2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ජවිපෙත් කලඑළි බසින විකල්ප අපේක්ෂකයා

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ පවසන පරිදි “ජාතික ජන  බලවේගය” නමින් පුළුල් සමාජ සංවිධානයක් ඔවුන් ගොඩනගාගෙන තිබේ. ඒ හරහා  ජනපතිවරණ සටනට අවතීර්ණ වීමට ජ.වි.පෙ. පිඹුරුපත් සකසාගෙන සිටී. අගෝස්තු මස 18 වැනි දින ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත මහජන රැලිය ඉතා තීරණාත්මකය. නිසැක වශයෙන් ජ.වි.පෙ. ප්‍රමුඛ කඳවුරේ අපේක්ෂකයා එදිනට කලඑළි බසිනු ඇත. ඒ වෙනුවෙන් පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු ද ඔවුන් අරඹා තිබේ. එහෙත් මේ මොහොතේ පවතින එ.ජා.ප. අභ්‍යන්තර අර්බුදය සහ පොහොට්ටුවේ ප්‍රචාරක රැල්ල හේතුවෙන් ජ.වි.පෙ. සූදානම පිළිබඳව මාධ්‍යයේ මෙන්ම මහජනතාවගේ ද අවධානය අවම වී තිබේ. කෙසේ වෙතත් අගෝස්තු 11 වැනිදායින් පසු එළඹෙන සතියේ මෙය ප්‍රබල මාතෘකාවක් වීමට ඉඩකට ඇත.

දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන බලවේග නව පෙරමුණ වටා එක්වී ඇති බව පසුගියදා නලින්ද ජයතිස්ස මහතා සඳහන්  කර තිබුණි. කෙසේ වෙතත් මෙම අපේක්ෂකයා ජ.වි.පෙ. අපේක්ෂකයකු නොවන බවට ද ආරංචි පැතිර යයි. අපේක්ෂකයා හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු බවත් අසන්නට ලැබේ. ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා විකල්ප අපේක්ෂකයා ලෙසින් හැඳින්වීමට තීරණය කර ඇතැයි ද කියැවේ. පොදු අපේක්ෂක සංකල්පය මේ වන විට යල්පැනගිය එකක් වී ඇති බව මේ පිරිසේ විශ්වාසයයි. ඒ අනුව පොදු අපේක්ෂකයකු කෙරෙහි ජනතා විශ්වාසයක් නොපවතී. විකල්ප සංකල්ප මේ වන විට රටේ යම් පිරිසක් ආකර්ෂණය කරගෙන සිටී. එය භාවිත කිරීමෙන් දේශපාලන වාසියක් අත්කරගත හැකි බව ජ.වි.පෙ. ප්‍රමුඛ පිරිසේ අභිප්‍රාය වී ඇති බව පෙනේ.‍

ආසන්න දිනක පුවත්පත් සාකච්ඡාවක දී ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම නව බලවේගය ගොඩනැගීමට හේතු පහදා තිබිණි. ඔහුට අනුව මෙම ජනාධිපතිවරණය ටිකක් විශේෂ ජනාධිපතිවරණයකි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ලෙස තම පෙරමුණෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා වෙනුවට වමේ ප‍්‍රගතිශීලී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ සහ සංවිධාන රැසක් එකතු කර ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ. පසුගිය කාලේ  රටේ දේශපාලනය ගමන්ගත් වැරදි දිශානතිය වෙනස් කිරීම සඳහා ජනතාව එක්රුස් කිරීම ඔවුන්ගේ අරමුණයි. ජාතික ජන බලවේගයක් හරහා අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ එබැවිනි.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගය වටා එක්රුස් වී සිටින දේශපාලන පක්ෂ සහ සංවිධාන බොහොමයක් 2015 දී වෙනසට උරදුන් පිරිසය. එදා ප්‍රජාතන්ත්‍රවායේ නාමයෙන් යම් වෙනසක් ඇති කිරීමට ගිය මේ පිරිස අවසානයේ දේශපාලන වශයෙන් හුදෙකලා වූහ. ඔවුන්ට අනුව 2015 දී ලැබූ ජයග‍්‍රහණයෙන් බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂය සහ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තම පිරිස පාවා දී නොසලකා හැර තිබේ. මෙම දේශපාලන ව්‍යාපාරය වටා ඔවුන් එකතු වන්නේ තමන්ගේ තරම පෙන්වීමේ අපේක්ෂාවෙනි. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය  තුන්කොන් සටනක් වීමට ඇති ඉඩකඩ මේ හරහා වැඩි වේ. ඒ පිළිබඳ අවබෝධ කර ගැනීමට පසුගිය ජනාධිපතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂකයකු ඉදිරිපත් වූ විට ඇතිවූ තත්ත්වය විශ්ලේෂණය කර ගැනීම අවශ්‍ය වේ.

