2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයේදී සුළු පක්ෂවල සූදානම

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

2020 ජනාධිපතිවරණය සඳහා සියලු ප්‍රධාන පක්ෂ තම අපේක්ෂකයකු නම් කිරීමට තීරණය කර තිබේ. මෙතෙක් නිල වශයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කර නොමැති වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා ද, පොදුජන එක්සත් පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතා ද, එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන තිදෙනා අතුරින් අයකු ද හා ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයෙන් අපේක්ෂකයකු ද ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව පෙනේ.

මෙතෙක් පැවැති සෑම ජනාධිපතිවරණයකටම වඩා මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය තියුණු මුහුණුවරක් ගන්නා බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. කිසිදු අපේක්ෂකයකුට 50% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වනු ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකයාට සහාය පළ කළද මෙවර ඔවුන් තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සූදානමක පසුවෙයි. එම අපේක්ෂකයාට ජයගත නොහැකි වුවද ඔවුනට සාමාන්‍ය ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමේ හැකියාවක් තිබේ. ස්වාධීන අපේක්ෂකයන් වශයෙන් ද නම් කිහිපයක් අසන්නට ලැබේ. ඔවුනට හිමිවන්නේ ඉහත කඳවුරු දෙකට සහය නොදක්වන, සමස්ත ක්‍රියාවලිය පිළිබඳ කලකිරීමට පත් ඡන්ද දායකයන්ගේ ඡන්දයයි. මෙලෙස බෙදී යන්නේ කිසියම් ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකුට හිමිවන ඡන්දයි. ඒ අනුව ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ට 50% ඉක්මවා යන ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම අසීරැ වන බවට වන ප්‍රකාශවල කිසියම් සත්‍යතාවක් තිබේ.

ප්‍රධාන වශයෙන් තරගයක් පවතිනුයේ එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනා අතර බව පැහැදිලිය. එම පක්ෂ දෙකේ අපේක්ෂකයන්ගෙන් එක් අපේක්ෂකයකුට අවම වශයෙන් ලක්ෂ 35ක 40ක පමණ ඡන්ද ප්‍රමාණයක් හිමිය. සාමාන්‍යයෙන් ඡන්ද මිලියන 13ක් පමණ මෙවර ජනාධිපතිවරණයේ දී භාවිත කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඉන් ලක්ෂ 65 ඉක්මවා ඡන්ද ලබාගන්නා අපේක්ෂකයාට ජයග්‍රහණය හිමිවනු ඇත.
2015 ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම 81.5%ක ඉතා ඉහළ මට්ටමක පැවතිණි. උතුරැ සහ නැගෙනහිර පළාත්වල විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශ කළහ. ජයග්‍රාහී අපේක්ෂකයාට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 6,217,162ක් හෙවත් 51.28%ක් හිමි විය.

එවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතික ඡන්ද පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ බව පැහැදිලි විය. ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ජය ගැනීමට නම් මුස්ලිම් ඡන්ද අනිවාර්යයෙන්ම ලබාගත යුතු යැයි හිටපු නැගෙනහිර ආණ්ඩුකාරවරයා වූ එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා ප්‍රකාශ කර තිබේ. ජේ.ආර්.ජයවර්ධනගේ පටන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වා පත්වූ මෙරට ජනාධිපතිවරුන් සියලු දෙනාම බලයට පත් වුණේ මුස්ලිම් ප්‍රජාවගේ සහාය නිසයි. වත්මන් මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වූ දා පටන් ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන කියන මේ ජනාධිපතිවරුන් සිව් දෙනාම බලයට පත් වුණේ මුස්ලිම් ඡන්ද නිසයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මුස්ලිම් ජනතාව ඡන්දය නොදුන්නා නම් ඔහුට ජයග්‍රහණය කරන්න වෙන්නෙ නැහැ. ලක්ෂ අටක මුස්ලිම් ජනතාවක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නා. මුස්ලිම් ඡන්ද නොමැතිව ඉදිරි ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියල ඇතැමුන් පවසනවා. නමුත් මුස්ලිම් ජනතාවගේ ඡන්ද නැතිව කිසිවකුට ජනාධිපති පුටුවේ වාඩිවෙන්න බැහැ*යි ඔහු සඳහන් කර තිබේ.

