2017 මාර්තු 04 වන සෙනසුරාදා

සමයංගේ අන්තිම විනාඩිය

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 793

පාතාලය වූ කලී තාවකාලිකය. සැමදා රජ වුවෝද සැමදා දිනුවෝද නැත. පරාජය මිස පාතාලයට උරුම දෙයක් නැත. මේ නිසා පාතාලයට ආවා ගියෝ මිස සිටියෝ නැත. කාලයක් පාතාලය රජ කළ ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලා, වම්බොට්ටලා, බැද්දගානේ සංජීවලා, නාවල නිහාල්ලා, ඕල්කට්ලා, කඩුවෙල වසන්තලා, මාමාස්මිල්ලා ඉහත කී කතාවට හොඳම උදාහරණ සපයයි. ඔවුන් පාතාලය පමණක් නොව රටේම රජවන්නට ගොස් මේ වන විට ඉන්නේ පරලොවය. ඒ නිසා පාතාලයට පැවැත්මක් නැති බව ලොවම දන්නා දෙයකි.

එකී කතාවට මෑතක සැපයූ හොඳම උදාහරණය වන්නේ කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියයි. එහිදී පාතාලයේ පස් දෙනෙකුටත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුටත් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. මේ කියන්නට යන්නේ ඒ ඛේදවාචකය තෙක් මේ පාතාල ගැටුමේ ආරම්භය ගැනය.

කඩුවෙල රණාල ප්‍රදේශයේ ගුරු යුවළක් තනිකම දැනෙමින් තිබූ ජීවිතයේ පාළුවට තිත තැබීම සඳහා දරුවකු හදාවඩා ගැනීමට තීරණය කරනු ලැබූවේ අනූව දශකයේය. එසේ හදාවඩා ගත් දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් ඔහුව සමාජයේ හොඳ පුද්ගලයකු කිරීමත් ඔවුන් දෙදෙනාගේ සිහිනය වූහ. ඒ අනුව ඔවුන්ගේ කූඩුවේ ජීවත් වීමට වාසනාව උදාවූයේ අනුරාධපුර ප්‍රදේශයේ කුඩා පිරිමි දරුවකුටය. එම දරුවා රැගෙන එන මේ ගුරු යුවළ ඉතා ආදරයෙන් ඔහුව හදාවඩා ගත්තේ කිසිඳු අඩුවක් නොතබිමිනි.

උඳුගොඩ සම්පත්ලාගේ අරුණ උදයංග නැමැති මේ දරුවා ප්‍රදේශයේ හොඳම පාසලේ අධ්‍යාපනය ලබන්නට වරම් ලද්දේය. එහෙත් තරුණයකු වෙත්ම ඔහු හිතුවක්කාර ගති පැවතුම් ඇත්තෙකු විය. කිසිවකු කියන දේ නාහන තැනට වැටුණු මේ තරුණයා නිතර නිතර නිවෙසට ප්‍රශ්න රැගෙන ආ අයකු විය. මේ නිසාම දැඩි ලෙස කනස්සලෙන් සිටි ඔහුගේ මවුපියන් නිතර නිතර උපදෙස් දෙමින් කීවේ වහාම අයහපත් ජීවිතය අත්හරින ලෙසය.

එහෙත් කිසිවකු කියන දෙයක් නෑසූ අරුණ අවසානයේ කඩුවෙල නරකම සමාජයට එකතු විය. මේ නිසා ගංජා ගැසීමටත් ඉන් අනතුරුව හෙරොයින් පානයටත් ඇබ්බැහි විය. අවසානයේ අරුණ සිය අධ්‍යාපනය අතරමඟදී අතහැර දැමුවේ කඩුවෙල අපත සමාජයේ නිත්‍ය නියෝජිතයකු වෙමිනි.

