2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ෂැන්ග්‍රිලා බෝම්බෙන් මාස තුනකටත් පස්සේ සීල් කළ පෙට්ටියෙන් ගෙදර ආ විහඟ

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 224

ෂැන්ග්‍රිලා බෝම්බ පිපිරීමෙන් පස්සේ අපේ පුතා අතුරුදන් වෙලා හිටියේ. කිසිම ආරංචියක් නෑ. දවස් තුනක් එකදිගට හෙව්වා තොරතුරක් නෑ. අන්තිමට ෂැන්ග්‍රිලා එකේ සී.සී.ටී.වී. කැමරා දර්ශන බලන්න ලැබුණා. සහරාන් බෑග් එකක් උස්සාගෙන හෝටලයට එද්දී පුතා පිටිපස්සෙන් ඇවිත් සහරාන්ගේ පිටට අත තියනවා. ඒත් එක්කම බෝම්බය පුපුරනවා.

අප්‍රේල් 21 ෂැන්ග්‍රිලා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ විහඟ තේජන්ත තරුණයාගේ පියා වන ඩී.ඩී. සුරාජ් නිලංග (49) සිය පුත්‍රයාගේ අවසන් තත්ත්පර කීපය පිළිබඳව වූ ආරංචිය කීවේ දැඩි සංවේගයෙනි.

පාස්කු දින ප්‍රහාරයේදී කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරීමත් සමඟ එහි සේවයේ නියුතුව සිටි විහඟ තේජන්ත තුන් මාසයක් ගතවන තෙක්ම අතුරැදන්ව සිටියේය. විහඟ තේජන්තගේ ජීවිතයට හානියක් සිදුව ඇති බව අනාවරණය කරගැනීමට හෝටලයේ තිබූ සී.සී.ටී.වී. දර්ශනය සාක්ෂියක් වී තිබුණි. අවසානයේ ගෙවුණු දින සති අනුව තුන් මාසයේ දානය දෙමින් පින් අනුමෝදන් කොට දරුවා වෙනුවෙන් තවත් පින් දහම් කරන්නට මව්පියන් කටයුතු කර ඇත.

කෙසේ වෙතත් බෝම්බ ප්‍රහාරයෙන් අතුරැදන්ව සිටි විහඟ තේජන්තගේ සිරැරැ කොටස් කීපයක් ප්‍රහාරයෙන් දින 108කට පසුව අංක 54/C, ගණේමුල්ල, බුලුගහගොඩ ලිපිනයේ පිහිටි නිවසට ලබාදී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
විහඟ තේජන්තගේ වියෝව ගැන නිවෙමින් තිබූ දුක් කඳුළු යළිත් අලුත් කරමින් ඇතිකළ සිදුවීම පිළිබඳව තේජන්තගේ පියා මෙසේ පැවසීය.

උසස් පෙළ කරලා ගෙදර හිටපු පුතාට නැන්දා මේ ජොබ් එක හොයලා දුන්නේ. පුතා ආසාවෙන් රස්සාවට ගියා. ෂැන්ග්‍රිලා හෝටලය ආරම්භයේදීමයි පුතාට රස්සාව ලැබුණේ. 2017 දෙසැම්බර් මුල සිට පුතා එතන වැඩ කළේ. පවුලේ තිබුණු පින්කමකට සහභාගී වෙලා පුතා අන්තිමට රස්සාවට ගියේ අප්‍රේල් 21 පාන්දර 4.00ට විතර. එයාට වැඩට ඉන්න තිබුණේ උදේ 6.00ට. ෂැන්ග්‍රිලා එකේ බෝම්බ පිපිරීම දැනගත්තාම මාත් එක්ක පවුලේ පස් දෙනෙක් හෝටලයට ගිහින් හොයලා බැලුවා. ආරංචියක් තිබුණේ නෑ. රෝහල් ගණනකට ගියා. මෝචරි ගානෙ ගියා පුතා හොයන්න බැරිවුණා. 22 සහ 23 වැනිදා දවස් දෙකම හෙව්වා. කිසිම හෝඩුවාවක් නෑ. අන්තිමට මට කීවේ හොයන්න බැරි සිරුරු කොටස් තියෙනවා. ඩී.එන්.ඒ. ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඒකට මගෙන් කොටසක් ගත්තා අප්‍රේල් 23 වැනිදා. ඊට පස්සේ මම ගෙදර ආවා.

තේජන්තගේ පියා අප්‍රේල් 23 වැනිදා යළි නිවසට පැමිණ තිබුණේ දරැවා ගැන හෝඩුවාවක් හෝ නැතිවය. මේ අතරතුර කාලයේ තේජන්තගේ ඥාතීන් කිහිප දෙනකුට හෝටලයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන නැරඹීමට අවස්ථාව සලසා තිබිණ. එහිදී හඳුනාගෙන තිබුණේ බෝම්බ පිපිරීම සිදුකරන සහරාන් නැමැති ත්‍රස්තවාදියා ආසන්නයේම විහඟ තේජාන් සිටින බවකි. ඒ අනුව ඥාතීන් තහවුරු කරගෙන තිබුණේ තේජාන් ජීවිතක්ෂයට පත්ව ඇති බවටය. ඒ අනුව සත් දිනට සහ තුන් මාසයට දාන පිංකම් සිදුකළ නිවැසියෝ සොවින් කල් ගෙවූහ.

