2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

යළිත් පත්තුවෙන බැටික්ලෝ කැම්පස් අර්බුදය

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

මඩකලපුවේ පූනානි ප්‍රදේශයේ  පිහිටි “බැටිකලෝ කැම්පස් ඔෆ් ශ්‍රී ලංකා” නම් ආයතනය පිළිබඳ තොරතුරු අනාවරණ වූයේ පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමගිනි. එම විශ්වවිද්‍යාලයේ ෂරියා නීතිය උගන්වන බවටත් එමගින් අන්තවාදීන් බිහිවිය හැකි බවටත් චෝදනා කරමින් එය වහා රජයට පවරා ගන්නා ලෙසට විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් කෙරෙන්නට විය.

එම අධ්‍යපන ආයතනයේ හිමිකරුවන් වූයේ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වූ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා වන අහමඩ් හිරාස් හිස්බුල්ලාය. හිස්බුල්ලා සඳහන් කරන අයුරින් පසුගිය රජය සමයේ එයට මහවැලි අධිකාරියට අයත් අක්කර 35ක ඉඩමක් ලබා දී තිබේ. එම අධ්‍යාපන ආයතනය 2013 ජුනි මාසයේ ආරම්භ කෙරුණේ “මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලෙජ්” නමින් වන වෘත්තීය පුහුණු ආයතනයක් ලෙසිනි. ඒ සඳහා සෞදි රජය මගින් ආධාර ලබා දෙන බව ඔවුන් සඳහන් කර තිබිණි. එහෙත් එයට සෞදි රජයේ සෘජු සම්බන්ධයක් නොමැති බවත් සෞදි අරාබියේ ව්‍යාපාරිකයකු එයට අධාර ලබා දෙන බවට පසුව අනාවරණ විය.

2015 දී ඉහත කී ආයතනයේ නම බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන් වෙනස් කෙරුණ අතර ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කෙරිණි. එම සමාගමේ ආරම්භක කොටස් හිමියන් ලෙස දක්වා තිබුණේ හිරා ෆවුන්ඩේෂන් හා අහමඩ් හිරාස් හිස්බුල්ලාය. යළිත් එහි නම “බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්” ලෙස 2016 වසරේ වෙනස් කරනු ලැබූ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිකර තිබේ. 2019 ජනවාරියේ එහි අධ්‍යක්ෂවරයකුව සිටි එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ආණ්ඩුකාර පදවියට පත්වීමෙන් පසු අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් විය.

ආරම්භයේ වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස සඳහන් කළ ද මෙම ආයතනය මහා පරිමාණ විශ්වවිද්‍යාලයක ස්වරූපයෙන් ඉදිකර තිබිණි. එමෙන්ම එය පීඨ 6කින් යුතුව ආරම්භ කෙරෙන බවට ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් විය. ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨය, ගෘහ නිර්මාණ සහ මිනුම් කටයුතු පීඨය, නීති පීඨය, සංචාරක සහ ව්‍යාපාර කළමනාකරණ පීඨය, කෘෂි තාක්ෂණ සහ සම්පත් කළමනාකරණ පීඨය හා ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය ලෙස එම පීඨ වර්ගීකරණය කර තිබිණි. ඒ හැර වෛද්‍ය පීඨයක් ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ බවට ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය චෝදනා කළේය. එහි නීති පීඨය ඉස්ලාමීය නීතිය ඉගැන්වීම සඳහා වෙන්වූ පීඨයක් බව ඔවුහු අනාවරණය කළහ. ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨයේ වූයේ එක් දෙපාර්තමේන්තුවක් පමණි. එය ෂරියා දෙපාර්තමේන්තුව ලෙස හඳුන්වා තිබිණි.

ඉන් ගම්‍ය වූයේ ෂරියා නීතිය එහි ඉගැන්වීම සඳහා මෙම ආයතනය කටයුතු කරන බවකි. ඒ සඳහා විදේශ විශ්වවිද්‍යාල තුනකින් ආචාර්ය මඩුල්ලක්ද බඳවා ගෙන තිබිණි. ආයතනය ඉදිකර තිබුණේද අරාබි සංස්කෘතියට ගැලපෙන අයුරිනි. 2019 වසර සඳහා අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා 328 දෙනෙක් හා 2020 සඳහා 372කුත් බඳවා ගැනීමට නියමිතව වූ අතර 2019 වසර සඳහා සිසුන් 3670ක්ද, 2020 වසරේ 5380ක්ද බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළේය. සෞදි අරාබියෙන් ලද මුදල්. ලැබී තිබුණේ “හිරා පදනම” නමැති සංවිධානයටය. එම සංවිධානය හිස්බුල්ලා මහතාට සම්බන්ධ ආයතනයක් විය. මෙම ආයතනය ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කරනු ඇති බවට ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය චෝදනා කළේය.