මේ අතර අරුණට පහරදීම්, ගංජා සමඟ අසුවීම් කිහිපයක් නිසා මහ උළු ගෙදර ලගින්නටද සිදුවිය. මේ නිසා අරුණට පාතලය ගැන අත්පොත් තබන්නට මැගසින් බන්ධනාගාරයේදී හැකිවිය. මේ නිසා අරුණ ටිකින් ටික චණ්ඩියකු බවට පත්වූයේ අනුවර්ත නාමයක් ද සමඟිනි. ඒ කඩුවෙල සමයා නොහොත් සමයං නමිනි.

සමයං එතැනින් පසු ගංජා වෙනුවට කඩු කිනිසිත්, කුඩු වෙනුවට ටී56 මයික්‍රෝ පිස්තෝලත් අත ගාන්නට විය.

මේ අතරතුර මීට වසර කිහිපයකට පෙර කොටුවේ පළතුරු ව්‍යාපාරිකයන් දෙදෙනකු අතර ගැටුමක් හට ගත්තේය. ඒ සිය වෙළඳාම සම්බන්ධයෙනි. එක් පාර්ශවයක් කිත්සිරිගේ වූ අතර අනෙක් පාර්ශවය නීල්ගේ විය. මේ දෙදෙනාම නයි මුගටින් සේ විය. කෙසේ මේ ඝට්ටනය අතරතුර නීල් අබිරහස් ලෙස ඝාතනය විය. මේ නිසා නීල්ගේ පවුලේ පිරිස් සැකකළේ මෙය කිත්සිරිගේ වැඩක් කියාය. ඊට පලිය ගැනීමේ අරමුණින් නීල්ගේ බිරියත් සහෝදරයත් සහ පුත්‍රායත් එක්ව කිත්සිරිගේ පුත්‍රයාව ඝාතනය කළේය. මෙම ඝාතනයට අවසානයේ නීල්ගේ පුත්‍රයාත්, බිරියගේ සහෝදරයාත් පොලීසියට කොටු විය. එසේ කොටුවුවත් නීල්ගේ පුත්‍රයා දිනුක සිය පියාගේ ඝාතනය ගැන පලිය කිත්සිරිගෙන් ලබා ගැනීම අත්හලේ නැත. ඒ සඳහා දිනුක බන්ධනාගරයේ සිට කිත්සිරි මැරීම සඳහා ලක්ෂ පහක කොන්තරාත්තුවක් ලබාදුන්නේය. ඒ ලබාදුන්නේ අතිජාත මිත්‍රයකු වූ කඩුවෙල සමයංටය. ලක්ෂ පහට අමතර පිස්තෝලයකුත් යතුරු පැදියකුත් ලබාදුන්නේ දිනුකගේ හිතේ තිබූ දැඩි වෛරය නිසාය.

අවසානයේ සමයං ගෝලයකු සමඟ ගොස් කිත්සිරිට වෙඩි තැබුවේය. එසේ වෙඩි තැබූ සමයං දඹුල්ලට පැනගිය අතර එහෙත් වැඩි කලක් යන්නට ගොස් පොලීසියට බඩුත් සමඟ කොටුවිය. සමයං නැවතත් බන්ධනාගාර ගත විය. එසේ බන්ධනාගාර ගතවූ සමයං බැලීමට නිතර ආවගිය මිතුරකු වූයේ චාමරය. චාමර හැමදාම සමයංගේ දුක ඇසීම සඳහා බන්ධනගාරයට ආවේය. කෙසේ වෙතත් එසේ යන එන අතරතුර චාමර අමුතු පණිවිඩයක් රැගෙන ආවේය. එනම් සමයං නැති නිසා කඩුවෙල මේ වනවිට සරා නැමැති අයකු විසින් පාලනය කරන බව කියාය. මෙය ඇසූ සමයං දැඩි ලෙස කෝපයට පත් වී සරා පරලොව යැවීමට මෙහෙයුම පටන්ගත්තේය. එහෙත් සරා සමයංට කලියෙන් ඉස්සර වූ අතර සමයංගේ හොඳම ගෝලයා වූ චාමර වෙඩිතබා ඝාතනය කළේය.

