2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ගෝඨාභය පැමිණීමේ හොඳ-නරක ගනුදෙනුව

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 74

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිපතිවරයා වීමේ අපේක්ෂාවෙන් සිය මැතිවරණ ව්‍යාපාර නිල වශයෙන් ඇරඹුවේය. ඒ සමඟම පක්ෂ පාටවලට බෙදී බහුවිධ මතවාදවල එල්බ සිටින ලංකික ජන සමාජය විවිධ කතා කියන්න වූහ. ගෝඨාභය ගැන ගුණ අගුණ එහි අන්තර්ගත විය. එම නිසාම අපේක්ෂකත්වය තහවුරුකර පුරා සතියක් අවසානයේ ගෝඨාභය පිළිබඳ සමාජ ආකල්ප විමසන්නට අපි තීරණය කළෙමු. සමාජ මාධ්‍යය මෙන්ම එදිනෙදා පළවන මහජන අදහස්ද අපි මීට මූලාශ්‍ර කරගතිමු.

ගෝඨාභය රාජපක්ෂ රට විනයක් ඇතුව හදනු ඇතැයි මෙරට ජාතික මතවාදයේ එල්බ සිටින පිරිස විශ්වාස කරති. අල්ලසට දූෂණයට වැට බඳින නීතිගරුක රටක් බිහිකිරීමට ඔහුට හැකියාවක් ඇති බව ඒ අනුව කියැවේ. ලාංකීය සමාජයේ කාලාන්තරයක් පුරා පැවති මතවාදය වූ මේ රට හදන්න නම් හරියට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ යන ආකල්ප මත එම මතය නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් මෙම විනයගරුක රටක් යන තේමාවම ප්‍රතිගාමී බලවේගවල විවේචනවලට සාධකයක් වෙයි. ගෝඨාභය විනය සෑදීමට යාම තුළින් ඒකාධිපති පාලකයකු බිහිවන බවත් ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්විය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති. මහජන නිදහස, මාධ්‍ය නිදහස උල්ලංඝණය වීම පිළිබඳ පූර්ව භීතිකාවක් ඔවුන් විසින් නිර්මාණය කරමින් සිටියි.

ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණා මෙවර ජනාධිපතිවරණයේ ප්‍රමුඛතම තේමාවයි. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මෙරට ජාතික ආරක්ෂාව තහවුරැ කිරීමට සුදුස්සාය යන්න සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතින මතවාදයකි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් භූමිකාව මෙහි මතුකර දක්වා එම මතය තහවුරු කිරීමට පොහොට්ටුව ප්‍රමුඛ කඳවුරු උත්සුක වන ආකාරය පෙනී යයි. ගෝඨා ආවොත් බෝම්බ පුපුරණ එකක් නෑ වැනි ආකල්පයක් ඒ හරහා ජනිත වෙයි. මෙහිදී පෙරළා ශක්තිමත් ප්‍රතිරෝධයක් ඇතිකිරීමට එජාපය ප්‍රමුඛ බලවේග අසමත්ව සිටී. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම කාලෝචිත බව කීම හරහා මෙම මතය ඇසුරේ එම කඳවුර අභියෝගය ලක්ව තිබේ.

