2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

තේ වගාවේ කොන්ද කඩන සෙස් බද්දේ වංගු ගැහිල්ල

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග ලෙස හඳුනාගෙන ඇත්තේ තේ, පොල්, රබර් වුවත් කලක පටන් මෙම වගාවන්ගේ වර්ධනය සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබේ. තේ මෙන්ම අනෙක් බෝග වගා දෙක ද මේ වනවිටත් දැඩි අර්බුදයකට ලක්ව ඇත. දැනට යම් තරමින් හෝ වර්ධනයක් පෙන්නුම් කරන තේ වගාවට ද වැඩි කලක් යන්නට පෙර කණකොකා හඬන බව කිව යුතුය. ඊට හේතු සාධක බොහෝය.

මෙරට විදේශ විනිමය උපයා දීමෙන් තෙවැනි තැන තේවලට හිමිව තිබේ. එවන් වටිනාකමකින් යුත් තේ වගාව කෙරෙහි බලධාරීන් දක්වන අඩු සැලකිල්ල නිසාම මෙම තේ කර්මාන්තය දිනෙන් දිනම අවදානම් කලාපයකට ගමන් කරමින් සිටින බව කුඩා තේවතු හිමියන්ගේ අදහස වී ඇත.

මෙරට නිෂ්පාදිත තේ සඳහා ලොව බොහෝ රටවලින් ඉහළම පිළිගැනීමක් ලැබී ඇති අතර වාර්තාවල සඳහන් වන්නේ සෑම වසරකම තේ කිලෝ මිලියන 500 – 520 අතර ප්‍රමාණයක් අපනයනය කිරීමට මෙරට තේ නිෂ්පාදකයන් සමත් වී ඇති බවයි. මෙරටට වාණිජ තේ වගාව ආරම්භයේ සිටම තේ අපනයනයෙන් ලෝකයේ පළමු තැන හිමිවුණි. එහෙත් ක්‍රමයෙන් තේ නිෂ්පාදනය තුළ අපට හිමිවුණ කීර්තිය ගිලිහෙමින් පවතින අතර කාලයක් පුරා අපගේ තරගකරුවන් වූ ඉන්දියාව, චීනය, කෙන්යාව සහ වියට්නාමය මේ වනවිට අප පසුකර බොහෝ දුර ගොස් තිබේ. එහෙයින්ම දිගු කලක් ලොව පිනවූ සිරිලක තේ අපනයනය කරන රටවල් අතුරින් මේ වනවිට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.

තේ නැවත වගාව, තේ අලුත් වගාව සහ තේ පැළ සිටුවීම යන ක්ෂේත්‍ර සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ලබාදුන් සහනාධාර ලබාදීම ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටින බව එහි සේවකයෝ පවසති. ඔවුන් පෙන්වා දෙන අන්දමට මෙම වර්ෂයේ (2019) කුඩා තේ ඉඩම් හිමියන්ට වගා සහනාධාර කිසිවක් ගෙවා නැති අතර 2018 වසරේ වගා සහනාධාර සඳහා ගෙවිය යුතුව ඇති මුදලින් රුපියල් දසකෝටි තිස්තුන් ලක්ෂයක පමණ මුදලක් හිඟ වශයෙන් පියවා තිබේ.

කුඩා තේ ඉඩම් හිමියන් දිරි ගැන්වීම සඳහා රජය කුඩා තේ වත් සංවර්ධන අධිකාරිය ඔස්සේ තේ නැවත වගාවට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ පහක් බැගින්ද, තේ අලුතින් වගා කිරීම සඳහා හෙක්ටයාර එකකට රුපියල් තුන් ලක්ෂ පනහ්දහසක් ද බැගින් ලබා දී ඇත. 2018 වසරේ තේ නැවත වගා කිරීම සඳහා සහනාධාර ඉල්ලා අයැදුම්පත් දහදහස් හත්සිය පනහක් පමණ ලැබී ඇති අතර එම සහනාධාර ලබාදීම සඳහා තෝරාගෙන ඇත්තේ අයදුම්පත් නවසිය හතළිස් හතක් පමණක් බවද කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවකයන් පවසති.

