2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ඉරිදා සහ පොහොය දින උපකාරක පන්ති තහනම

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 450

ඉරිදා සහ පොහොය දිනයන්හි උපකාරක පන්ති තහනම් කිරීමට කැබිනට් පත්‍රකාවක් ඉදිරිපත් කරන බවට මීට කලකට පෙර බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කලේය. මෙම කැබිනට් පත්‍රිකාවට මුස්ලිම් හා හින්දු ආගමික අමාත්‍යවරැන් ද තම එකඟතාවය පළකරන බවත් එහි සඳහන් වේ.

කැබිනට් පත්‍රිකාව මගින් ශිෂ්‍යත්වය, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සඳහා දහම් පාසල් සහතිකය මගින් යම් ලකුණු ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ද සූදානම් වන බවත් ඒ සඳහා ඉදිරියේදී ලකුණු දහයක් එකතු කිරීමට අධ්‍යාපන ඇමතිවරයා සමඟ සාකච්ඡා සිදුකරන බවත් එකල ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි. මේ සම්බන්ධව පසුගිය දිනවල නැවත වතාවක් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආහ.

මෙලෙස ඉරිදා සහ පොහොය දිනයන්හි උපකාරක පන්ති තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රකාව ඉතා කාලෝචිත පියවරක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද ප්‍රකාශ කර ඇත. මෙමඟින් දුවා දරැවන් විසින් දහම් පාසල් වෙත වැඩි නැඹුරැවක් සිදුවන බවද මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කරති.

මෙම කැබිනට් පත්‍රිකාව මගින් ඉරිදා දිනවල පස්වරු දෙක දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමත්, පොහොය දිනයන්හි උපකාරක පන්ති සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත් කටයුතු සිදුකරන බවද එකල බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා සඳහන් කරයි.

මෙලෙස කැබිනට් පත්‍රකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තීරණයක් ඉතා ඉක්මනින් ගැනීමට සූදානම් වෙද්දී ඒ සම්බන්ධ උපකාරක පන්ති පවත්වනු ලබන දේශකවරැන්ගේ තීරණය වන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි.

පොහොය දිනවලදී බෞද්ධයන් ආගමික වතාවත්වල නියැලෙද්දී කතෝලික හා අන්ආගමිකයන් පන්සල් යන්නේ නැහැ. නත්තල් දවසට බෞද්ධයන් හා අන්ආගමිකයන් පල්ලි යන්නේ නැහැ. එදින පල්ලි යන්නේ කතෝලික බැතිමතුන් විතරයි. ඒ වගේම තමයි අනිත් ආගමිකයන් තමන්ගේ විශේෂිත ආගමික දිනවලදී පල්ලි හෝ කෝවිල් යද්දී අනෙකුත් ආගමිකයන් එයට සහභාගී වෙන්නේ නැහැ. මේ නිසා බොහෝ බෞද්ධයන් මෙන්ම බෞද්ධ නොවන අයත් පොහොය දින නිවාඩු දිනයක් නිසා විනෝද චාරිකා යාමත් මත්පැන් සාද සංවිධාන කිරිමක් කරනවා. යැයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරැන්ගේ සංගමයේ හිටපු මහලේකම් තිරංජය ගම්ලත් ප්‍රකාශ කරයි.

ලංකාවේ පොහොය දිනයට පෙර දිනය දා සුපර් මාර්කට් ඇතුළු සියලුම සුරාසල්වල මත්පැන් වැඩිපුර විකිණෙයි. බොහෝ දිගු පෝලිම් සුරාසල් ඉදිරිපිට දක්නට ලැබෙනුයේ පොහොය දිනයට පෙර දිනයේදීය. එපමණක් නොව පොහොය දිනයට පෙර දිනය දා මස් මාළු වෙළෙඳ සල්වල ද අලෙවිය වැඩිවෙයි. 

උපකාරක පන්තියට එන දරැවෙක් මාසකට පන්ති කාඩ් පතක් මිලදී ගන්නේ මුළු මාසයටමයි. එනම් සති හතරක් වෙනුවෙනුයි. ඒ සති හතර තුළදී එක් දිනයක් පොහොය යෙදීම නිසා පන්ති නොපැවැත්වීමෙන් ඒ දරුවාට වෙන්නේ අසාධාරණයක්. දුප්පත් මව්පියන්ගේ දරුවන්ට එක දවසත් හරිම වටිනවා. ටියුෂන් ගුරැවරයා ඒ දවසට උපකාරක පන්තිය පවත්වන්නේත් තමන්ගේ ගෙදර අය එක්ක, දරුවන් එක්ක නිදහසේ ඉන්න පුළුවන් දවසක් කැප කරලා. තමන් ගත් මුදලේ වගකීමක් මේ උපකාරක ගුරැවරැන් සතුව පවතිනවා. සති හතරකට දරැවාගෙන් මුදල් ගෙන දවස් තුනක් දරැවාට ඉගැන්වීම කොයිතරම් නම් අසාධාරණද?

