2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

මුවකුගෙන් මැරුම් කෑ සිවිල් ආරක්ෂකයා

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 204

විල්පත්තුව රක්ෂිතයට නුදුරු මහවිලච්චිය ප්‍රදේශයේ දී සුනඛයන් දෙදෙනකුගේ ග්‍රහණයට හසු වූ මුවකු බේරාගැනීමට දිව ගිය ගොවියකු මුවාගේ අං ප්‍රහාරයකට ලක්වී අවාසනාවන්ත ලෙස මියගිය බවට පුවතක් වාර්තා විය. මෙසේ මියගිය පුද්ගලයා තමාට නිදහස ලද මොහොතක ගොවිතැන් කළ ද වෘත්තියෙන් සිවිල් ආරක්ෂක බළකායේ උප නියාමකවරයෙකි. මහවිලච්චිය පොලීසිය සඳහන් කරන්නේ මියගිය උප නියාමකවරයා සිවිල් ආරක්ෂක බළකා විල්පත්තුව කඳවුර සිට මහවිලච්චිය පොලිස් මුරපොළට අනුයුක්තව සේවය කළ බවය.

මියගිය උප නියාමක ජී.ආර්.එල්. ප්‍රියංකර නැමැත්තා 44 හැවිරිදි තිදරු පියෙකි. අංක 257, වම් ඉවුර, මහවිලච්චිය ලිපිනයේ පදිංචිව සිටි මොහුට අයත් බව කියන කුඹුරු යායක් විල්පත්තුව වනෝද්‍යානයට ආසන්නයේ පිහිටා ඇත. රක්ෂිතය ආසන්නයේ පිහිටි නිසා වන සතුන්ගෙන් හිරිහැර බහුලය.

 එබැවින් තම තමන්ගේ ගොවිතැන් ආරක්ෂා කර ගැනීමට අසල්වැසි ගොවියෝ විවිධ පියවර ගනිති. ඇතැම්හු පැල් රකිමින් සිය වගා ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගනිති. මේ අතර උප නියාමක ප්‍රියංකර මහතා ද සිය වගාව රැකගැනීම සඳහා පැලට යන බවත් එලෙස යන විට තම නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයන් දෙදෙනා ද රැගෙන යන බවත් කියති.

අවසන් වරට ප්‍රියංකර සිය වගාව රැකගැනීම සඳහා පසුගිය දිනක පස්වරුවේ විල්පත්තුව වනය ආසන්නයේ කුඹුරු යායට ගොස් සිටියේය. රාත්‍රිය පහන් කරමින් සිටියදී අලුයම කුඹුරු යාය ආසන්නයෙන් ගලා බසින දොළ පාරකින් දිය බීම සඳහා පැමිණි මුව රංචුවකි. ප්‍රියංකර අසල සිටි සුනඛයන් දෙදෙනා දුවගොස් එක් මුවකු ග්‍රහණයට හසු කරගෙන ඇති බවත් එය දැක ප්‍රියංකර නැමැත්තා මුවා නිදහස් කර ගැනීමට ගිය බවද පැවසේ. මෙලෙස සුනඛයන් දෙදෙනා එක්ව මරා දැමීමට උත්සාහ ගත් මුවා බේරීමට කළ උත්සාහයක දී මොහු සුනඛයන් දෙදෙනා පළවා හැර ඇති බවත් මුවා අසලට සමීප වන විට බියට පත් මුවා කලබල වී අං තට්ටුවෙන් මොහුට පහර දී පැන ගොස් තිබෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.

එම අවස්ථාවේදීම තුවාල ලබා ඇද වැටී සිටි නියාමකවරයා තරමක බරපතළ තත්ත්වයෙන් පසුවෙද්දී එතැනට රැස්වූ ගොවීන් පිරිසක් ගිලන් රථයක් ආධාරයෙන් තුවාලකරු මහවිලච්චිය රෝහලට රැගෙන යනු ලැබීය. එහිදී අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව මොහු අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා තිබිණි. තුවාල ලබා සිටි නියාමකවරයාගේ පපුව ආසන්නයේ කුඩා තුවාලයක් පෙනෙන්නට තිබී ඇත. එබැවින් පොලීසිය සැක කරන්නේ අං පහර පෙනහැල්ලට හෝ හදවතට වදින්නට ඇති බවය. කෙසේ වෙතත් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ සිරුර අභ්‍යන්තරයේ ලේ වහනය වී තිබීම නිසා මරණය සිදුව ඇති බවය.

විල්පත්තුව රක්ෂිතය ආසන්නයේ වන සතුන් සුලබය. ගොවීන්ගේ වගා හානි සිදුවීම සාමාන්‍ය දෙයකි. ඇතැමුන් ගොවිතැන් ආරක්ෂා කරන මුවාවෙන් වන සතුන් දඩයමේ නිරත වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. මීට ඉහතදීත් දඩයමේ ගිය ඇතැමුන්ට වන සතුන්ගෙන් වූ හානි පිළිබඳව වාර්තා වී ඇතැයිද කියති. මරණයට හේතුව කෙසේ වෙතත් සිවිල් ආරක්ෂක බළකායේ උප නියාමකවරයා මුව අං ප්‍රහාරයකට ලක්ව මියගිය බව පරීක්ෂණවලදී අනාවරණය විය.

සමන්ත ප්‍රදීප් විල්තෙර