ගෝඨාභය විරෝධී මතවාදයේ ප්‍රමුඛතා සැලකූවිට මාධ්‍යවේදීන් ඝාතන චෝදනා, සුදු වෑන් සිද්ධීන්වලට වැඩි වටිනාකමක් මේ වනවිට ලැබී තිබේ. රාජපක්ෂ පාලන සමයේ වූ ඇතැම් සිදුවීම් පදනම් කර ගනිමින් මෙම චෝදනා එල්ලවේ. පසුගිය සමයේ එම සිදුවීම් පදනම් කරගෙන ගොනුකළ නඩු තවමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය නැවත කරළියට පැමිණ ඇත. එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳවද නැවතත් කතා කරන්න පටන්ගෙන ඇත. ඒ අනුව සුදු වෑන් සංකේතයක් කොට මෙම මතවාද ගොඩනැගයි. මෙම චෝදනා හරහා එජාපය ප්‍රමුඛ බලවේග ගෝඨාභය භීතිකාව වර්ධනය කරන්නට උත්සාහ දරති. ගෝඨාභය පාලනය, විරුද්ධ මතධාරීන්ට භයංකාර වනු ඇති බවත් ඔවුහු මේ හරහා පෙන්වා දෙති. කෙසේ වෙතත් ගෝඨාභය හිතෛෂීන්ට අනුව මෙම චෝදනා කිසිවක් ඔප්පු වී නැත. මේවා දේශපාලන මඩ ගැසීම්ය. තවත් සමහරුන්ට අනුව ලසන්ත, එකනැලිගොඩ ආදී පිරිස් ද්‍රෝහීන්ය.

ගෝඨා අවොත් දේශපාලකයන්ට ඕන ඕනා විදිහට නටන්න වෙන්නේ නෑ එය මේ දිනවල නිතර ඇසෙන කතාවකි. මෙය රටේ සමස්ත දේශපාලනය පිළිබඳ ඇති බහුතර කලකිරීමේ තවත් එක් ස්වරෑපයක් යැයි කිව හැකිය. ගෝඨාභය පිළිබඳ විශ්වාසයක් ඇතිමුත් ගෝඨාභය පිටුපසින් පැමිණෙන පිරිස පිළිබඳ  විශ්වාසක් නැති පිරිස් තුළින් මෙම ආකල්ප ප්‍රකට වේ. ඒ අනුව ලාංකීය දේශපාලනයේ දූෂිත විකෘති ස්වභාවය ගෝඨාභය පාලනයක් යටතේ හික්මවීමට හැකිවෙතැයි යන්න ජනතා අපේක්ෂාවක් වී තිබේ. මගේ අන්තිම ඡන්දේ ගෝඨාභයට දෙනවා යැයි කියන පිරිස්ද රටේ බිහිවී ඇත්තේ එබැවිණි. මෙම පිරිස මහින්දවාදීන් ලෙස තමන් හඳුන්වා ගන්නා දේශපාලන ක්‍රියාකාරීන්ට වඩා ආකල්පීය වශයෙන් වෙනස්ය. ඔවුන් ඇතැමෙක් යහපාලනය වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන ආකාරය සහ පරාජය වන ආකාරය පිළිබඳ ඇති සමාජ ආකල්ප අප මීළඟට විමසා බැලිය යුතුවේ. ගෝඨාභය හිතවාදීන්ගේ අංක ගණිතයට අනුව ජනාධිපතිවරණය ජයගන්නේ මෙලෙසය. පසුගිය ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් 58 ලක්ෂයක ඡන්ද පදනමට කිසිදු හානියක් වී නැත. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් ලක්ෂ 62 ක ඡන්ද පදනම මෙවර ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා සමඟ බෙදීයයි. වෙනසට ඡන්දය දුන් පිරිසෙන් සැලකිය යුතු පිරිසක්ද ගෝඨාභයට මෙවර ඡන්දය පාවිච්චි කරනු ඇත. එමෙන්ම මෙවර අලුත් ඡන්ද දිනා ගැනීමට එජාපයට නොහැකිය. එහි වාසියද පොහොට්ටුව සතුය. එජාප අභ්‍යන්තර ගැටුමෙන්ද පිරිසක් බිඳී යනු ඇත. එයද ගෝඨාභයගේ ජයග්‍රහණය ශක්තිමත් කිරීමට හේතුවීමට ඉඩ තිබේ. අවසානයේ ලක්ෂ 65 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභයට ලැබෙතැයි ඔවුන්ගේ විශ්වාසයි. 