තිරංජය ගම්ලත් වැඩිදුරටත් පැවසීය.

සෑම වසරකම අගෝස්තු මස පවත්වනු ලබන උසස් පෙළ විභාගය ආසන්නයේදී උපකාරක පන්ති ගුරැවරැ අමතර ඉගැන්වීම් කටයුතුවල නියැලෙති. මේ සඳහා ඔවුහු බොහෝ විට ඉරිදා සහ පොහොය දිනයන්හිදී ද පන්ති පවත්වති. විෂය නිර්දේශය ආවරණය කිරීම පමණක්ම නොව මේ බොහෝ ගුරැවරැ පන්ති කාඩ් පතට පමණක් සීමා නොකොට පොහොය දිනයන්හි අමතර පන්ති පවත්වති. එයින් ඔවුන්ගේ අදහස වන්නේ දරැවන්ගේ අධ්‍යාපන කඩඉම ජයග්‍රහණය කරදීමය. උසස් පෙළ විභාගයට පමණක්ම නොව සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ආසන්න වෙද්දී එවැනි අමතර උපකාරක පන්ති බොහෝ ගුරැවරැ පවත්වති.

ලංකාවේ පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවකුගේ අධ්‍යාපන ජීවිතයේ අනාගතය තීරණය වන තීරණාත්මක අවස්ථාවක්. කොළඹ නගරයෙන් පිට ගම්බද පළාත්වල ජීවත්වන දරැවෙක් ගමේ පාසලේ ගෙවන ජීවිතයට වඩා කොළඹ නගරයේ පාසලක ගෙවන ජීවිතය වෙනස් වෙනවා. ගමේ පාසලෙන් කොළඹ නගරයේ පාසලක ඉගනීමට ආ දරැවකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අද වනවිට ඉතා ඉහළ නිලතල, තනතුරැ, දරණ බොහෝ දෙනෙක් ගම්බද පාසලෙන් අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වයෙන් පසුව කොළඹ පාසලකට ආපු අයයි. ඔවුන්ගේ ජීවිත අද ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා ඕනෑම මව්පියෙකුගේ උත්සහය වන්නේ දරැවන්ට උසස් අධ්‍යාපනය ලබාදී හොඳ උගතෙකු කරන්නයි. දහම් පාසල් සහතිකයකට මේ වනතුරැ උසස් මහපරිමාණ වටිනාකමක් ලබලා දීලා නැහැ. මේ නිසා බොහෝ මව්පියන් උත්සහ කරන්නේ කෙසේ හෝ දරැවන්ට විභාග ජයග්‍රහණ ලබා දෙන්නයි. යැයි ඔහු පවසයි.

අද වනවිට මව්පියන් කාර්යබහුලය. බොහෝ දරැවන්ගේ පියා සහ මව දෙදෙනාම රුකියාවේ නිරත වෙති. රටේ වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ එක් අයකු පමණක් රැකියාවක් කොට ලැබෙන වැටුපෙන් පවුලක් ජීවත් විය නොහැක. මේ නිසා කුමක් හෝ රැකියාවක් කොට පවුලට යම් මුදලක් ලබාදීමට මවද උත්සහ ගනී. සතියේ දවස් පහත්, සෙනසුරාදා දිනයේදී වරැවකුත් රුකියාවෙහි නිරත වෙන මව්පියන්ට විවේකය ඇත්තේ සෙනසුරාදා හවස් වරුව හා ඉරිදා දිනය පමණි. මේ නිසා ශිෂ්‍යත්ව විභාගය සඳහා අමතර උපකාරක පන්තියක් වෙත දරුවා කැටුව මව්පියන්ට යාහැකි වන්නේ සෙනසුරාදා හවස් වරැව සහ ඉරිදා දිනය පමණි. කුඩා දරුවන්ට උපකාරක පන්තියට ගෙනයාමට ගෙනඒමට කවුරැත් හෝ සිටිය යුතුය. ලංකාවේ ශිෂ්‍යත්ව උපකාරක පන්ති බොහෝමයක් පවත්වනු ලබන්නේ මේ කාලසීමාවේ බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරැන්ගේ සංගමය පවසයි.

වර්තමානයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සෑම දරැවකුගේම සිහිනය වන්නේ A නවයක සිහිනයකි. මේ සිහිනය සැබෑ කරගන්නට යන ගමනේදී දරැවන්ට වැදගත් වන්නේ දහම් පාසල් සහතිකය ද නැතහොත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සහතිකය දැයි ගැටලුවක් මතුවේ. මේ මතුවන ගැටලුවේදී දරැවා පළමුව තෝරාගනු ලබන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සහතිකය බව. සංගමයේ අරමුණ වේ. යම් දිනයක රැකියාවක් කිරීමට සුදානම් වෙද්දී රාජ්‍ය ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක මූලික සුදුසුකමක් වන්නේ සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්ව තිබීමයි.

