2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

සිසුන්ට සරසවිවල දොර වහන නවකවද යක්ෂයා

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

නවකවදය හේතුවෙන් වසරක සිසුන් දෙදහසකට ආසන්න පිරිසක් රජයේ සරසවි හැර යන බවට පුවතක් පසුගිය සතියේ අසන්නට ලැබුණි. එමෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නවකවදය වැළැක්වීමට අදාළ දැනුවත් කිරීම් විශ්වවිද්‍යාල පරිපාලනය අරභයා සිදුකරන බවද අසන්නට ලැබුණි. මේ සියල්ල පදනම් කරගෙන දේශය පුවත්පත උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇමතූවෙමු. එම සංවාදයේදී මතුවූ කරුණු ඇතුළත්ව පහත සටහන සකස් වී ඇත.

බොහෝ කලක පටන් විශ්වවිද්‍යාල පද්ධතියේ අඩුවැඩි වශයෙන් නවකවදය පැවතියේය. එසේම එය හේතු කොටගෙන කලින් කලට ශිෂ්‍ය සියදිවි නසාගැනීම්, මරණ, තුවාල කිරීම, ලිංගික අතවර කිරීම් ආදිය අසන්නට ලැබුණි. නමුත් බාහිර සමාජයේ සිටින උපාධිධාරීන් තමන්ට ලැබුණු අත්දැකීම් අනුව ඉතා සුළුවෙන් මේ තත්ත්වය දකිති. එහෙත් මෑතක සිට යම් යම් ශිෂ්‍ය කණ්ඩායම් විසින් සංවිධානාත්මකව ශාරීරික මානසික පීඩාවන් ඇති කරමින් මෙම ක්‍රියාවලියේ නිරතව සිටිති. ඇතැම්විට මේ තත්ත්වයන් ලිංගික අතවර දක්වා බරපතළ වෙයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබෙන ලිපි පැමිණිලි අනුව කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ශිෂ්‍යයන් ඇතුළත් නොවීමටද නවකවද භීතිකාව හේතු වී ඇති බවයි. එසේම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් දෙදහසකට ආසන්න පිරිසක් පළමු වසරේ අවසානය වනවිට සරසවි හැරයති. එයින් අති බහුතරයක්ද විශ්වවිද්‍යාල හැරගොස් ඇත්තේ නවකවදය නිසාවෙනි. ඇතැමුන් ශාරීරික මෙන්ම මානසික පීඩාවට පත්වී මේ වනවිටත් ප්‍රතිකාර ගනිමින් සිටිති.

සොයා බැලීමේදී පෙනී යන්නේ පසුගාමී දේශපාලන ව්‍යාපාරවල අවශ්‍යතා මත ඉතා සුළු පිරිසක් වන ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සරසවි තුළ නවකවද ක්‍රියාවලිය මෙහෙයවන බවයි. එහෙත් විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින බහුතරයක් සිසුහු මෙම නවකවද ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරති. එම නිසාවෙන් සංවිධානාත්මක සුළු පිරිසකගේ අවශ්‍යතාව මත මෙලෙස කටයුතු සිදුවීමට ඉඩදීම සුදුසු නැත. කලකට ඉහතදී ශිෂ්‍යයකු ඝාතනය වීමත් සමඟ ඇතිවූ සමාජ කථිකාවේ ප්‍රතිඵලයක් ලෙස නවකවද වැළැක්වීමේ පනත හඳුන්වා දුන්නේ එබැවිණි. එහෙත් ඉන්පසුවද විවිධ සිදුවීම් වාර්තා විය. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ උසස් තාක්ෂණ ආයතනයේ සිසුවෙක් සියදිවි නසා ගැනීම, පේරාදෙණියේ සිසු අතුරුදන් වී පසුව සියදිවි නසා ගැනීමක් වාර්තා වීම ඒ අතරින් ප්‍රධානය.