මෙම ආයතනය ආරම්භයේ සිටම වංචා සහගත ලෙස කටයුතු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබිණි.

“මෙම ඉඩම මිලදී ගැනීමේ දී වංචා කර තිබෙනවා. මේ ඉඩම ලබාගැනීමේ දී හීරා පදනම ඊට හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ නොමිලේ වෘත්තීය පුහුණුව ලබා දෙන පොදු කටයුත්තකට ඉදි කරන ආයතනයක් කියලා. නමුත් ඔවුන් ඉදි කරන්නේ මුදලට පාඨමාලා විකුණන ආයතනයක්. ඒ වගේම මහවැලි අධිකාරිය මේ ඉඩම වෙන් කර තිබුණේ සිද්ධපුර නගරය නම් ව්‍යාපෘතියකට. එම ව්‍යාපෘතිය නතර කර මේ ඉඩම හිරා පදනමට ලබා දෙනවා. ඒ වගේම එවකට මහවැලි අධිකාරිය අයත් ඇමැතිවරයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ඉඩම බැහැර කිරීමේ ක්‍රමවේදය ගැටලු සහගතයි. අද වන විට ලබා දුන් අක්කර 35ට අමතරව තවත් අක්කර 08ක පමණ නීති විරෝධී ගොඩනැඟිලි ඉදි කර තිබෙනවා. තවත් අක්කර 15ක් නීති විරෝධී ලෙස හෙළි පෙහෙළි කර තිබෙනවා. ඒ වගේම මේ බැටිකලෝ කැම්පස් ආයතනය ගොඩනැඟිලි සඳහා අදාළ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබාගෙන නැහැ”.

බැටිකලෝ කැම්පස් ආයතනයට ඉඩම ලබාදීම සිදුවන්නේ 2012දී. නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය පුහුණු පාඨමාලා ලබාදීමේ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමේ පදනමින් ඉඩමක් ලබාගැනීමට මහවැලි අධිකාරියෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව 2013 ජූලි මස 24 වැනි දා මඩකලපුව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර 35ක ඉඩමක් වසර 35කට, අක්කරයකට රුපියල් 14, 340ක් බදු පදනම යටතේ හීරා පදනමට ලබා දුන්නා. හීරා පදනම එම ඉඩම සඳහා වසරකට ගෙවිය යුතු මුදල රුපියල් 491, 200ක්.

ඒ වගේම මේ ආයතනය ඉදිකිරීම සහ පවත්වාගෙන යෑමට මුදල් ලබාගැනීම ගැටලු සහගත ලෙසින් සිදු වී තිබෙනවා. 2016 මාර්තු මාසයේ සිට 2017 ජුනි මස දක්වා වසරක පමණ කාලයක දී සෞදි අරාබියේ අලි ෆාලී නම් පදනමෙන් අවස්ථා 07ක දී හීරා පදනමට රුපියල් කෝටි 360ක් ලබා දෙනවා. ඒ වගේම මේ ආයතනයට ආචාර්යවරුන් ලෙස සෞදි අරාබියේ මහාචාර්යවරුන් ගෙන්වා ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.
බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අයථා අන්දමින් කෝටි 1750ක් ලැබී ඇති බවට චෝදනා එල්ල විය. එමෙන්ම තවත් තහනම් සංවිධානයකින් ඩොලර් මිලියන 100ක් අයථා ලෙස ලද බවද පැමිණිලි ඉදිරිපත් විය. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කෙරිණි. එම සමාගමේ කොටස්වලින් 50% බැගින් හිමිකාරිත්වය දරන්නේ හිස්බුල්ලාගේ පුතුන් දෙදෙනා බවට විමර්ශනවලින් අනාවරණ වූ බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එහි අධ්‍යක්ෂවරුන් සත් දෙනකු සිටින බවත් එම සමාගම සතුව බැංකු ගිණුම් හතක් ඇති බවත් ඔහු වැඩිදුරටත් අනාවරණ කළේය.

බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් සම්බන්ධ‍යෙන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විමර්ශනයක් සිදු කළේය. එහි සභාපතිවරයා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාය. එම  වාර්තාව පසුගිය මස 21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය. මේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු 15ක් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන ලෙසද  ඉල්ලා සිටි ආශු මාරසිංහ මන්ත්‍රීවරයා මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගත යුතු බවට තම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ. ඊට හේතු සාධක ලෙස මෙලෙස සඳහන් කර තිබිණි.