තම සහාය නොමැතිව කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට බහුතරයක් ලබාගත නොහැකි බව මේ වන විට සුළුතර පක්ෂ අවබෝධ කරගෙන සිටිති. එහෙයින් ඔවුහු විවිධාකාර ලෙස කේවල් කරමින් සිටිති. මුස්ලිම් ප්‍රජාව කල්මුණේ සයින්දමරැදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා සිටීම එවැනි ඉල්ලීමකි. මෙයට දෙමළ සන්ධානයේ ප්‍රතිචාරය වූයේ මුස්ලිම් ප්‍රජාවට ලබා දෙනවා නම් තමන්ටද වෙනම පාලන ප්‍රදේශයක් ලබා දිය යුතු බවටය. ඇමැතිකම් හැර ගිය ඇතැම් මුස්ලිම් ඇමැතිවරු යළි ඇමැතිකම් ලබා ගනිද්දී ඇතැම් මන්ත්‍රීවරැන් ඒවා ලබාගැනීමෙන් වැළකී සිටින්නේ මෙම ඉල්ලීම් ලබාදෙන තෙක් ඇමැතිකම් භාර නොගන්නා බව සඳහන් කරමිනි. මෙය එක් උදාහරණයක් පමණි. සුළුතර පක්ෂ විසින් බහුතර පක්ෂ නැටවීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහාය ලබාදීම සඳහා සුළුතර පක්ෂ කරන ඉල්ලීම් පිළිබඳ සැලකිල්ලට ගනිමිනි.

උතුරැ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කරනුයේ ගියවර මෙන් මෙවර දෙමළ ජනතාව සිංහල හෝ දකුණේ කිසිදු දේශපාලනඥයකුට ජනාධිපතිවරණයේ දී සහාය නොදක්වනු ඇති බවය. දෙමළ ජනයාට කිසිදු සිංහල නායකයකු පිළිබඳව විශ්වාසයක් නොමැති බවත්, මෛත්‍රී - රනිල් රජය බලයට පත් වූයේ දෙමළ ජනයාගේ ඡන්දවලින් බවත්, ඔවුන්ද කලින් තිබූ ආණ්ඩු මෙන් දෙමළ ජනයා නොසලකා හැර ඇති බවත් සිවාජිලිංගම් සඳහන් කර තිබේ. දෙමළ සන්ධානය පවතින රජයට සහාය පළ කළද දෙමළ සිරකරැවන් තවමත් සිරගෙවල්වලය. ඉඩම් සියල්ල නිදහස් කර නොමැත. නව ව්‍යවස්ථාවද අතරමඟ නැවතී ඇත. දකුණේ කිසිදු රජයක් තම දෙමළ අයිතිවාසිකම් ලබා දීමට ඉදිරිපත් නොවන හෙයින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව කිසිදු සිංහල ජනාධිපති අපේක්ෂකයකුට ඡන්දය ලබා නොදෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පවසා තිබේ.

එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂයක් වන දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂයක් වුවද ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ මතභේදකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවත් එය විසඳා ගැනීමට පියවර නොගතහොත් එක්සත් ජාතික පක්ෂයට තවදුරටත් තම සහාය ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳව දෙවරක් සිතා බැලීමට සිදුවනු ඇති බවත්ය. එම පක්ෂයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳ තීරණය කළ යුත්තේ එම පක්ෂය බවත්, ඊට තම සන්ධානය බලපෑම් නොකරන බවත්ය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරි ගමනක් යාමට හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. වතුකරයේ ඡන්ද ප්‍රතිශතය ද ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා අවශ්‍ය සාධකයකි..

ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ (ඊ.පී.ආර්.එල්.එෆ්.) නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කරනුයේ තමන් කිසිදු අපේක්ෂකයකුට සහාය දැක්වීමට මෙතෙක් තීරණය කර නොමැති බවය. ‘‘ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුරැන්ද යන්න අප තවම දන්නේ නැහැ. ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන් අනුව කවරකුට සහාය දිය යුතු දැයි දෙමළ පක්ෂ තීරණය කරනු ඇති. දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කළ හැකි යැයි හැඟෙන අපේක්ෂකයාට අපේ සහයෝගය හිමි වෙනවා. අපට ජනාධිපතිවරණය මගහරින්න බැහැ. දෙමළ ප්‍රජාව විදියට අපි තීරණයක් ගත යුතුයි. දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න හඳුනාගෙන ඒවා විසඳීමට හැකියාවක් ඇතැයි අපට හැඟෙන අපේක්ෂකයාට සහාය පළ කිරීමට අප තීරණය කර සිටිනවා. දකුණේ දේශපාලකයන් පිළිබඳ කිසිදු විශ්වාසයක් අපට නැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට අපගේ සහාය අවශ්‍ය නම් දෙමළ ප්‍රශ්න නිරාකරණය සඳහා කිසියම් ක්‍රමවේදයක් ඉදිරිපත් කළ යුතුයි. අපගේ ඉල්ලීම් කිහිපයක් තිබෙනවා. එය ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයට පමණක් සීමා වූ ඉල්ලීම් නොවෙයි. පොදුවේ සියලු දෙමළ පක්ෂවලින් කෙරෙන ඉල්ලීම් කිහිපයක්. මේ සම්බන්ධයෙන් සෙසු දෙමළ පක්ෂ සමඟත් හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් මහතා සමඟත් අප සාකච්ඡා කරමින් සිටිනවා. දැනට මෙම ඉල්ලීම් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකියි. අපේක්ෂකයන් නම් කිරීමෙන් පසු අපගේ ඉල්ලීම් ඔවුනට ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි. කල්මුණේ, මූතූර් වැනි ප්‍රදේශවලට දෙමළ ජනතාව සඳහා වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් තිබෙනවා. දෙමළ පක්ෂ එක්ව අපගේ ඉල්ලීම් සම්බන්ධව පළමුව සාකච්ඡා කර එම ඉල්ලීම් ඉදිරි ජනාධිපති අපේක්ෂකයාට ඉදිරිපත් කරනවා. එම ඉල්ලීම් සඳහා වැඩි නැඹුරැවක් දක්වන අපේක්ෂකයාට දෙමළ පක්ෂවල සහාය හිමිවේවි.* යනුවෙන් ප්‍රකාශ කළේය.