මෙය ඇසූ සමයංට යක්ෂාරූඪ විය. එම අවස්ථාවේම සිය ගෝලයන්ට බන්ධනාගරයේ සිට කීවේ හැකි ඉක්මණින් සරාව ඉවරයක් කරන ලෙසය. ඒ වන විට සරා පොලීසියට කොටුවී තිබිණි. එහෙත් සමයංගේ වෛරයේ අඩුවක් තිබුණේ නැත. සරා බන්ධනාගරයෙන් ඇප ලබා පැමිණි සැණින් වෙඩි තබා ඝාතනය කළේය. ඒ අනුව සමයං මහා පාතාලයකු ලෙස රටේ කතාවක් පැතිර ගියේය. මීට අමතරව සමයං තම හොඳම මිතුරාවන දිනේෂ්ද සිය ගෝලයන් ලවා කපා කොටා ඝාතනය කෙරුවේය. ඒ සැකයක් නිසාය.

කෙසේ වෙතත් සමයං සම්බන්ධයෙන් කොළඹ පාතාලය තුළ වැඩි කැමැත්තක් තිබුණේ නැත. පොඩි කොල්ලෙකුට යට වීමට තරම් කොළඹ පාතාලයන් හිස නැමුවේ නැත. මේ නිසා බන්ධනාගාරය තුළ කොළඹ පාතාලය සමඟ සමයං හැප්පුණේය. ඒ අතර අංගොඩ ලොක්කා උඩින්ම සිටියේය. මේ නිසා කොළඹ පාතාලයේ ලොකුම කුරුමාණම වූයේ සමයංය. මෙය සැබවින්ම සීතල යුද්ධයක් විය.

මේ අතරතුර බන්ධනාගාරයට අමුතු චරිතයක් ආවේය. යුද හමුදාවේ සිටි අයකු වූ මේ පුද්ගලයා චමී ලෙස හැඳින්වුයේය. තමන්ගේ පාඩුවේ සිටි චමීට සමයං ඉන්නට දුන්නේ නැත. නිතර ඔහුට හිරිහැර කරන්නට සමයං ඇතුළු ගෝලයෝ උත්සුක වූහ. මේ නිසා චමී සිටියේ කෝපයයෙනි. චමී ඇප ලබා යන දිනය ළංවිය. මේ අතරතුර ඇතුළේ සිටි අංගොඩ ලොක්කා චමී කැඳවා විෂ පෙව්වේය. ඒ සමයංට ගැසීම සඳහාය. ඒ අනුව එළියට ගිය චමීට ගිනි අවියක් ලබාදී සමයං අධිකරණ භූමියේදී ඝාතනයට සූදානම් විය. ඒ අනුව 2015 සැප්තැම්බර් 09 වැනිදා අධිකරණ භූමියේදී වෙඩිතැබුවේය. එහෙත් කුරුමානම වැරදී ගොස් සමයංගෙර් උරහිසට වැදී තුවාල විය. එදා ගැලවුණේ අනූනවයෙනි.

සමයං නැවතත් තුවාල හොඳ වී බන්ධනාගාරයට ආවේය. එසේ පැමිණ සුපුරුදු තක්කඩිකම් පාමින් සිටියේය. මෙවර තක්කඩිකම් පෑවේ දැනී හිත්තැටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ කඹුරුගමුවේ මදූෂ්ගේ හොඳම ගෝලයා වූ හර්ෂටය. කිහිප වතාවක් හර්ෂට චණ්ඩි පාර්ට් දමන්නට ගොස් දෙදෙනා ගහගත්තේය. මේ නිසා සමයං හර්ෂ සමඟ සිටියේ දැඩි වෛරයෙනි. හර්ෂ ඇපලබා ගියේය. එසේ ගියේ තම අනියම් බිරිය ජීවත්වන ඔබේසේකරපුර නිවෙසටය. එසේ ගොස් වැඩිකලක් ඉන්නට වුයේ නැත කඩුවෙල සමයංගේ මාරයන් හර්ෂ නිවෙසේ බත් කමින් සිටියදී වෙඩිතබා ඝාතනය කළේය.