පුතා වෙනුවෙන් තුන් මාසයට බණක් කියලා දානයක් දුන්නා. ඒ පහුගිය 21 වැනිදා. ඒ වෙනකම් ඩී.එන්.ඒ. ටෙස්ට් එකේ තොරතුරක් නෑ. මට එදා දීපු රිසිට් එක අරගෙන 24 වැනිදා බත්තරමුල්ලට ගිහින් හොයලා බැලුවා. ඒ දානෙට පස්සේ. එතන හිටපු මිස් කෙනෙක් ඩී.එන්.ඒ. 3ක් විතරයි නොගැලපුණේ. අනිත් සේරම යවලා ඉවරයි කියලා කිව්වා. මම කීවා අනේ මිස් මගේ පුතාගේ එක ඔය අතරෙ තියෙනවාද බලන්න කියලා. ඒ මිස් කීවේ පුතාගේ ඩී.එන්.ඒ. රිපෝට් එක මැයි 29 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි අධිකරණ වෛද්‍ය නිලධාරියාටයි යවලා තියෙනවා කීවා. නමුත් මාස දෙකක් ගිහිල්ලත් මට ලැබුණේ නෑ. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් හොයලා බැලුවා. එතැනින් කීවා රිපෝට් එක තියෙනවා කියලා. එයාලා කීවා කැමති නම් ශරීර කොටස් ටික ගෙනියන්න පුළුවන්. නැත්නම් රජය මගින් වළදැමීම කරනවා කියලා. අනේ මගේ දරුවාගේ තියෙන ටික මට දෙන්න ගෙනියන්න කියලා මම ඉල්ලුවා. ඒකට උසාවි නියෝගයක් අවශ්‍ය බවත් කීවා.

මේ කාරණය සිතේ තබා නිවසට ගිය තේජාන්ගේ පියා ඒ පිළිබඳව බිරියට හෝ පැවසුවේ නැත. පසුදිනයේ පුතා වෙනුවෙන් පොළොන්නරැව ප්‍රදේශයේ පුණ්‍ය කටයුත්තකට සහභාගීවීමට තිබූ බැවින් එයට සහභාගී වී පැමිණි පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද දුරකථන ඇමතුමට අනුව තේජාන්ගේ පියා එහි ගොස් ඇත.

අගෝස්තු 2 වැනිදා පොලිස් මෝචරියට ගිහින් අවශ්‍ය දේ ලෑස්ති කරගෙන 3 වැනිදා ශරීර කොටස් ගන්න සූදානම් වුණා. මල් ශාලාවකට කතා කරලා සීල් කරපු පෙට්ටියකින් කොටස් ටික ගෙදර ගෙනත් අවසන් බුහුමන් දැක්වූවා. එතන තිබුණේ පුතාගේ ඔළුව, දකුණු කකුල සහ හදවත විතරයි. මේ රජයේ වැඩපිළිවෙළ ගැන හරිම අප්‍රසාදයෙන් ඉන්නේ. වගකිවයුතු අංශවලින් වැඩක් කෙරුණෙම නෑ. රජයේ අඩුපාඩුමයි දකින්නේ. අන්තිමට බෝම්බ ගහන්න උදව් කරපු අය නිර්දෝෂයි. මැරුණු අහිංසක මිනිස්සු බෝම්බ පුපුරවගෙන මැරුණා වගේ තත්ත්වය. වරදකරැවන්ට දඬුවමක් නෑ. අහිංසක මිනිස්සු පවුල් පිටින් වන්දි ගෙවනවා. මගේ දරැවා විතරක් නෙවේ මේ විනාශයෙන් රටේ තව කී දෙනෙක් නැති වුණාද?* විහඟ තේජාන්තගේ පියා ආවේගයෙන් ප්‍රකාශ කළේය.

1998 වර්ෂයේ උපන් තේජාන් බැලීමට රෝහලට ගිය පියා දැක තිබුණේ බිරියට ආසන්නයේ උන් මුස්ලිම් මවකට සිය දරුවාට කිරි පෙවීමට නොහැකිව සිටින බවකි. රෝහලේ කාර්ය මණ්ඩලය අම්මාවරුන්ගෙන් ඉල්ලා තිබුණේ එම දරුවාට කිරි ලබාදෙන ලෙසය. ඊට ඉදිරිපත් නොවුණු මවුවරැන් අතරින් ඉදිරියට ගිය විහඟ තේජන්තගේ මව එම මුස්ලිම් දරැවාට සිය කිරි පෙවූ මතකය අවදි කරමින් පියා කියා සිටියේ එසේ උදව් කළ ජාතිකයකුගේම අවැඩක් නිසා සිය පුත්‍රයා මරණයට පත්වීම අවාසනාවක් බවය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා: ගම්පහ තිලකරත්න දිසානායක

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30