‘‘මෙම ආයතනය සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීමේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට එකී ආයතනය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව Bachelor of Arts in Sharia and Islamic Studies යනුවෙන් සඳහන් වීමෙන් එකී ආයතනය ස්ථාපනය කිරීමේ ප්‍රධාන අරමුණක් වී ඇත්තේ ඒ හරහා ෂරියා නීතිය හෝ ඉස්ලාම් ධර්මයට අදාළ උලමාවරුන් බිහි කිරීම බවට සැක පහළ වේ. කලකට ඉහත විකාශය කරන ලද, වර්තමාන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විසින් දෙමළ භාෂාවෙන් ප්‍රකාශ කර ප්‍රචාරය කළ වීඩියෝවක් මගින් ද මෙය තහවුරු වේ.

අනු කාරක සභාව විසින් සිදුකළ නිරීක්ෂණ චාරිකාවේ දී බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ සියලුම ගොඩනැඟිලි වාස්තු විද්‍යානුකූල හැඩරුව සහ භාවිත කරන ද සංකේත සියල්ල ඉස්ලාම් ආගමට සහ අරාබි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් අංගයන්ගෙන් යුක්ත වූ බවත් භූමි අලංකරණය මඟින් ප්‍රදේශයට ආගන්තුක වූ අරාබි පරිසරයක් නිර්මාණය කර තිබූ බවත් දක්නා ලදී. ඒ අනුව මෙම ආයතනය වෙනත් අධ්‍යාපන පාඨමාලා පවත්වන මුවාවෙන් ෂරියා නීතිය හෝ ඉස්ලාම් ආගම හා සම්බන්ධ වූ ධර්මවාදීන් බිහි කරන ආයතනයක් වශයෙන් පවත්වා‍ගෙන යාමේ අරමුණින් පිහිටුවන ලද්දක් බවට අනු කාරක සභාව විශ්වාස කරයි. මෙම ආයතනයට ලැබුණු මුදල් සියල්ල  නීති විරෝධී වන හෙයින්ද, රජය මගින් ලබා දුන් ඉඩම්වලට අමතරව අනවසර ඉදිකිරීම් සිදු කර ඇති හෙයින්ද, මෙම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සියලු වත්කම් හා ගොඩනැගිලි රජයට පවරා ගෙන එය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වා ගෙන යාම සිදු කළ යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් නිර්දේශ කර තිබේ.

තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිස්බුල්ලා පසුගිය ජුලි 30දා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් “අපි බැටික්ලෝ කැම්පස් නිර්මාණය කළේ විශ්වවිද්‍යාල නගරයක් ලෙසටයි. මෙම සියලු ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය කෝරලෙයි පත්තු උතුරු ප්‍රාදේශිය සභාවෙන් ලබා ගෙන තිබෙනවා. එම ලිපි ලේඛන අප සතුයි. මෙම ආයතනය වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස කාතන්කුඩි නගර සභාවේ ලියාපදිංචි කළා. එහි පාඨමාලා 7ක් ඉගැන්වීම සඳහා ලියාපදිංචිය ඉල්ලා 2016 ජූලි මාසයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට මුදල් සම්බන්ධ වාර්තා ලබා දුන්නා. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා නිල අවසරය ලබා ගත්තා. 2015 දෙසැම්බර් මාසයේ කෝරලේ පත්තු වාකරේ ප්‍රාදේශිය ලේකම් මෙහි ගොඩනැඟිලි සැලසුම් අනුමත කළා. මෙම විශ්වවිද්‍යාල වැලිකන්ද මායිමේ ඉදිකිරීම පියවර ගත්තේ එම ප්‍රදේශවල සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව ජීවත් වන නිසයි. එම තරුණ පිරිසට උසස් අධ්‍යාපනය ලබා දීම අපේ අරමුණයි. මෙම විශ්වවිද්‍යාලයට ලැබෙන ලාබයෙන් 90%ක් හිමිවන්නේ විශ්වවිද්‍යාලයටයි. අධ්‍යක්ෂ මණ්ඩලයට හිමිවන්නේ 10%ක් පමණයි. බාහිර විශ්වවිද්‍යාලයක සිවිල් ඉංජිනේරු විද්‍යාව ඉගැන්වීමට ලක්ෂ 24ක් පමණ වැය වෙනවා. අපේ වසර හතරටම වැයවන්නේ ලක්ෂ 4ක් පමණයි.”

2015 ජුලි මස 03 වැනිදා බැටික්ලෝ කැම්පස්හි පාලනාධිකාරිය මෙය විශ්වවිද්‍යාලක් ලෙස ලියාපදිංචි කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. එහෙත් එයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය හිමි වී නොමැත. ගැටලු කිහිපයක් පවතින බැවින් මෙම විශ්වවිද්‍යාලයට මෙතෙක් අනුමැතිය ලබා නොදුන් බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.

