2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

රතු එළි පත්තු වෙන ආර්ථික බැස්ම

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 785

අලුතින්ම දක්වන වාර්තා අනුව මෙම වසරේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට තුනක් විය හැකි බව පුරෝකථනය වී තිබේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කරන අන්දමට වසරේ පළමු කාර්තුවේ වර්ධනය සියයට 3.7 කි. දෙවැනි කාර්තුවේ දත්ත ප‍්‍රකාශයට පත්ව නැත. හතරවැනි කාර්තුවේ දී හොඳ ප‍්‍රගතියක් ලබා ගත හැකි වෙතැයි ප‍්‍රකාශ වෙයි. 2018 වසරේ හතරවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.7 කි. එයට සාපේක්ෂව හොඳ විය හැකි නමුත් එය අවසානයේ දී අත්පත් කරදෙන වාසිය කුමක්දැයි පැහැදිලි නැත. කෙසේ වෙතත් මහ බැංකුව ආර්ථික වර්ධනය ගැන තිබුණ අපේක්ෂා ආපසු හරවාගෙන තිබේ. අය වැය ඉදිරිපත් කරනවිට වර්ධනය ගැන බලවත් අපේක්ෂා තිබුණි. නමුත් ශ‍්‍රී ලංකා මහ බැංකුව වසර මුල සියයට හතරක් යැයි කියන ලද වාර්ෂික වර්ධනය සියයට තුන දක්වා පසුබසින බව පිළිගෙන තිබේ. එය ඉතා බරපතළ තත්ත්වයකි. ආර්ථික වර්ධනය ගැන ඉලක්කම් කෙසේ වෙතත් පොදු ජනතාව සිය ජීවන මට්ටම ඉතා දුෂ්කරව ප‍්‍රකාශ කරන අතර එහි පීඩාව දැනෙන බව අවධාරණය කරමින් සිටිති.

බලධාරීන් කවර ප‍්‍රශස්ථ අදහස් ප‍්‍රකාශ කළ ද වසරේ ඉදිරි කාලය තවත් අවිනිශ්චිතය. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කර නැත. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව ජනාධිපතිවරයා සලකා බලමින් සිටී. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දක්වන පරිදි ජනාධිපතිවරයා විසින් නීති උපදෙස් පතා ඇති අතර මෙම මැතිවරණ දෙකෙන් කුමක් හෝ මුලින් පවත්වන්නට ඉඩ තිබේ. ජනාධිපතිවරයා හෝ මැතිවරණ කොමිසම සූදානම් නැතත් රට පුරා මැතිවරණ උණුසුම ප‍්‍රකාශයට පත් වී හමාරය. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනටමත් අපේක්ෂකයා නම් කර ඇත. එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් පිහිටුවන පරමාර්ථයෙන් ගෙන ගිය වැඩපිළිවෙළ කල් දමා තිබේ. එහෙත් පාක්ෂිකයන් හා දෙවැනි තලයේ දේශපාලනඥයන් ජනාධිපතිවරණ සටන අතට ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණ අද ගාලු මුවදොරදී පවත්වන ජන රැළියක දී සිය අපේක්ෂාව ප‍්‍රකාශයට පත් කරන බව දක්වයි. ස්වාධීන අපේක්ෂකයන් ගණනාවක් ද සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරණය ගැන සටන දියත් කර තිබේ. මෙවැනි පසුබිමක් තුළ නිෂ්පාදන හෝ සේවා ආර්ථිකය නගා සිටුවන්නට පුළුවන්කමක් තිබේද? ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කළත් නැතත් රාජ්‍ය යාන්ත‍්‍රණය බෙලහීන වී ඇත. ඡන්ද උණුසුම හෙයින් තීරණ ගැනීම කල්දමා ඇත. පෞද්ගලික අංශයේ ආයෝජන පවා වසරේ අවසාන කාර්තුවේ දී සෑහෙන කල්දමනු නිසැකය. වසරේ ඉදිරි කාලය තුළ ආර්ථිකයට ජවය ලැබෙන්නේ කොතැනින්ද? වැදගත්ම පැත්තක් තිබේ. ආණ්ඩුව සමෘද්ධි සහන වැඩි කරමින් සිටී. සෑම ආසනයකටම සංවර්ධනය වෙනුවෙන් මිලියන 800-1000 අතර ගණනක් බෙදන්නට පටන්ගෙන ඇත. මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර තිබේ. මේවායෙන් යම් මුදලක් ආර්ථිකයේ සක්‍රීයතාවය ඇති කරන නමුත් එම මුදල් ලැබෙන්නේ කොතැනින්ද? ආර්ථිකය ප‍්‍රසාරණය වන්නේ කවර අංශයෙන් ද යන්න කෙසේවත් පැහැදිලි නැත. 