මේ සම්බන්ධ විශ්වවිද්‍යාල පරිපාලනය උප කුලපතිවරු, පීඨාධිපතිවරු, උපදේශක මණ්ඩලය ගෙන්වා දැනුවත් කර ඇත. පියවර කිහිපයක් ඔස්සේ කෙරෙන මෙම දැනුවත් කිරීම් තවදුරටත් සිදුවෙමින් පවතී. එහිදී පැහැදිලිවම විශ්වවිද්‍යාල යනු රටේ නීතියට ඉහළින් තිබෙන ආයතනයක් නොවන බව පෙන්වාදීම සිදුවේ. වෙහෙසකර අධ්‍යාපන මාවතක පැමිණ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ රටේ දුප්පත් සහ පහළ මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ය. එම දරුවන්ට අමුතුවෙන් නවකවදය දී පීඩාවට පත්කළ යුතු නැත. පොහොසත්ම පවුල්වල දරුවෝ විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙති.

සාමාන්‍ය ගැටලුවක් නම් විනය ක්‍රියාමාර්ගයකින් නැවැත්විය හැකිය. ශාරීරික මානසික හෝ ලිංගික පීඩාවක් සිදුවේ නම් පනත අනුව පියවර ගත යුතුය. නවකවදය යනු කුමක්දැයි පනතේ නිශ්චිත ලෙස දක්වා තිබේ. ශිෂ්‍ය සංගම් මෙම පනත ශිෂ්‍ය මර්දනයක් ලෙස හුවා දක්වමින් සිටී. මෙහිදී සරසවි සිසුන් සොයාබැලිය යුත්තේ අතීතයේ පටන් ශිෂ්‍ය සංගම්වල සිටි නායකයන් අද සිටින්නේ කොහේදැයි කියාය. තමන්ගේ තැන සාදාගැනීමට වෙහෙසෙන ඔවුහු අවසානයේ ප්‍රධාන දේශපාලන ධාරාවල්වල නතර වී සිටිති.

පංති තහනම් කිරීම සම්බන්ධ නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා විටදී ඊට අදාළ සිසුන් පිළිබඳ අනුකම්පාවෙන් බොහෝ දෙනා බලති. ශිෂ්‍ය සංගම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටී. එහෙත් නවකවදය හේතුවෙන් සරසවියෙන් ඉවත්වී යන දරැවන් ගැන කිසිවෙක් කතා නොකරති. ඔවුන්ද මේ රටේ දුප්පත් මවුපියන්ගේ දරුවන්ය. එම දරුවන්ගේ මානසිකත්වය පිළිබඳ අවබෝධ වන්නේ ඔවුන් අවසන්වරට එවන ලිපි පිළිබඳ සොයා බලනා විටය. ඔවුන් බොහෝදෙනා අතිශය මානසිකව කඩාවැටී සිටිති. එම දරුවන් වෙනුවෙන්ද කවුරුන් හෝ සටන් කළ යුතුය. එහෙත් ඔවුන් සොයාගෙන ගොස් කරුණු විමසීමට ශිෂ්‍ය සංගම් ඉදිරිපත් නොවේ.

ශිෂ්‍ය සංගම්වලට තමන්ට අදාළ රාජකාරියක් තිබේ. එහෙත් පරිපාලනය නිත්‍යනුකූලව ක්‍රියාත්මක කිරීම විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගේ රාජකාරියකි. දෙපිරිසකට විශ්වවිද්‍යාල පාලනය කිරීමට නොහැක. ශිෂ්‍ය සංගම්වලට අධ්‍යාපන කටයුතු දේශපාලන කටයුතු ආදී ඕනෑම කටයුත්තක් කළ හැකිය. දේශපාලනය කිරීමට ඕනෑම අයකුට රටේ නිදහස ඇත. එහෙත් දේශපාලන ව්‍යාපාර හා සම්බන්ධ වී කිසිවෙකුට ශාරීරික මානසික අපහසුතා ඇති කළ නොහැකිය.