මේ ප්‍රශ්නත් සමඟ ඉරිදා දිනයන්හි පහ සහ එකොළහ ශ්‍රේණි සඳහා පවත්වන පන්ති තහනම් කිරීම නතර කරන ලෙස දිගින් දිගටම අපි ඉල්ලීම් කළා. මේක දරැවන්ගේ අනාගතය තීරණය කරන වැදගත් කාල පරිච්ඡේදයක්. අධ්‍යාපනය ලබන දරුවන්ගේත් ඉතා අතළොස්සක් පමණක් ධර්මාචාර්ය විභාගයට මුහුණ දෙනවා. ඒ උසස් පෙළ ඉගෙන ගන්නා දරුවන්. ලංකාවේ ඉතාම අතළොස්සක් ධර්මාචාර්ය විභාගයට මුහුණ දෙද්දී උසස් පෙළ විභාගයට බොහෝ දෙනකු ඉගෙන ගන්නවා. උසස් පෙළ කියන්නේ දරුවකුගේ අධ්‍යාපන ජීවිතයේ ප්‍රධාන කඩඉමක්. ඉරිදා තුන වෙනතුරු පන්ති පැවැත්වීම සම්බන්ධව මෑතකදී පාර්ලිමේන්තුවේ යෝජනාවක් වුණා. ලංකාවේ බොහෝ පෞද්ගලික ආයතන පන්ති පවත්වන්නේ ඉරිදායි. ලංකාවේ සුප්‍රකට කලා ආයතනවල, කලා භූමිවල, සම්ප්‍රදායි කලා පන්ති, බෙර වාදන පන්ති, නැටුම් පන්ති, සංගීත පන්ති පවත්වන්නේ ඉරිදායි. ලංකාවේ පාසල් බහුතරයක පිහිනීමේ, චෙස්, ක්‍රිකට් පන්ති පවත්වන්නේ මේ දවසයි. මේ නිසා මෙය තහනම් කිරීමෙන් සිදුවන්නේ ලංකාවේ දරැවන්ගේ දක්ෂතා මොට්ට කිරීම පමණයි.* යැයි තිරංජය ගම්ලත් වැඩිදුරටත් පැවසීය.

බොහෝ දෙනකුගේ මතය වන්නේ දහම් අධ්‍යාපනයක් නොලත් දරැවකු තුළින් සාරධර්ම, හොඳ ගතිගුණ ඈත්ව යන බවයි. ගුණධර්මවලින් පිරිපුන් දරුවකු බිහි කිරීමට නම් දහම් අධ්‍යාපනයක් ලබාදිය යුතුම බව ඒ බොහෝ දෙනකුගේ මතය වේ. මේ සම්බන්ධව ද අප කළ විමසීමකදී තිරංජය ගම්ලත් පැවසුවේ මෙවන් අදහසකි.

මේ රටේ මත්පැන් ප්‍රවාහනය කිරීම, මත්පැන් විකිණීම, ස්ත්‍රී දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වීම වැනි අපරාධ ක්‍රියාකාරකම්වලට වයස අවුරුදු දහහතරට අඩු දරුවන් සම්බන්ධ වෙලා නැහැ. එවැනි ප්‍රවෘත්ති අපිට අහන්නට ලැබෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන් පමණයි. එවැනි තත්ත්වවලදී මූලිකව සම්බන්ධව ඇත්තේ වැඩිහිටියෙක්. මේ නිසා මුලින්ම දහම් අධ්‍යාපනයක් දිය යුතුවන්නේ වැඩිහිටියන්ටයි. හිර ගෙවල්වල ඉන්න බොහෝ තරැණ සිරකරුවන් අතර ද දහම් පාසල් ගියපු අය ඉන්නවා. ලංකාවේ අවුරුදු විස්සත් තිහත් අතර සිටින වැඩිහිටියන්ට දහම් අධ්‍යාපනය ලබාදෙන්න කියලා මම යෝජනාවක් කරනවා. එවිට ගෙදර ඉන්න දරැවන්ව හදාගන්න පුළුවන් අධ්‍යාත්මිකම දරුවන්ට පෙන්වා වැරදි කරන වැඩිහිටියන් ඉන්න සමාජයක ගුණධර්ම හදලා දෙන්න බැහැ. අපි දහම් අධ්‍යාපනයට කවදාවත් විරුද්ධ වුණේ නැහැ. නමුත් මේ පවතින සමාජය දේශපාලන ආර්ථික වටපිටාව ඇතුළේ වැරදි කරන වැඩිහිටියන්ට මුලින්ම දහම් අධ්‍යාපනය ලබාදිය යුතුයි. යැයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ හිටපු මහ ලේකම් තිරංජය ගම්ලත් අවසන් වශයෙන් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න