ආපසු හැරී බලනවිට 2019 වසර උදා වෙන්නේ නිශ්චිත අය වැය සැලැස්මක් රහිතවය. රජයේ ආදායම හා වියදම ගැන ස්ථිර අදහසක් නොතිබුණි. එයට හේතුව ඉකුත් වසරේ දී එළඹෙන 2019 වසර වෙනුවෙන් අය වැය යෝජනා ඉදිරිපත් කරන්නට අසමත් වීමයි. අවුරුද්ද උදා වී මාස හතරකට පසු  පසුගිය අප්‍රේල් 05 වැනි දා මෙම අවුරුද්ද සඳහා වූ අය වැය යෝජනා සම්මත කරගැනීමෙන් පසු ආර්ථිකය අවදි විය. එතෙක් තාවකාලික ඇස්තමේන්තුවක් මගින් එදිදෙනා වියදම සඳහා ප‍්‍රතිපාදන වෙන් කරගෙන තිබුණි. ලබන වසර වෙනුවෙන් ද අය වැය වාර්තාවක් සකස් නොවනු ඇති බව දැනට ප‍්‍රකාශ වී තිබේ. මේවායෙන් පෙන්වන්නේ රට තුළ තිබිය යුතු මූල්‍ය විනය දේශපාලනය මගින් විකෘති කර ඇති බවය. 

ශ‍්‍රී ලංකා මහ බැංකුව සියයට තුනක වර්ධනයක්  2019 වසර තුළ පැවැතිය හැකි බව ප‍්‍රකාශ කරන විට රොයිටර් පුවත් සේවාව නිල වශයෙන් නිකුත් කරන ලේඛනයක මෙරට වර්ධනය මෙමවසරේ දී සියයට 2.5 ක් වියහැකි බව ලෝකය පුරා ප‍්‍රකාශයට පත් කර යවා තිබේ. එය එසේ තිබිය දී ජාත්‍යන්තර මුඩි ශ්‍රේණිගත කරන්නෝ මෙරට ආර්ථිකය සියයට 2.6 ක් වනු ඇති බව අනාවරණය කර තිබේ. මෙම පැති දෙකම සුළු කොට සැලකිය නොහැකිය. අඩු ආර්ථික සංවර්ධනයක පවතින බව ජාත්‍යන්තර විශේෂඥ ගණන් ගැනීම වී තිබේ. ලෝක බැංකුව කලින් දක්වන ලද ආකාරයට වර්ධනය සියයට 3.5 ක පවතිනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියයට 3.6-8 අතර පවතිනු ඇතැයි දක්වා තිබුණි. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක තාවකාලික ණය සංචිතයක් ලබාගෙන කිසියම් ආකාරයක ප‍්‍රතිසංස්කරණ මාලාවක නිරත හෙයින් මෙකී වර්ධනය බලාපොරොත්තු වන බව පෙනේ. ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සියයට 3.5 ක පැවැතිය හැකි බව ප‍්‍රකාශ කර තිබුණ බව මතකය. නමුත් මෙම සියලු දේ අප්‍රේල් 21 මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව සමග කණපිට හැරී තිබේ. මතු වූ අවිනිශ්චිත තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කරගත නොහැකිවීම විශාල ප‍්‍රශ්නයක් බව තේරුම් ගත යුතුය. විශේෂයෙන් මෙරට ආර්ථිකයේ ප‍්‍රධාන බලවේගයක් වූ සංචාරක කර්මාන්තය අප්‍රේල් 21 ප‍්‍රහාර සමඟ අඩාල විය. සංචාරක පැමීණීම සියයට 7.5 කින් අඩුවූ බව මැයි මාසය දක්වන අතර පසු භාගයේ දී සංචාරක කර්මාන්තයෙන් ලැබුණ ආදායම සියයට 13.4 කින් පහත වැටී තිබේ.

ආර්ථික සංවර්ධනය 2001 වසරට පසු අවම මට්ටමකට පත්ව ඇත. එසේ තිබිය දී පවා බදු බර ඉහළය. ජනතාව දරාගත නොහැකි බදු බරක ගැලී, ගිලී සිටිති. වර්ධනය අඩුවන විට ආර්ථික ක‍්‍රියාකාරීත්වය අවම වන හෙයින් රජයේ බදු ආදායම පහළ යා යුතු නමුත් බදු එකතු කිරීමේ නිරත නිලධාරීන් පෙන්වා දෙන අන්දමට රාජ්‍ය බදු ආදායම ඉලක්ක සාක්ෂාත් කරගෙන ඇත. මෙම බදු රට තුළ පැවැත්ම අනතුරකට පත් කරන බව තේරුම් නොගන්නේ ඇයි? එක පැත්තකින් අලුත් විවාහ වන යුවලකට දෙන ණය පවා පොලිය කපා හරින බව කියන ආණ්ඩුව අනෙක් පැත්තෙන් ජන ජීවිතය අපහසු වන අන්දමට බදුපිට බදු වැඩි කර තිබේ. ව්‍යාපාර පහසු කරන ලෝක දර්ශකය පෙන්වා දෙන අන්දමට ශ‍්‍රී ලංකාව බදු වැඩි හෙයින් ව්‍යාපාර කරගෙන යා නොහැකි ස්ථානයකි.  