මේ ඝාතනය පාතලයේ මදූෂ්ට එල්ල කළ මරු පහරක් විය. ඕනෑම පාතලායෙක් මදූෂ්ට උඩින් ගියේ නැත. මේ නිසා මදුෂ් සමයං වෙනුවට සමයංගේ බිරියට මරණ වරෙන්තුව යැවීමට තීරණය කළේය. හර්ෂ ඝාතනය කොට දවස් දෙකක් ගියේ නැත. මදූෂ්ගේ ගෝලයන් දෙදෙනකු වැලිකඩ බන්ධනාගාරය අසල රැඳී සිටියහ. ගැබිණි කාන්තාවක් කෑම රැගෙන බන්ධනාගාරයට එමින් සිටියාය. ඒ වනවිටත් සමයංගේ බිරිඳ ගැබ්බරව සිටිනිසා මදූෂ්ගේ ගෝලයන් ඒ කාන්තාව ගැන සැකසිතී ඇය සමීපයට ගියහ. උඹ නේද සමයංගේ ගෑනි යැයි ඇසුවේය. එසේ අසනවාත් සමඟින් වෙඩි තැබුවේය. වෙඩි තබා දෙදෙනාම පළාගියේ කඹුරුගමුවටය. ඒ හර්ෂගේ මළගෙදරටය. එසේ ගොස් මදූෂ්ගේ ගෝලයා මැරුණු හර්ෂගේ කනට ළංවී සැමදෙනා බලා සිටියදී රහසක් කීවේය. හර්ෂ අයියේ ඔන්න ඔයාගේ යුතුකම අපි කළා යැයි කීවේය. ඒ බව මදූෂ්ටද දැනුම් දුන්නේය. එහෙත් රාත්‍රීවන විට කතාව කනපිට හැරී තිබුණේය. සමයංගේ බිරිය කියා වෙඩිතබා ඇත්තේ වෙනත් කාන්තාවකට බව සැලවිය. මේ නිසා මදූෂ් ඇතුළු කල්ලිය කළබල විය. පසුව වෙඩිතැබූ දෙන්නාද පොලීසියට කොටුවිය. එහෙත් මදූෂ්ගේ වෛරය හිතේ තිබුණේය.

මේ අතරතුර සමයං සහ අංගොඩ ලොක්කා අතර ගැටුම උග්‍ර අතට හැරී තිබුණේය. ලොක්කාගේ ගෝලයන් තැන තැන සමයංගේ ගෝලයන් විසින් ඝාතනය කරන්නට විය. මේ නිසා ලොක්කා සිටියේ දැඩි වෛරයෙනි. කෙසේ වෙතත් සමයංට එදිරිව ලොක්කාත්, මදූෂුත් එකතු විය.

මේ අතරතුර මීට මාස හයකට පෙර අංගොඩ ලොක්කාගේ ගෝලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ඔහු පෙතියාගොඩ සංඛ වූ අතර ඔහු සන්තකයේ තිබී ගිනි අවිවලට අමතර යුද හමුදා ඇඳුම් කට්ටල හයක් සොයා ගත්තේය. මේ ගැන ඔහුගෙන් විමසුවත් සංඛ කීවේ නැත. එහෙත් බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුව ඔවුන් ඝාතනයකට සූදානම් වී සිට ඇත. මේ නිසා සමයංගේ ආරක්ෂාව පතා කළුතර බන්ධනාගාරයට මාරු කළේය. එහෙත් මාරයා පසුපස පැන්නුවේය.

