2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

අරුවක්කාලුවේ කුණු යුද්ධය

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 107

කොළඹ සිට අරුවක්කාලුවට කසළ රැගෙන ඒම සම්බන්ධයෙන්  පුත්තලම සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ ජනතාව තුළ පවතින්නේ දැඩි අප්‍රසාදයක් මෙන්ම පිළිකුළකි.

කොළඹ කසළ අරැවක්කාලුවට රුගෙන ඒමේදී ජනතාව ඉදිරියේ මුලින් පොරොන්දු වූ ආකාරයට වැදගත් කරුණු කිහිපයක් සහ මුලින්ම නොසලකා හරිමින් කසළ අංගනයේ වැඩ සම්පූර්ණයෙන් නිම කිරීමට පෙර අවිධිමත් ආකාරයට කසළ අරැවක්කාඩුව කසල අංගනයේ තැන්පත් කිරීම මේ විරෝධයට එක හේතුවකි. 

කසළ අංගනයට බැහැර කිරීමේ ක්‍රියාවලිය පොදුජන එක්සත් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට සහ දෝෂාරෝපණයට  ලක්වී තිබේ.

මුල් කාලයේ දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන  දේශපාලනඥයන් මේ පිළිබඳව කතා කරමින්  මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කළද වර්තමානයේදී කිසිවකු කිසිවක් පිළිබඳ කතා නොකිරීම හේතුවෙන්  ජනතාව තුළ ප්‍රශ්නාර්ථයක් මතු වී ඇත. කොළඹ කුණු පුත්තලමට රැගෙන ඒමේදී මහජනතාවට අවහිරතාවක් නොවන ආකාරයට එම කටයුත්ත කළයුතු බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාළ අංශවලට දැනුවත් කර ඇති බව මාධ්‍ය තුළ ප්‍රචාරය විය.

වර්තමානය වනවිට පැන නැගී ඇති ප්‍රධාන ගැටලුව බවට පත්වී තිබෙන්නේ කසළ ප්‍රවාහනය කිරීමේදී පරිසරයට හානියක් වන ආකාරයට කටයුතු කිරීමයි. කොළඹ සිට අරුවක්කාලුව දක්වා කිලෝමීටර් 167ක දුරක් පැය හතරක පමණ කාලයක් ගෙවමින් ටිපර් රථවලින් කසළ රැගෙන ඒමේදී නිසි පරිදි ආවරණයක් නොතිබීම නිසාවෙන් අපද්‍රව්‍ය පරිසරයට මුසුවීමේ වැඩි අවදානමක් පවතියි.

ටිපර් රථවල පුරවා රැගෙන එන  කසළවලින් මහ පොළවට පතිත වන අපවිත්‍ර  ජලය මාර්ගය දිගේ වැටීමත් එයින් පිටවන දුර්ගන්ධය සුළං සමඟ මුසුවී පරිසරය පුරා පැතිරී යාමත් නිසා විවිධ රෝගාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බව පරිසරවේදීහු පෙන්වා දෙති.

සති දෙකක පමණ කාලයක සිට හදිසියේම අරැවක්කාලුවට කසළ ගෙනඒමට සිදුවූයේ දෛනිකව කොළඹ එකතු වන කසළ බැහැර කිරීමට ස්ථානයක් නොමැතිකම හේතුවෙනි. එසේ වුවද අරැවක්කාලු කසළ අංගනයේ  වැඩකටයුතු  නිමාවීමට පෙර කසළ තැන්පත් කිරීම එහි පැවැත්මට බාධාවක් බව දේශපාලනඥයන් පෙන්වා දුන්නේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

අරැවක්කාලු කසළ අංගනයේ දී කසළ තැන්පත් කිරීම තෝරාබේරා වෙන්කර ගන්නා සුදුසු කසළ පමණක් ප්‍රමිතිගත ආකාරයට සිදුකිරීමට යෝජිත වුවද වර්තමානය වනවිට තෝරාබේරා වෙන්නොකළ  කොළඹට දෛනිකව එකතු වන සියලුම කසළ අරැවක්කාලු කසළ අංගනයේ තැන්පත් කිරීමට කටයුතු කර ඇත. තෝරා වෙන් නොකළ කසළ මෙලෙස තැන්පත් කිරීම කසළ අංගනයේ දීර්ඝ පැවැත්මට බාධාවක් ඇතිවිය හැකි බව ඇතැම් පරිසරවේදීහු ද පෙන්වා දෙති

සති දෙකකට පමණ ආසන්න කාලයක් දෛනිකව කොළඹ සිට කසළ අරැවක්කාලුවලට රුගෙන ඒම ආරම්භ වීමත් සමඟ බොහෝ පිරිසක් විරෝධතාවය එල්ල කළහ.