ගෝඨාභය විරෝධී බලවේගද ජනාධිපතිවරණයේදී ගෝඨාභය පරාජය වන ආකාරය ගැන අංක ගණිත ඇසුරේ පැහැදිලි කිරීමට උත්සාහ දරයි. මෙහි ප්‍රමුඛතම තර්කය නම් සුළු ජාතික ඡන්ද පදනමයි. ඔවුන්ට අනුව කිසිදාක උතුරු නැගෙනහිර ඡන්ද ගෝඨාභය රාජපක්ෂහට ලබාගත නොහැකිය. තවද මෙවර මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගෝඨාභයට නොලැබෙනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ආගමනය සුළු ජන කොටස් අභියෝගයක් ලෙස දකින නිසාවෙන් ඔහු පරාජය කිරීමට එජාප අපේක්ෂකයා වටා ඔවුන් රොදබැඳීමට ඇති ඉඩකඩ වැඩිය. සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා වුවහොත් පක්ෂය පිළිබඳ කලකිරී සිටින බොහෝදෙනා පක්ෂය වටා එකතුවේ. ශ්‍රීලනිප කණ්ඩායමක සහාය නිසැක වශයෙන්ම ඔවුන් හට ලැබෙනු ඇත. එවිට ජනාධිපති සිහිනය සැබෑ කරගැනීමට හැකිවෙතැයි ඔවුහු විශ්වාස කරති.

පාස්කු ප්‍රහාරයෙන් පසු වර්ධනය වූ සිංහල ජාතික ව්‍යාපාරයේ නියුතු පිරිස්ද මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ වටා සිටගෙන සිටිති. ඔවුන්ට අනුව බුදුදහම සිංහල ජාතිය බේරා ගැනීමට සිටින එකම නායකයා ගෝඨාභය රාජපක්ෂය. ඔහු ආගමට ජාතියට ලැදි පුද්ගලයකි. එම නිසා ගෝඨාගේ ආගමනය සමඟ ඉස්ලාම් අන්තවාදීන්ට සහ දෙමළ බෙදුම්වාදීන්ට හිස ඔසවනු නොහැකි වනු ඇත. අනෙක් පසින් බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ඇතිවනු ඇත. එම මතයද මේ වනවිට වේගයෙන් දැඩි ජාතික මතධාරී තරැණ කොටස් සහ භික්ෂූන් වහන්සේලා අතර පැතිර යමින් තිබේ. මෙම පිරිස දරන අදහස උපුටා දක්වමින් ගෝඨාභය භීතිකාව වාර්ගිකත්වය පදනම් කරගෙන නිර්මාණය කිරීමටද පිරිසත් උත්සාහ දරයි. ඔවුන්ට අනුව ගෝඨාභයගේ ලැදියාව සහ හමුදා මානසිකත්වය එකතු වූ විට රට තුළ භයංකාර යුගයක් නිර්මාණය වීමට ඉඩ තිබේ.

මේ ආදී විවිධ මතවාද ගෝඨාභය ආගමනය සමඟ රටපුරා ව්‍යාප්තව ඇති බව අප කරනු ලැබූ ගවේෂණයට අනුව අවබෝධ විය. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ සමාජයේ හොඳ නරක යන දෙවැදෑරැම් අකල්ප ඇති බව පැහැදිලි වේ. එක්සත් ජාතික පක්ෂ සිය අපේක්ෂකයා තීරණය කර නොමැති පසුබිමක ගෝඨාභය හිතවාදී මතවාද මේ වනවිට ශක්තිමත් වී ඇති බව කිව යුතුය. කෙසේ වෙතත් එජාප අපේක්ෂකයා ප්‍රකාශයට පත්කළ පසු මෙම මතවාද අතර බිම් මට්ටමේ ගැටුම නැවත සලකා බැලිය යුතු වේ. එන ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා පිළිබඳ පුරෝකතනය කිරීමට තවම කල්වැඩිය.

 සටහන : චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00