2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

වැලිකඩ ජේලර්ට පත්තුවුෙණ් ගාලු තුවක්කුවක්!

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 130

රුවන් තිහාර ජයරත්න මහතාගේ දියණිය 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. ඇයගේ ශිෂ්‍යත්ව විභාගය නියමිතව තිබුණේ ඉකුත් 4 වැනිදාටය. දියණියගේ අත්‍යාවශ්‍ය කටයුතු කිහිපයක්ම යෙදී තිබූ බැවින් වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වූ රුවන් ජයරත්න මහතා හදිසියේම නිවාඩුවක් අනුමත කොටගෙන අම්බලන්ගොඩ පිහිටි නිවෙස වෙත යමින් සිටියේ ඊට කලින් දින හැන්දෑවේය.

අගෝස්තු 3 වැනිදා පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සේවාස්ථානයෙන් පිටත් වූ රුවන් ජයරත්න මහතා දුම්රියෙන් අම්බලන්ගොඩ දක්වා ගොස් ඇත. දුම්රියපොළ පරිශ්‍රයේ නවත්වා තිබූ ඔහුගේ යතුරුපැදියට නැගගත් ජේලර්වරයා මාදම්පාගම පසුකර යමින් සිටියේය. ජේලර්වරයා නැගි යතුරුපැදිය මාදම්පාගම පසුකරන අතරතුර ඔහුට පසුපසින් පැමිණි යතුරුපැදියකි. දෙදෙනකු පැමිණි යතුරුපැදිය ජේලර්වරයා පසුකරනවාත් සමඟම එම යතුරුපැදියේ පසුපැදිකරු අත වූ ගිනි අවියකින් එක පිට එක වෙඩි වරුසාවක් ජේලර්වරයා වෙත එල්ලකොට තිබිණි. සැනෙකින් වේගය වැඩිකළ වෙඩික්කරු රැගත් යතුරුපැදිය මීටියාගොඩ දෙසට පලාගියේ විදුලි වේගයෙනි.

මෙම ප්‍රහාරය සියැසින් දුටු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් එක්වී යතුරුපැදිය සමඟ වැටී සිටි පුද්ගලයා රෝහල් ගත කළහ. ඒ වනවිටත් බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරු ජීවිතක්ෂයට පත්ව සිටි බවට රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

ඝාතනයට ලක්වූ ජයරත්න නැමැති බන්ධනාගාර ජේලර්වරයා අම්බලන්ගොඩ, කුලීගොඩ සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි 44 හැවිරිදි අයෙකි. මෘත දේහය කරාපිටිය රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර ඔහුගේ සිරුරට වෙඩි ප්‍රහාර 3ක් එල්ල වී ඇති බව හෙළිවිය. ඒවා බෙල්ල, වම් පපු ප්‍රදේශය හා වම් කකුලට වැදී ඇතැයිද අනාවරණය වී ඇත. මේ සමඟ සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී ටී 56 හිස් කොපු 3ක් හමුවූ බවද පොලීසිය සඳහන් කළේය.

ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අනුව මෙය ගාල්ල බන්ධනාගාරයේ එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ කොන්ත්‍රාත්තුවක් මත දකුණේ පාතාලයන් විසින් සිදුකර ඇතැයි තොරතුරු වාර්තා වෙමින් පවතී. ඝාතනය පසුපස බන්ධනාගාර ගතවූවන්ගේ පාතාල ක්‍රියාකාරකම් හා හෙරොයින් ජාවාරම නිදහසේ සිදුකිරීමට අදාළ කාරණා පවතින බවද වාර්තා වේ.

ඝාතනය වූ ජේලර්වරයා බූස්ස බන්ධනාගාරයේ සේවය කර තිබුණේ 2014 වසරේදී පමණය. එවකට ඔහුගේ දක්ෂතාව නිසා ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර් ලෙස පත්වීම ලබා සිටි බව කියැවේ.