නවකවදය වළක්වා ගැනීමට නොහැකි වීම පිළිබඳ එක් පාර්ශ්වයකට පමණක් දෝෂාරෝපණය කිරීමට නොහැක. යම් තනතුරක වගකීමක් දරන්නේ නම් කවුරුන් හෝ එය නිසි පරිදි ඉටුකළ යුතුය. යම් ස්ථානයකට ගෙන ගොස් දරුවන් අපහසුතාවයට පත් කරනවිට ඊට සම්බන්ධ පොලීසිය දැනුම්වත් කිරීමට දුරකථන ඇමතුමක් ගැනීමට හැමදෙනාම ඉදිරිපත් විය යුතුය. මේ දරැවන් තමන්ගේ දරුවන් ලෙස සහෝදරයන් ලෙස සැළකීමට අනෙකුත් අයට හැකි විය යුතුය. මේ පසුපස සිටින්නේ සියලු ශිෂ්‍ය සංගම් නොවේ. එක්තරා ශිෂ්‍ය ව්‍යාපාරයකි. ඔවුන් පිළිබඳ විශ්වවිද්‍යාල පද්ධතියම දැන සිටියි. එහෙත් මෙය වැළැක්වීම ඇත්තේ පරිපාලනය යටතේය. විශ්වවිද්‍යාල පද්ධතියේම සමහර පීඨ දෙපාර්තමේන්තුවල නවකවදයට ඉඩක් නැත. එම ස්ථානවලට නායකත්වය දෙන ආචාර්ය මණ්ඩලවලට එය කළ හැකිනම් සෙසු පිරිස්වලටද එය කළ හැකිවිය යුතුය.

ශිෂ්‍ය විනය සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ විශ්වවිද්‍යාල පාලක මණ්ඩලවලටය. අමාත්‍යංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හැටියට කරනුයේ සිසුන්ගේ දුක් ගැනවිලි ප්‍රශ්න පැමිණි හමුවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමයි. එහිදී නීතිපතිතුමා විමසා නීති සහය ලබාදීම පොලිස්පතිතුමා විමසා පොලීසියේ සහය ලබාදීම ආදීය සිදුවේ. අපරාධ හමුවේ නිවැරදිව නීතිය යටතේ ක්‍රියා කළ යුතුය. ඊට මැද මාවතක් නැත. සමාජය මෙම ප්‍රශ්න දැනගත යුතුව ඇත. ඉදිරියේදී මේ දරුවන්ගෙන් හෙළිකර ගත හැකි තොරතුරු ගැන බලාපොරොත්තුවක් තිබේ. එවිට මෙය සමාජගත වනු ඇත. මේ විශ්වවිද්‍යාල හැරයන්නේ දුප්පත් දරුවන්ය.

පසුගාමී චින්තනයේ ප්‍රතිඵලයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර

විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන අපේ ප්‍රජාවගේ පසුගාමීත්වයක් තමා නවකවදය කියන්නේ. විශ්වවිද්‍යාල තුළ ඒ විශ්වවිද්‍යාලවලට අනන්‍ය වෙච්ච සංස්කෘතීන් ගණනාවක් තියෙනවා. බාහිරින් ඉඳන් බලපුවාම මේ සම්බන්ධ විවේචනයන් ගණනාවක් එල්ල වෙනවා. අපි පිළිගන්නවා නවකවදය අපට අවශ්‍ය වෙන්නේ නෑ. එය විශ්වවිද්‍යාල තුළින් තුරන් කරන්න තමයි අපිත් මැදිහත් වෙන්නේ. අපිට අවශ්‍ය මේ සමාජයට නායකත්වය දෙන්න පුළුවන් ඉදිරිගාමී සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම. අපේ විශ්වවිද්‍යාල තුළ සමාජය එක්ක බලපුවාම නවකවදය සම්බන්ධයෙන් පසුගාමී තත්ත්වයක් තමයි තියෙන්නේ. අන්තරේ කියන සංවිධානයෙන් නම් නවකවදය සිදුකරන්නේත් නෑ ඒවලට අනුබල දෙන්නෙත් නෑ සිදුකරන අය ආරක්ෂා කරන්න මැදිහත් වෙන්නේත් නෑ. මෑතකාලීන පරිපාලනයෙන් ඊට එරෙහිව ලබාදීපු තීන්දුවලට දඬුවම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තෙත් නෑ.