ආර්ථික වර්ධනය ඉහළ මටට්මක තිබිය යුතු ඇයි? වර්ධනය වැඩිවන විට ජනතාවගේ ඇඟට දැනෙන්නට පටන් ගනී. රුකියා අවස්ථා බහුල වෙයි. නිෂ්පාදනය දියුණු වන අතර පරිභෝජනය වැඩි වෙයි. ආර්ථිකයේ පවතින සක‍්‍රීය බව දියුණු තියුණු වන විට රජයේ බදු ආදායම ද ඉහළ නගී. 2109 වසරේ මුල් භාගය අලුත් සංවර්ධන යෝජනා ක‍්‍රම රහිත පසුබිමක තිබිය දී ඉතිරි කාලයෙන් ආර්ථිකය වේගවත් ගමනකට අවතීර්ණ කිරීම අපහසුය. නමුත් ආයෝජනය වැඩි කරන එනම් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන වැඩිකරන අවස්ථාවක ඉහළ වර්ධනයක් අත්පත් කරගැනීමට අපහසුතාවයක් ද නැත. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ආයෝජනය මෙම වසරේ දී සියයට 4.8 කි. එය පෞද්ගලික අංශයේ ආයෝජනය මෙන් හතර ගුණයක් අඩු තත්ත්වයකි. රජයේ අධික වියදම, ණය ගෙවාගත නොහැකිවීම ආයෝජන හැකියාව අඩාල කරයි. අලුත් ධනය රහිතව ආයෝජනය කළ නොහැකි අතර සංවර්ධන වේගය සුළු එකක් වන අවස්ථාවක රජයේ බදු ආදායම සීමා සහිත වන බැවින් ආයෝජනය කරන්නට තරම් මුදලක් ද එකතු නොවේ. එය චක්‍රීයව බලපාන බරපතළ ගැටලුවකි. විකල්පයක් වශයෙන් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කළ හැකි නමුත් එය අරමුණු කරගෙන ප‍්‍රතිපත්ති සකස් කළ යුතුව තිබේ.

ආයෝජනය වැඩිවන, පරිභෝජනය සුදුසු තත්ත්වයකට පත්වන හා කාලගුණ යහපත් ආකාරයකට බලපාන මාස අටක් ගැන බලාපොරොත්තු තැබිය හැකි නමුත් මෝදු වෙමින් පවතින මැතිවරණ අන්ධකාරය ගැන විශ්වාසයක් තැබිය නොහැකිය. පළාත් සභා, ජනාධිපතිවරණ පැවැත්වීමට මෙම වසර තුළ අවකාශයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ වල දී විශාල ධන ආයෝජනයක් සිදුවෙයි. එක පැත්තකින් රජය අති විශාල ධනයක් ජනතා සහන වලට වියදම් කරන අතර අනෙක් අතට රාජ්‍ය යාන්ත‍්‍රණය අඩාල වෙයි. පෞද්ගලික අංශය පවා මැතිවරණයක දී වියදම් කරන ධනය සැලකිය යුතු මට්ටමක බව සඳහන් කළ යුතුය. මේවායෙන් පෙන්වන්නේ ආර්ථිකයේ ගලායාම අවිනිශ්චිත බවය. පවතින සැලසුම් වෙනස් විය හැකි අතර ඒවායේ ස්වභාවය මත ආර්ථික වර්ධනය තීරණය විය හැකි බවය. 

ආර්ථික වර්ධනය රටක විශාල අවස්ථාවකි. පුරවැසියන්ගේ ජීවිත යහපත් හා සැනසිලිදායක තත්ත්වයට හරවයි. අනාගත අවස්ථා ඇති කරන්නට හේතු වෙයි. පවතින රාමුව අනුව අලුත් ජවයක් ඇති කරගැනීම පහසු නැත. දෙගුණයක් මහන්සි වී වැඩ කරන්නට සිදුවෙයි. අලුත් ආයෝජන ගෙන්වා ගෙන නවතම ව්‍යවසායක අවස්ථා බිහිකරගත යුතුය. ආයෝජන පහසුව හා යෙදවෙන මුදල්වල අවදානම අවම කිරීමට පියවර ගැනීම තදබල අවශ්‍යතාවයකි. දේශපාලන බෙදීම්වලින් ඇති කරගන්නා කුණාටු පවතින පසුබිම තවත් අඳුරු කරනු නිසැකය. පවතින ස්වභාවය ශක්තිමත් නැත. එය පිළිගත යුතුය. පවතින රාමුව වෙනස් කර වේගයෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි කල්පනා කිරීම අප සියලු දෙනාගේ වගකීමකි. 

 ගාමිණී සරත් ගොඩකන්ද