දැනට ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිපැයුමෙන් සියයට හැත්තෑ පහක් සැපයෙන්නේ කුඩා තේ වතු හිමියන් වෙතින් වෙන අතර මෙරට කුඩා තේ ඉඩම් හිමියන් වැඩි සංඛ්‍යාවක් සිටින රත්නපුර දිස්ත්‍රික්කය සඳහා 2018 වසරේ වගා සහනාධාර ගෙවා ඇත්තේ සියයට පනහක් පමණි. ඊළඟට කුඩා තේ ඉඩම් වැඩිම සංඛ්‍යාවක් හිමි ගාල්ල දිස්ත්‍රික්කයට වගා සහනාධාර සියයට හැට හතරක් ගෙවා ඇත. 2018 වසරේ වගා සහනාධාර අඩුවෙන්ම ගෙවා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයට වන අතර එය සියයට හතළිස් අටකි.
පිටරට යවන සෑම කිලෝවකින්ම දැන් වරාය මගින් &සෙස් බද්ද* ලෙස කිලෝවකට රුපියල් 13.30ක් බද්දක් අය කළත් ඉන් තේ කර්මාන්තයට කිසිම පිළිසරණක් නැත. මීට වසර 3කට පමණ පෙර මේ සෙස් බද්ද තේ මණ්ඩලයට ලබා දී තිබිණි. ඒ නිසා මේ මුදලින් තේ පර් යේෂණායතනයට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ලැබෙන මූල්‍ය ආධාර ගොවීන්ට ලබා දුණි. නමුත් දැන් මේ බදු මුදල වරාය අධිකාරියෙන් කෙලින්ම මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට යොමු කරනු ලබන අතර එහෙයින් තේ කර්මාන්තයට කිසිදු සහනයක් නොමැත.

තේ අපනයනය ඇසුරින් ගොඩනැගූ ඒ සෙස් බද්ද තේ මණ්ඩලයට නොදී ඒකාබද්ධ අරමුදලට බැරකර ගැනීම ආරම්භ වූ 2002 සිට දැනටත් ඒ මුදල් භාවිත කරනු ලබන්නේ ඒ ඒ ආණ්ඩුවල වෙනත් කටයුතු සඳහාය. තේ මණ්ඩලයේ හා තේ පර්ය්ෂණායතනෙය් මෙන්ම කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කාර්යභාරයන්ට විලංගු දැමීමට අමතරව පොහොර සහනාධාරය අහිමි කිරීම, පොහොරවල ප්‍රමිතිය බාල වීම, නැවත වගා නොකිරීම ආදී සියල්ලට හේතුව වී ඇත්තේ මේ සෙස් බද්ද කොල්ලකෑම බව කුඩා තේ වත් හිමියෝ පවසති.

තේ කර්මාන්තය ගොඩගැනීමට නම් පළමුව කළ යුත්තේ සෙස් බද්ද යළි තේ මණ්ඩලයට ලබා දී තේ මණ්ඩලයත්, තේ පර් යේෂණායතනයත්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියත් යළි සක්‍රීය කිරීමය. එසේම මෙම තේ වගාව සඳහා නැවත සහනාධාර ලබාදිය යුතුය. එම තේ සඳහා සහනාධාර ලබාදෙන්නේ සෙස් බද්දෙන් ලැබෙන ආදායමෙන් බැවින් එය මහා භාණ්ඩාගාරයට පමණක් නොවෙයි. තේ පලදාව සහ ප්‍රමිතිය ඉහළ නංවා ගැනීමට නම් අවුරැදු 12කට වරක් යළි තේ වගා කළ යුතුය. හෙක්ටයාරක තේ නැවත වගාවට නම් උඩරටට ලක්ෂ 18ක් පමණ ද පහත රටට ලක්ෂ 17ක් පමණ වැයවෙයි. කුඩා තේ වතු හිමියන්ට එතරම් මුදලක් වැය කළ නොහැකි බැවින් ඒ මුදලින් සියයට 60ක්වත් සහනාධාරයක් ලෙස ලැබිය යුතුය. එය තේ වගාවේ හා කර්මාන්තයේ උන්නතියට කරන ආයෝජනයක් බැවින් ඒ ගැන දෙවරක් සිතීමේ අවශ්‍යතාවයක් නැත.

 හසිත් අංජන