නමුත් නවකවදය මුවාවෙන් රජය අරගෙන එනවා විශ්වවිද්‍යාල මර්දන කරන වැඩපිළිවෙලක්. රජය විශ්වවිද්‍යාලවල නවකවදය තියෙනවා කියලා බිල්ලෙක් ඇති කරලා. පෞද්ගලික විශ්වවිද්‍යාල කියනවා අපේ නවකවදය ශූන්‍යයි කියලා. ඒත් පෞද්ගලික විශ්වවිද්‍යාල ගත්තක් කාලයක් ගියාම ඒ ප්‍රජාව නිර්මාණය වුණාම සංස්කෘතිය කියන එක ඉබේටම බිහිවෙනවා. ලෝකේ ඕනෑම තැනක ස්වභාවය ධර්මය හා ගැටෙද්දී සංස්කෘතීන් නිර්මාණය වෙනවා. නමුත් අපිට ඕනෑ අපේ සංස්කෘතියේ තියෙන දේ වෙනස් කරන්න.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ඇමතිවරු කියපු දෙයක් තමයි නවකවදය හේතුවෙන් සිසුන් දෙදහක්, එක්දහස් ගාණක් සරසවියෙන් බැහැර වෙනවා කියන කාරණාව. අපිත් ඉල්ලනවා ඒ වගේ තොරතුරැ තිබෙනවා නම් අපිටත් ලබාදෙන්න අපිත් ඒ මැදිහත්වීම කරනවා. නවකවදය නිසා සරසවි හැරයන පිරිසට වඩා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන පිරිස දැන් කිහිප ගුණයකින් වැඩිවෙලා තිබෙනවා. ඔය කියන සංඛ්‍යාව ඇතුළේ බහුතරව ඉන්නේ රජයේ විශ්වවිද්‍යාලවල තිබෙන ගුණාත්මක බව අධ්‍යාපනයේ මදිකම නිසා ලංකාවේ හෝ විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුල්වන පිරිස. ඒ කොහොම වුණත් ප්‍රශ්නයට සුදුහුණු ගාන්න අපි ලෑස්ති නෑ. නවකවදය ප්‍රශ්නයත්, නවකවදය නැති කරන්නත් අපි මැදිහත් වෙනවා.

සංස්කෘතිය තේරුම් අරගෙන මිනිසුත් එක්ක සංස්කෘතිය වෙනස් කරන්නේ කොහොමද කියන සාකච්ඡාව එක්ක තමයි අපි ඊට මැදිහත් වෙන්නේ. පනතක් අරන් ඇවිල්ලා කොහොමද මේක නැති කරන්නේ. මිනිසුන්ට නීතියක් දාල කොහොමද මිනිසුන්ගේ සංස්කෘතියක් නැති කරන්නේ. මං කියන්නේ විශ්වවිද්‍යාල ගන්න එපා. ඒක පැත්තකින් තියන්න. ලංකාවේ මිනිසුන් අදහන කොච්චර පසුගාමීත්වයන් තිබෙනවාද එව්වා නීති දාල නවත්වන්න බැහැනේ. අපි විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන් හැටියට විශ්වවිද්‍යාල ප්‍රජාව වෙන්න පුළුවන්. මිනිසුන් අතර තියන සංස්කෘතියක් වෙනස් කරන්න ඒක වෙනස් කරන්න පුළුවන් අදාළ වැඩ පිළිවෙලේ තමයි අපි යන්නේ.

සංවාද සටහන: චමිඳු නිසල් ද සිල්වා