බුදකාරි තත්ත්වය නොවන්නට මේ සුන්දර භූමිය සංචාරකයන් නිබඳ ආකර්ෂණය කරගන්නා මනෝරම්‍ය ගමනාන්තයක් වන්නට වඩාත්  සුදුසුය. නව පාලන වෙනස්කම් නිසා දැන් මේ බිම වෙත වැඩි සංචාරක අවධානයක් යොමුවනු නිසැකය.

- සුගත් පි. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00