දෙමළ සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝතියම් සම්පන්දන් මහතා ද සියලු ජනවාර්ගික හා ආගම්වලට පිළිගත හැකි සාමය හා සමගිය ආරක්ෂා කරමින් සුළු ජාතීන්ට නිසි පිළිගැනීමක් ලබා දිය යුතු බව ප්‍රකාශ කර තිබේ. “2015 ජනවාරි 8 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී නීතියේ ආධිපත්‍යයට ගරු කරන හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා ජනතාව පැහැදිලි වරමක් ලබා දුන්නා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඉහත සඳහන් ජනතා අභිලාෂය තහවුරැ කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට රජය එකඟ වුණා. එහෙයින් එම ව්‍යවස්ථාව බලාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක්.

දෙමළ සන්ධානයට අවශ්‍යව ඇත්තේ විවිධ පාර්ශ්වවලින් එල්ල වූ බලපෑම් මත මෙතෙක් සම්මත නොවූ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටය. සම්පන්දන්ගේ මෙම ප්‍රකාශයේ ඇත්තේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට සහාය දක්වන අපේක්ෂකයකුට තමන් සහාය දක්වන බවට ව්‍යංගයෙන් ප්‍රකාශ කිරීමකි.

මුස්ලිම් කොංග්‍රසයේ මතය ද දෙමළ පක්ෂවල මතයට සමානය. මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස් වී තම සහාය පළ කළ යුතු අපේක්ෂකයා කවුදැයි යන්න තීරණය කරන බව මුස්ලිම් කොංග්‍රසයේ එච්.එම්.එම්. හාරිස් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ‘‘සාකච්ඡා වට කිහිපයක් මේ සඳහා පැවැත්වේවි. ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රථමයෙන් විමසා බලනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර ඇති  නව සන්ධානයට එක්වනවාද නැද්ද යන්න පිළිබඳව තවම තීරණය කර නැහැ. අප දැනට සහාය පළ කරන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. එහෙත් වෙනත් පක්ෂයක අපේක්ෂකයකුට සහාය දැක්වීමට උත්තරීතර මණ්ඩලය තීරණය කළහොත් ඒ අනුව සියල්ල සිදු වේවි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට කිසියම් අනාරක්ෂිත බවත් ඇති වුණා. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. බහුතර සිංහල ජනතාව සමඟ සමගියෙන් ජීවත් වීමට අපට අවශ්‍යයි. එමෙන්ම සිංහල ප්‍රජාව වැඩි කැමැත්තක් දක්වන අපේක්ෂකයා කවුදැයි යන්නත් සලකා බැලිය යුතුයි. සයින්දමරැන්දු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා තිබෙනවා. එයට මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. මෙයට විසඳුමක් නොලැබුණොත් ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ඡන්ද සඳහා එයත් බලපෑමක් වේවි. යනුවෙන් පැවසීය.

සුළු ජාතික පක්ෂවල ඇතැම් පුද්ගලයන්ට විවිධ චෝදනා තිබුණද පවතින රජය ඔවුන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් පවතින බවට ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබේ. බොහෝ විට ඔවුන්ගේ ඡන්ද පදනම තම අපේක්ෂකයාට ලබාගැනීම සඳහා එලෙස ක්‍රියා කරන බවට ඔවුහු චෝදනා කරති. සුළු ජාතික ඡන්ද නොමැතිව තම අපේක්ෂකයාට ජයගත හැකි යැයි ඇතැම් ඇමැතිවරැන් ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද 2020  ජනාධිපති අපේක්ෂකයන් හමුවේ ඇති ප්‍රධානම ගැටලුව වන්නේ සුඵ පක්ෂවලින් ඉදිරිපත් වන කේවල් කිරීමට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00