2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ජනපතිවරණයට වහින මුරුගසන් මහ වැස්ස

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 579

ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් මාසය ඉක්මෙන්නට පෙර පැවැත්විය යුතු බව නොරහසකි. එය කල්තැබීම ජනපතිවරයාටවත් කළ නොහැක්කකි. අවශ්‍ය නම් මැතිවරණ දිනය ඉදිරියට ගැනීමට පමණක් ජනපතිවරයාට බලයක් ඇත. ඒ හැර ජනපතිවරයාට දිනය තීරණය කළහැකි එකම තැන මැතිවරණ කොමිෂන් සභාව පමණය. 

පවතින නීතිය හා ක්‍රමවේද එසේ වෙද්දී තවත් මාස තුනකට පසුව ජනපතිවරණය පැවැත්වීම අනිවාර්යය. ඉදිරි ජනපතිවරණය පැවැත්වීමට නොහැකි වන්නේනම් ඒ මුරුගසං වර්ෂාව වැහැලා ලොක විනාශය වුවහොත් පමණයි. යනුවෙන් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය දිනක පැවසුවේය. 

එසේ නොමැතිව ජනාධිපතිවරණය කල්දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා මාධ්‍ය භූමිකාව. මැයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කරන වැඩමුළුවකදී අදහස් දක්වමින් මුරැගසන් වරැසාව ගැන කීවද ජනපතිවරණය නියමව ඇති සමයේ අන්තර් මෝසම් සමය ඇරඹීමට නියමිතය. එසේ නම් අන්තර් මෝසම් සමයේ ඇතිවන වර්ෂාව යම්හෙයකින් ජනපතිවරණයට බාධාවක් වේද? නොවේද? ගැටලුවකි.

තෙමෙන්නට නරකම වැස්ස මුරුගසන් වැස්ස බවට මත කියැවේ. ලෝක විනාශයට පෙර දින හතක් එකදිගට ඇද හැලෙන වැස්ස මේ නමින් හැඳින්වේ. මෙකී මුරුගසන් වැස්සට තෙමුණු අයට පිස්සු හැදෙන බවට ද කියමනකි. එම වැස්සට තෙමුණු කෙනකුට අනෙක් පුද්ගලයන් සතෙකු සේ පෙනෙන බවත් ඔවුනොවුන් සපාකාගෙන විනාශ වෙන බවක් කියමනකි. මේ හේතු නිසා මුරුගසන් වැස්සට නොතෙමී සිටීම යහපතකි. 

ඉහත කී පරිද්දෙන් මුරුගසන් වැස්සක් වැසීම හා ලෝක විනාශය සිදුවීමට පසුව අත්වන හොඳක් නැත. කරන යමක් පෙරකී විනාශයන්ට මත්තෙන් සිදුකළ යුතුය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අදහසට අනුව තවත් මාස තුනකට පසුව මුරැගසන් වරැසාව ඇතිවී ලෝක විනාශය නොවුණේනම් ජනපතිවරණය නිසැකයෙන්ම පැවැත්වීමට නියමිතය. එබැවින් රටේ ජනතාව කාගේත් අදහස තෙමෙන්නට නරකම වැස්ස මේ ටික කාලයට ඇද නොවැටේවා යන්නයි. 

කෙසේ නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දක්වන තොරතුරු අනුව අන්තර් මෝසම් වැස්ස ලබන සැප්තැම්බර් හා නොවැම්බර් මාස අතරතුරදී ඇතිවීමට නියමිතය. අන්තර් මෝසම් සක්‍රීය වීමත් සමඟ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගනී. ඒ හේතුවෙන් දිවයින පුර තද වැසි ඇතිවිය හැකිය. වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තා කරයි. මේ අතරතුර කාලයේ අකුණු අවදානමක් පවතින බවද එම අනතුරැවලින් ප්‍රවේශම්ව සිටිය යුතු බවටද අනතුරු අඟවයි. මෙම අයහපත් කාලගුණික තත්ත්වය පුරා මාස දෙකක් පැවතීම සාමාන්‍ය දෙයකි. මේ කාලසීමාවේ සුළං රටාව, සුළඟේ දිසාව හා වේගය වෙනස් වන නිසා නාවික කටයුතුවලදී ද ප්‍රවේශම් වියයුතු බවට අවධාරණය කරයි. 

අන්තර් මෝසම් ක්‍රියාත්මක වීමට නියමිත ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී සවස් කාලයේ ගිගුරැම් සහිත වැසි ඇතිවීම සිදුවේ. සැප්තැම්බර් මාසයෙන් පසුව සිදුවන කාලගුණ විපර්යාසය ජනපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ පැවතීම විශේෂයකි. එසේ අධික වැසි, සුළං හා අකුණු ඇතිවීම යම් හෙයකින් ජනාධිපතිවරණය සඳහා ස්වභාවික බාධා ඇති කරන්නේදැයි සැකයක් බඳුය.

කෙසේ නමුත් අන්තර්මෝසම් වැස්ස හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාවෙන් 30%ක් පමණ ලැබෙන බව වාර්තා වේ. එවැනි තත්ත්වයක් ඇතිවේද යන්න ගැටලුවකි. එවැනි වටපිටාවක තීරණාත්මක ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නම් හදසි අවශ්‍යතාවයකදී ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහාය මැතිවරණ කොමිසමට ලබාගැනීමට අවස්ථාවක් වනු ඇත.

පුරා මාස ගණනක් වියළිව පැවති ප්‍රදේශවලටත් අධික වැසි ලැබෙන අන්තර් මෝසම් සමය නොවැම්බර් අවසානය තෙක් පවතී. මුරුගසන් වැස්ස, ලෝක විනාශය හෝ ජනාධිපතිවරණය ‍ෙකසේ වෙතත් ගිගිරැම් සහිත වැසි පවතින අවස්ථාවලදී විදුලි උපකරණ භාවිතය මුළුමනින්ම නැවැත්විය යුතුය. ලෝහමය උපකරණ භාවිතය, එළිමහන් ස්ථානවල ගැවසීම, උස් ස්ථානවල රැඳීසිටීම, විවෘත වාහනවල ගමන් කිරීම ඉතා අනතුරුදායකය. එබැවින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා වන නවමු ප්‍රචාරණ ක්‍රමයක් යොදාගැනීමට ද ඉන්අවස්ථාව ඇතිවේ.

 සමන්ත විල්තෙර