දිනය පසුගිය 27 වැනිදාය. එදින සමයං ඇතුළු ගෝලබාලයන්ට කඩුවෙල අධිකරණයේ නඩුවක් විභාග වීමට නියමිතව තිබුණේය. මේ සඳහා කඩුවෙල සමයං ඇතුළු පස්දෙනෙක් කඩුවෙල රැගෙන යාමට සූදානම් කළහ.

ඒ වනවිටත් සමයංට මරණ තර්ජන එල්ල වී තිබූ නිසා බන්ධනාගාරයෙන් පූර්ණ ආරක්ෂාවක් ලබාදී තිබුණේය. සමයං ඇතුළු නඩය රැගෙන යාමට එක් බස්‍ රථයකුත්, ආරක්ෂාව සඳහා යන අයට වෙනම බස් රථයකුත් සූදානම් කර තිබුණේය.

සමයං ඇතුළු පස්දෙනා සමඟ බන්ධනාගර නිලධාරින් හතර දෙනෙකු සිටියහ. ආරක්ෂාව සඳහා නිලධාරින් හත් දෙනෙකු යොදවා තිබූ අතර ඉන් පස් දෙනෙකුට ගිනි අවි ලබාදී තිබුණය. බස් රථ දෙකම උදෑසන 8.20 පමණ කළුතර මල්වත්ත බන්ධනාගරයෙන් පිටත් විය. බන්ධනාගාරය පසුකොට මීටර් සියයක් එන විට කොහෙදෝ සිට පැමිණි කැබ් රථයක් බසය ඉදිරියට ආවේය. එම කැබ් රථය හිමින් හිමින් තවත් මීටර් සියයක් ඉදිරියට ගියේය. එක වර කැබ් රථය නතර විය. ඊට ඉදිරියෙන් වෑන් රථයක්ද තිබුණි. එකවර එම කැබ් රථයෙනුත්, වෑන් රථයෙනුත් පොලිස් ඇඳුමට සමාන නිළ ඇඳුම් ඇඳගත් පිරිසක් බැස ගත්හ. ඔවුහු අත ටී56 ගිනි අවි තිබුණෝය. එකවරම එම පිරිස ගිනි අවි බන්ධනාගාර බස් රථ දෙක වෙත එල්ල කරමින් වෙඩි තබන්නට පටන් ගත්හ. උදෑසන නිසා මුළු ප්‍රදේශයම දෙදුරුම් කා ගිය අතර අතර එකම ලතෝනියක් විය. විනාඩි පහක් පමණ එක දිගට වෙඩි තැබූ පිරිස ඉන් පසු සමයං ඇතුළු පිරිස ඉන්නා බස් රථයට ගොඩ විය. ඒ වනවිටත් වෙඩි වැදී පිරිස තැන් තැන්වල වැටෙමින් ජීවිතයත් මරණයත් අතර සිටියහ. සමයං සිටියේ බස් රථය තුළ පහත්වීය. ඇතුළට නැගගත් උන් සමයං ඇදගෙන බස් රථයේ දොර අසලට රැගෙන ආවේය. එසේ රැගෙන විත් හිසට වෙඩි කිහිපයක් තැබුවේය. කපා දැමූ කෙහෙල් කඳක් සේ සමයං බස් රථය තුළ පතිත විය. පිරිස නැවතත් වෙඩි තබමින් සිය වාහනවලට නැගී පළා ගියහ.

මේ සිදුවීම දෙස ගම්වැසියෝ නිවෙස්වලට වී බලා සිටි නිසා දඩිබිඩියේ පැමිණ තුවාල ලැබූ අය රැගෙන යන්නට වූහ. ඒ වනවිට සමයං ඇතුළු සිය ගෝලයන් පස් දෙනා ජීවිතය හැරගොස් තිබුණා. එසේම බන්ධනාගර නිලධාරියකුත් මැරී සිටියේය. තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් තිදෙනකු රෝහල වෙත රැගෙන ආහ. එහෙත් ඒ අතර සිටි අයෙක්ද මියගියේ බරපතළ තුවාල ලැබු නිසාය. මෙලෙස මිය ගියේ එස්.ආර්. විජේරත්න සහ එස්. ධර්මිගම් යන නිලධාරින් දෙදෙනාය. ඊට අමතරව සමයං, සුරංග, අමිල, කැළුම්, චලන යන අයද මිය ගියහ.

