2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

එජාපය හදන අලුත් සන්ධානය

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 27

ඉදිරි ජනාධිපතිවරණය ඉතාම අවිනිශ්චිත වන්නේ ගොඩනැගී ඇති දේශපාලන බලවේග පෙළගැසීම අනුව කිසිදු පාර්ශ්වයකට ප්‍රකාශිත ඡන්දයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ගත නොහැකි වීම නිසාය. මීට පෙර පැවති සෑම ජනාධිපතිවරණයකදීම ප්‍රධාන පාර්ශ්ව දෙකට අනෙකුත් දේශපාලන බලවේග බෙදී යාම දක්නට ලැබිණ. බලවේග දෙකේ ප්‍රධාන මතවාද දෙකක් මත සංවිධානය වීම සාමාන්‍ය දේශපාලන හැසිරවීම විය.

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවීමට නියමිත ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ සන්ධානය හෙට (05) දිනයේ සන්ධාන ගතවීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙම නව සන්ධානයේ යෝජිත ව්‍යවස්ථාව මගින් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට නියමිත අතර එම ව්‍යවස්ථාවට අනුව නව සන්ධානය බිහිවීමෙන් පසුව ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ පාර්ලිමේන්තු කණ්ඩායමට පවතින හිමිකම අහිමිකර ඇතැයිද එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ලෙස නම් කෙරෙන මෙම නව සන්ධානයේ යෝජිත ව්‍යවස්ථාවෙන් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ තීරණ ගැනීම සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති අතර ඇතැම් විට එකම නායකයකුට දීර්ඝ කාලයක් නායකයා ලෙස සිටිය හැකි ලෙස ව්‍යවස්ථාව සකසා ඇති බවත් මෙම පෙරමුණේ මහලේකම් ධුරය එජාපයට අහිමි වන ලෙස ව්‍යවස්ථාව සකසා ඇති බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගියදා රැස්වුණු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීද ඒ පිළිබඳව යම් යම් මත ගැටුම් ඇතිවූ බවද සඳහන්ය.

ලබන සඳුදා (05) හෙට එළි දැක්වීමට නියමිත ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ සම්බන්ධව එජාපයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් අපි අදහස් විමසීමක් කළෙමු.

රටට අවශ්‍යම සන්ධානයක්
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ - ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ලබන 05 වැනිදා එළිදැක්වීමට නියමිත අපේ සන්ධානයට සෑම ජාතියක්ම නියෝජනය කරන පක්ෂ සියල්ලම එකතු කර ගන්නවා. අද ඊයේ නෙවෙයි මෙම සන්ධානය මීට ගොඩක් කාලයකට කලින් ඉඳන් කරන්න තිබුණ දෙයක්. දැනට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රී කණ්ඩායම් මෙහිදී අපිත් සමග එකතුවීමට නියමිතයි. මේ සන්ධානයක අවශ්‍යතාව රටට ඕනෑම වෙලාවක තමයි මේ සන්ධානය බිහිවෙන්නේ. අපි දැක්කා පසුගිය දවසක පොහොට්ටුවත් සන්ධාන ගතවුණා. නමුත් අපි දන්න පක්ෂ කිසිවක් එහි සිටියේ නැහැ. නමුත් අපගේ සන්ධානයට පිළිගත් පක්ෂ විතරයි එකතුවෙන්නේ.

මේ හදන්නේ රටේ පුළුල්ම සන්ධානයයි
නාලක ප්‍රසාද් කොලොන්නේ - පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ලංකා ඉතිහාසයේ පුළුල්ම සන්ධානය අපි ලබන 05 වැනිදාට හදනවා. මෙරට තිබෙන පිළිගැනීමක් සහිත දේශපාලන පක්ෂ තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. අපි දැක්කා පසුගිය කාලයේත් ඇතැම් දේශපාලන පක්ෂ සන්ධාන ගත වෙනවා. නමුත් අපි දැක්කේ නැහැ එහිදී පිළිගත් දේශපාලන පක්ෂ සන්ධාන ගතවන ආකාරයක්. මේ අපේ පක්ෂය හදන්න යන සන්ධානයට සියල්ලන්ගේම අනුමැතියත් ලැබී තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයාට සහාය ලබාගැනීමට මෙම නව සන්ධානය මනා රුකුලක් වනු ඇති.

මතවාද තිබුණත් සන්ධානයට එකඟයි
අජිත් මාන්නප්පෙරුම - මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය

යම් යම් මතවාද පැවතියත් මේ සන්ධානය ලබන මස 05 වැනිදා එළි දක්වනවා. ඒ වගේම තමයි අපිත් සමග විපක්ෂයේ බොහෝ දෙනා මේ සන්ධානයට එකතුවීමට නියමිතයි. අපි පක්ෂයේ සියලුදෙනා සමඟ සාමූහික තීන්දුවක් අරගෙන තමයි මෙම සන්ධානයට කැමැත්ත පළකර සිටියේ. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය මේ යටතේ ජයග්‍රහණය කිරීමට හැකියාවක් පවතී යන විශ්වාසය අපට තියෙනවා. කිසිවෙකුගේ විරෝධයක් මේ සඳහා නැහැ.

සියලු දෙනාගේම සහාය ලැබෙනවා
හර්ෂණ රාජකරුණා - ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලන පක්ෂ දහයකට අධික සංඛ්‍යාවක් මෙන්ම සිවිල් සංවිධාන රාශියක් මෙලෙස සන්ධාන ගතවීමට නියමිතයි. පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමටත් අපි මෙම සියලු බලවේග එකතුකර ගත්තා. ඒ වගේම තමයි මෙම මැතිවරණයටත් එවැනිම පුළුල් සන්ධානයක් තමයි අපි ගොඩනගන්නේ. ඇතැමුන් පක්ෂයේ අර්බුද මවාපාන්න උත්සාහ කරනවා. නමුත් අපගේ පක්ෂයේ සියලුදෙනාගේ සහයෝගය මේ සන්ධානයට ලබාදෙනවා.

වැඩි බලයක් එජාපයට ඕනෑ
නලින් බණ්ඩාර - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය

නව පෙරමුණක අවශ්‍යතාවක් අපි පිළිගන්නවා. කිසිම කෙනෙක් පෙරමුණක් ඕන නැහැ කියන්නේ නැහැ. මෙම සන්ධානයේ ප්‍රධාන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා මෙහිදී වැඩි බලයක් එජාපයට තිබිය යුතුයි. මහ ලේකම් තනතුර මෙන්ම පක්ෂයේ නායකත්වයත් එජාපයට හිමිවිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. මේ ව්‍යවස්ථාව යම් සංශෝධනයක් කළ යුතුයි කියලා තමයි අපි පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශ කර සිටියේත්. මේ පුළුල් සන්ධානයක අවශ්‍යතාව පෙර සිටම අපට තිබුණා. ඒ වගේම අපි දැක්කා පසුගිය දිනක යම් යම් කණ්ඩායම් එකතු කරගෙන සන්ධාන ගත වුණා. නමුත් පිළිගත් දේශපාලන පක්ෂ කිසිවක් එහිදී අපි දුටුවේ නැහැ. නමුත් පිළිගත් දේශපාලන පක්ෂ තමයි අපිත් සමඟ පත්වී සිටින්නේ. මේ නව සන්ධානය ලබන 05 වැනිදා අපි පිහිටුවනවා. මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි කියන එක තමයි අපි කියා සිටියේ. වෙන කිසිම දෙයක් නැහැ.

 

► සටහන - හසිත් අංජන