මෙම ආයතනය විශ්වවිද්‍යාලයක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ගැසට් කර නොමැති හෙයින් එයට උපාධි ප්‍රදානය කිරීමේ හැකියාවක් නොමැත. එය තවමත් පවතින්නේ පෞද්ගලික ආයතනයක් ලෙසිනි. එහෙත් බැටික්ලෝ කැම්පස් නිල වෙබ් අඩවියේ සඳහන් තොරතුරුවලට අනුව ඔවුන් විදේශ විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ දැනටමත් අනුබද්ධව කටයුතු කරන බව පෙනී යයි.

රජයට සහ තම සමාගමට කොටස් අයිතිය හිමිවන පරිදි මෙම ආයතනය පවත්වාගෙන යෑමට තමා සූදානම් යැයි හිස්බුල්ලා පවසයි. මෙම ආයතනය රජයට පවරා ගැනීමට නොහැකි බවද එවැනි නීතියක් නොපවතින බවද හදිසි නීතිය යටතේ වුව එය පවරා ගැනීමට නොහැකි බවද හිස්බුල්ලා සඳහන් කර තිබේ.

රජය යෝජනා කරන පරිදි යම් පදනමක් යටතේ කොටස් අයිතිය බෙදා ගැනීමටත් පරිපාලනය, සිසුන් බඳවා ගැනීම්, උපකුලපතිවරයකු පත් කිරීම වැනි සියලු කටයුතු රජයට අවශ්‍ය පරිදි සිදු කිරීමට තමා සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබේ. ෂරියා නීතිය හෝ ඉස්ලාම් ආගමික ඉගැන්වීම් පිළිබඳ කිසිදු අදහසක් නොමැති බවද, එවැනි පාඨමාලාවක් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා නොතිබූ බවද ඔහු කියා තිබේ. සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් මුදල් එවා තිබූ බවට වන චෝදනා අසත්‍ය බව පවසන හිස්බුල්ලා එම මුදල් නීත්‍යානුකූල ලෙස තම සමාගමට ලැබුණු බවද සඳහන් කරයි. පෞද්ගලික විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 360ක් වසර දෙකක් තුළ සත් වතාවකදී තමන්ට ලැබුණු බවද ඒවා මහ බැංකුව හා ලංකා බැංකුව හරහා නීත්‍යානුකූලව ලැබුණු ණය මුදලක් බවද ඔහු සඳහන් කළේය. එම ණය මුදල පළමු වසර පහට පසුව වසර 15කින් ගෙවීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කරයි. එහෙත් ඔහුගේ පුත්‍රයා වරක් ප්‍රකාශ කර තිබුණේ මෙම මුදල් සෞදි ආරාබියෙන් ලැබුණු ආධාරයක් බවය.

හිස්බුල්ලාගේ සමාගමට මුදල් පැමිණි ආකාරය පිළිබඳ නීත්‍යානුකූල විමර්ශනයක් සිදු කිරීමට 2017 නව විනිමය පනතේ ඇති දුර්වලතා නිසා නොහැකියැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් එලෙස ප්‍රකාශ කර තිබේ.   

කෙසේ වුවද හිස්බුල්ලා ඉදිරිපත් කරන කරුණු සාවද්‍ය බවද තමන් මෙම චෝදනා ඉදිරිපත් කළේ විධිමත් ආකාරයෙන් සියලු සාක්ෂි මත බවද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කර තිබේ. මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගත නොහැකි යැයි හිස්බුල්ලා ප්‍රකාශ කළ ද එයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමේ හැකියාව රජයට ඇති බවද ඔහු සඳහන් කළේය.

මඩකලපුව විශ්වවිද්‍යාලය 2020 ජනවාරි 03 වැනි දින විවෘත කරන බවත් පසුගිය ජුනි මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද පැන නැගුණු විරෝධතා මත එය පසුවට කල් දැමුණු බවත් ඔහු කියා තිබේ.

අගෝස්තු 07 වැනි දින මේ සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළේ හිරා පදනම ලියාපදිංචි කිරීමේදී එම පදනම අහිතකර සංවිධානයක් ලෙස ජාතික බුද්ධි අංශය වාර්තා කර ඇති බවයි. එහෙයින් එය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය. බොහෝ මැති ඇමතිවරුන්ගේ මතය වී ඇත්තේ මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙසටය. අතුරලියේ රතන හිමියන්ගේ මතය වූයේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ලෙස රජය මගින් මෙය පවත්වාගෙන යා යුතු බවය. ඇෆ්ගනිස්ථානයේ හා පාකිස්තානයේ ද ෂරියා අධ්‍යාපනය ලබා දී දරැණු පුද්ගලයන් බිහිකළ බවද, ආරම්භයේ වෘත්තීය පුහුණු ආයතනයක් ඉදිකරන බව පවසා පසුව විශ්ව විද්‍යාලයක් ඉදි කිරීම පසුපස යටි අරමුණක් පවතින බවද උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාව නුදුරේදීම අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30