අවසානයේ පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළේ මේ සිද්ධියේ අගමුල සොයා ගැනීම සඳහාය.

එසේ පරීක්ෂණ ආරම්භ කරන විට සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන කැබ් රථය සොයාගැනීමට හැකිවිය. එසේම වෑන් රථයකුත් සොයා ගත්තේය. ඊට දිනකට පසුව තවත් වෑන් රථයක් හමුවිය. මේ සියලු වාහන සැකකරුවන් පැමිණි වාහන බවට සැක කළේය. ඔවුන් එම වාහන තැන් තැන් වල දමා ගොස් තිබුණේ නැවත සාක්ෂි සොයා ගැනීමට නොහැකි වන ලෙසය.

කෙසේ වෙතත් අවට තිබෙන සී.සී.ටී.වී. කැමර පද්ධති පරීක්ෂා කරන විට සැකකරුවන් පළා යන අයුරුද සටහන් වී තිබිණි.

මේ සියලු පරීක්ෂණ කෙරෙන අතරවාරයේ පොලීසියට තොරතුරක් ලැබුණේය. එනම් මෙම ඝාතනය පිටුපස අංගොඩ ලොක්කා සහ කඹුරුගමුවේ මදූෂ් සිටිනා බව කියාය. මෙම ඝාතනයට ලොක්කා පැමිණි බවද හෙළිවිය. ආයුධ සියල්ල ලබාදී ඇත්තේ මදූෂ් විසින් බවද හෙළිදරව් විය. එහෙත් මදූෂ් කාලයක සිට සිටින්නේ විදෙස්ගතව බවද මෙහිදී හෙළිවිය. කෙසේ වෙතත් මදූෂ් සිය ගෝලයන් හරහා මෙම ඝාතනයට උපරිම උදව් කර ඇත්තේ හර්ෂ ඝාතනයේ වාඩුව ගැනීමේ අරමුණින් බව හෙළිවිය. අංගොඩ ලොක්කා සම්බන්ධ වී ඇත්තේ සිය ගෝලයන් ඝාතනය කිරීමත් තමන්ට මරණ වරෙන්තු එවීමේ කෝපයටත් නිසා බව මේ වන විට හෙළිවී ඇත.

කෙසේ වෙතත් පිරිස රටින් පැන යාමට උත්සහයක් ගන්නා නිසා පොලීසිය ගුවන් තොටුපොළවල්ද දැනුම්වත් කර ඇත.
මෙම ඝාතනය නිසා සතුටට පත් කඩුවෙල සහ අතුරුගිරියේ ජනතාව රතිඤ්ඤා දල්වා ඇත්තේ සිය කරදරයෙන් නිදහස් වූ නිසාය. එහෙත් එලෙස රතිඤ්ඤා දැල්වූ අයට සමයංගේ පිරිස විසින් තර්ජනය කරන්නට පටන්ගෙන ඇත. එසේම සමයංගේ ගෝලයන්ද අංගොඩ ලොක්කා සොයමින් සිටින බවද සඳහන් වේ.

කෙසේ වෙතත් ආයුධ ළඟ තබා ගනිමින් ජනතාව බිය වැද්දූ සමයංගේ ජීවිත කතාව නිමවුයේ එලෙසය. එහෙත් මෙය අවසානය නොවන්නේය. මෙය නියත වශයෙන් තවත් සිද්ධි දාමයක ආරම්භයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

♦ ගයාන් ගාල්ලගේ