පළමුවරට 1982 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ලැබීය. ඒ එම පක්ෂයේ නායකයා රෝහණ විජේවීර මහතාය. එහිදී  මනාප 273,428ක  ප්‍රමාණයක් ඔහු ලබාගත් අතර එය සමස්ත ප්‍රතිඵලය හා සැසඳීමේ දී 4.19%ක ප්‍රතිශතයක් විය. නැවතත් 1999 ජනාධිපතිවරණයේ දී  ජනතා විමුක්ති පෙරමුණ තම අපේක්ෂකයා ලෙස නන්දන ගුණතිලක මහතා ඉදිරිපත් කළ අතර ඔහු මනාප 344,173ක ප්‍රමාණයක් ලැබීය. එය ප්‍රතිශතයක් ලෙස 4.08%ක ප්‍රමාණයක් විය. මේ දත්ත අධ්‍යයනයේ දී පෙනී යන්නේ මෙවර ලක්ෂ පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මෙම නව බලවේගයට ලැබිය හැකි බවයි. එය 5% ඉක්මවූ ප්‍රතිශතයක් විය හැකිය. යම් හෙයකින් ප්‍රධාන අපේක්ෂක දෙදෙනා අතර ආසන්න තරගයක් ඇතිවුවහොත් 50% සම්බන්ධ අර්බුදයක් නිර්මාණය වීමට ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂකයා හේතුවක් වීමට ඉඩ තිබේ.

අවසානයේ කිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම සෙසු අපේක්ෂකයන් පිළිබඳව ද අනාවැකි කීමට තවමත් කල් වැඩි බවය. එහෙත් ඉදිරි දෙසතිය අනිවාර්යයෙන්ම අපේක්ෂක අපේක්ෂාවන් අරභයා ඉතා වැදගත් වනු ඇත.

ප්‍රධාන පක්ෂ දෙකම අද බලු පොරයක
- ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති

“අපි දන්නවා මේ දෙසැම්බර් මාසේ අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන්න අවශ්‍යයි. 2020 ජනවාරි අට වැනිදා වෙද්දී අනිවාර්යෙන් ජනාධිපතිවරයෙක්ව පත් කරන්න ඕනෑ. ඒක තමයි ව්‍යවස්ථාවේ ස්වභාවය. දැන් අපිට පේනවා රටේ තියෙන අනික් පක්ෂ දෙකේම නායකයන්ට අද තියෙන්නේ බලු පොරයක්. රටේ ජනතාව, රටේ ආර්ථිකය, අනාගත පරම්පරාව, රටේ සංස්කෘතිය, සදාචාරය, ජාත්‍යන්තර ප්‍රතිරූපය පිළිබඳ කිසිදු ආකාරයක හැඟීමක් මේ අයට නෑ. රාජපක්ෂ පරම්පරාවේ අයට, වික්‍රමසිංහ පරම්පරාවේ අයට, මෛත්‍රීපාල සිරිසේනගේ අයට මේ කාටවත් නෑ.

අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ වසර හැත්තෑ එකක කුණුගඳ ගහන අතීතයත් වසර හතළිස් දෙකක විධායක ජනාධිපති ක්‍රමයේත් සැබෑ වෙනසක් කරන්න. ඒ වෙනුවෙන් අපි මේ වෙලාවේ ලහිලහියේ සූදානම් වෙනවා. ඒ ගැන හරියට දැනගන්න පුළුවන් මේ මාසේ 18 වැනිදාට. දැවැන්ත රැලියක් ගාලු මුව‍දොර පිටියේ තියලා අපේ අපේක්ෂකයා කවුද කියලා රටේ ජනතාවට අනිවාර්යයෙන්ම හඳුන්වා දීම කරනවා. ඒ පිළිබඳ කිසිදු සැක සංකාවක් තියාගන්න එපා.

අපි රටේ දැවැන්ත පොදු බලවේග, බුද්ධිමතුන් සම්බන්ධ කරගෙන යන ගමනක් මේ. ඒ නිසා ඒ කාගෙත් කැමැත්ත පිට එන අපේක්ෂකයෙක් තමා අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ. අපේ කැමැත්ත විතරක් නෙවෙයි අපි කාගෙත් කැමැත්ත පිට එන අපේක්ෂකයෙක් තමා අපි ඉදිරිපත් කරන්නේ. අපි විශ්වාස කරනවා මේ නායකයා රටේ ප්‍රශ්නවලට පැහැදිලි විකල්ප නායකයෙක් වෙයි කියලා.

චමිඳු නිසල් ද සිල්වා 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00