අවිධිමත් ආකාරයට කසළ රුගෙන ඒමේ ක්‍රියාවලියට විරුද්ධ බව වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව, පුත්තලම නගර සභාව මාධ්‍ය සාකච්ඡා පවත්වමින් අවස්ථා කීපයක දී අනාවරණය කළේය

දින කිහිපයකට පෙර පුත්තලම නගර සභාවේදී පැවති සාකච්ඡාවකදී ප්‍රාදේශීය සභා කීපයක දේශපාලනඥයන් කසළ රැගෙන ඒමට විරෝධතාවය පළකළ බව වාර්තා වෙයි. කසළ රුගෙන ඒම ආරම්භයේ දී අලුයම් කාලයේ සිදු වුවද පසුගිය 10 වැනි දා සිට දහවල් කාලයේදී කොළඹ සිට අරුවක්කාලුව දක්වා කසළ ප්‍රවාහනය සිදුවිය.

දහවල් කාලයේ දී කසළ ප්‍රවාහනය කිරීමත් සමඟම පුත්තලම 4 කණුව ප්‍රදේශයේදී මහජනතාව පාරට බසිමින් මඟ හරස් කරමින් අරැවක්කාලු රැගෙන යමින් තිබූ කසළ ටිපර් නැවත හරවා යැවීමට කටයුතු කළෝය. මහජනතාව විසින් ආපසු හරවා යැවූ ටිපර් රථ පහක් මුන්දලම පොලිසිය ඉදිරිපිට ගාල් කර තබා පසු දින අලුයම් කාලයේදී පොලිස් ආරක්ෂාව මැද්දේ  නැවත අරුවක්කාලුවට රැගෙන යාම සිදුවිය.

එදින පටන් අරැවක්කාලුවට කසළ රුගෙන යන ටිපර් සඳහා පොලිස් ආරක්ෂාව සහ යුද හමුදා ආරක්ෂාවක්  ලබාදීමට කටයුතු කර ඇත. පසුගිය දොළොස් වැනිදා මුන්දලම නගරය ආසන්නයේදී කසළ ටිපර් රථ දෙකක් අනතුරට ලක්වී ඇත. පසුගිය දිනක අලුයම 3.15 පමණ මුන්දලම පාලවීය කරිකට්ටිය ප්‍රදේශයේදී කසළ ප්‍රවාහනය කළ ටිපර් රථ දෙක එකිනෙක ගැටී අනතුරක් සිදුවිය.

අනතුරින් තුවාල ලැබූ එක් අයකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

කසළ පිරවූ ටිපර් රථ කීපයක් මාර්ගයේ ගමන් කර ඇති අතර  ටිපර් රථයක් පසුකර යෑමට ගත් උත්සාහයේ දී පසුපසින් පැමිණි ටිපර් රථය ඉදිරියෙන් ගමන් කළ රථයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත. පසු පසින් ගොස් අනතුර සිදුකළ ලොරි රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර එහි පුරවා තිබූ කසළ වෙනත් ටිපර් රථයකට පටවා අරැවක්කාලු කසළ අංගනයට රුගෙන යාම මුන්දලම පොලිසිය මැදිහත් වීමෙන් සිදු කෙරිණි.

කසළ පුරවා තිබූ ටිපර් රථය කඩිනමින් එම ප්‍රදේශයෙන් ඉවත් කරගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධතාවයක් දැක්වූ අතර මුන්දලම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතාගේ මැදිහත් වීමෙන් එම විරෝධතාව සමථයකට පත්කිරීමට හැකිවිය. නොම්මර තහඩු නොමැතිව මාර්ගයේ ටිපර් රථ ප්‍රවාහනය කිරීම වරදක් බව ජනතාව පෙන්වා දෙන්නේ රටේ නීතිය එක හා සමාන නොවන බවට කරැණු ද පෙන්වා දෙමින්.

ටිපර් රථවල අංක තහඩු ප්‍රදර්ශනය නොකරමින් ප්‍රවාහනය කිරීම නිසි ආවරණයකින් තොරව කසළ රුගෙන යෑම අධික වේගයෙන් මාර්ගයේ ටිපර් රථ ධාවනය කිරීම වැනි හේතු කාරණා පෙන්වා දෙන මහජනතාව පවසන්නේ හෙල්මට් එකක් නැතිව මහ පාරේ යතුරු පැදියක් පදවන්න බැරි රටක කොළඹ සිට පොලිස් ස්ථාන කිහිපයක් පසුකරමින් අරුවක්කාලුවට එන ගමනේදී ඉහත සඳහන් කළ කරුණුවලට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි ප්‍රශ්නාර්ථයක් මතුවන බවත් රටේ නීතිය නමමින් දේශපාලාඥයන්ට සහ බලවතුන්ට නීතිය යටපත් කරමින් නීති විරෝධී ක්‍රියාවල නිරත වීමට ඉඩලැබී තිබෙන බවත්ය. 

I පුත්තලම - රෝවන් පෙරේරා