ලසිත් මධුසංක හෙවත් පොඩි ලැසී මැගසින් බන්ධනාගාර ගතව සිටී. ඔහුට එරෙහිව ගාල්ල හා බලපිටිය අධිකරණවල නඩු පවතී. ඒවා විභාග වන දිනට පෙර පොඩි ලැසී ගාල්ල බන්ධනාගාරයේ රඳවා තබයි. එහිදී ගාල්ල බන්ධනාගාරයේ අදාළ ජ්‍යෙෂ්ඨයාගෙන් ඔහුට සැලකිලි ලැබෙන බව කියැවේ. නඩුවෙන් පසුවත් දින කිහිපයකට එහිම රඳවා තබාගන්නා බවද බන්ධනාගාර නිලධාරීන් දන්නා කරුණකි. මේ අතර බලයේ පොඩි ලැසීට ඇවැසි ඕනෑම කටයුත්තක් සිදුකිරීමට අවකාශය හිමිවන බැව් රහසක් නොවීය. මේ අතර කාලයේ හෙරොයින් ජාවාරම්, කුලියට මිනීමැරීම කොන්ත්‍රාත් හා විරැද්ධවාදීන් ඝාතනය කිරීම සිදුකරන බවටත් ඉන් ලබන ආදායමෙන් කොටසක් ගාල්ල බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨයකුට ලැබෙන බවටත් චෝදනා එල්ල වී තිබිණි. මෙම සිදුවීම මෙසේ වෙද්දී සේවයේ නිරතව සිටි ඝාතනයට ලක්වූ ජේලර්වරයා පෙර කී සිදුවීමට එරෙහි වී ඇත. සෙසු නිලධාරීන් පිරිසක්ද ඔහුට සහය පළකර ඇත. මේ තත්ත්වය තුළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා හා රුවන් ජයරත්න අතර ගැටුම උග්‍ර වී ඇති බවට වාර්තා වේ.

මේ අතර 2018 ඔක්තෝබර් මාසේ දවසක එක්තරා සිද්ධියක් විය. මීටියාගොඩ පොලිසිය විසින් හෙරොයින් ජාවාරමේ නිරත දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ ආසන්නයේ කුකුළු මස් අලෙවි කරන ස්ථානයකට ගොස් සිටි රුවන් ජයරත්න ජේලර්වරයාද එහිදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඒ වනවිට ඔහු ගාල්ල බන්ධනාගාරයේ සේවය කරමින් සිටියේය. පසුව ඔහුට එරෙහිව නඩු පවරා ඇතත් එම නඩුවෙන් ඔහු නිදොස් කර නිදහස් කර තිබිණි. මේ අතර එම සිදුවීම දැනගෙන එම බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඔහු වැඩ තහනමකට ලක්කර තිබුණි. ඉන් මාස කිහිපයක් ගතවූ පසුව රුවන් ජයරත්න මහතාට යළි රැකියාව ලැබී තිබුණේ වැලිකඩ මැගසින් බන්ධනාගාරේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වශයෙනි.  ඒ මීට මාස හතරකට පමණ ඉහතදීය. මේ ආකාරයට අපහසුතාවයට පත් කොට සේවයෙන් පහකර සිටීම පිළිබඳව ජේලර්වරයා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවද වාර්තා විය.
ගාල්ල බන්ධනාගාරයේ වූ අක්‍රමිකතාවලට එරෙහිව කටයුතු කළ ජේලර්වරයාට වූ බලපෑම් රාශියකි. එබැවින් මෙම ඝාතනය එම සිදුවීම්වලට එරෙහි ප්‍රතිඵලයක් බවට ඥාතීහු සැකකරති. ඒ පිළිබඳ පැමිණිල්ලක් කරන ඥාතීන් ඇල්පිටිය පොලිස් අධිකාරිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මීටියාගොඩ හා අම්බලන්ගොඩ පොලිස්ථානවල නිලධාරීන් නොමැතිව වෙනත් පාර්ශ්වයක් මගින් මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසය. ඥාතීන් වැඩිදුරටත් කියා ඇත්තේ ඝාතනය වූ අය මීට ඉහතදී තමාට ජීවිත තර්ජන පවතින බවට පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බවය.

ගාල්ල බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයා තම වැටුපට වඩා විශාල වශයෙන් ආදායම් උපයා ඇත්තකු බව කියති. ඔහුට අයත් දේපල රාශියකි. ඒ අතර ගාල්ල කලහ ප්‍රදේශයේ විශාල නිවාස තුනක් පවතින බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත්තේ රැවන් ජයරත්න ඇතුළු පිරිසක් මාර්ගයෙන් බවට අදාළ ජ්‍යෙෂ්ඨ ජේලර්වරයා සැකකරමින් සිට ඇතැයිද කියති. මේ කාරණා නිසා ජ්‍යෙෂ්ඨ  නිලධාරියා පාතාලයේ පොඩි ලැසීට ජයරත්නගෙන් හිරිහැර පවතින බව දන්වා තිබූ බවට තොරතුරු ඇතැයි කියති.

ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදවා විමර්ශන සිදුකෙරේ. එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් විමර්ශනයක් ඉල්ලා ඇත.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30