2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

කෝටි 15ක් දඩ ගෙවූ ඩෝප් රියැදුරෝ

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

රිය අනතුරු අවම කිරීමේ අදහසින් මාසයක් පුරාවට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හෙට (5) දිනෙන් අවසන් වේ. මේ දක්වා මාසයක් තුළ සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 6400 කට අධික ගණනක් අත්අඩංගුවට ගැනීමෙන් රජයට රුපියල් මිලියන එකසිය හතළිස් දෙකකට (කෝටි 14කට) අධික අමතර ආදායමක් උපයා දීමට රථවාහන පොලීසිය සමත්ව සිටියි.

ජූලි 5 වැනිදා සිට අගෝස්තු 5 තෙක් සිදුකරන වැටලීම්වලදී බීමත් රියැදුරකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව රු. 25000 – 30000 අතර දඩ මුදලකට යටත් වීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. මගී ප්‍රවාහන රථයක් ධාවනය කරන රියදුරෙක් අත්අඩංගුවට පත්වී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ දඩ මුදලට අමතරව මාස හයක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකටම යටත් කිරීමේ හැකියාව පවතින බවත් රියදුරු බලපත්‍රය අවලංගු කිරීමේ බලය ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එමෙන්ම වෙනත් වාහනයක් පැදවූ බීමත් රියදුරෙක් සඳහා අදාළ දඩ මුදලට අමතරව මාස තුනක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම ක්‍රියාත්මක කළ හැකි බවද කියා සිටියේය. මේ හැර වසරක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය අත්හිටුවීම සඳහා නීතිමය ප්‍රතිපාදන පවතින බවද කීය.

දිවයින පුරා ක්‍රියාත්මක මෙහෙයුම තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවෙක් වරදකරු වූයේ නම් අත්අඩංගුවට ගැනීම සිදුකළ පොලිස් නිලධාරීන්ට පොලිස් ත්‍යාග අරමුදල යටතේ ත්‍යාග පිරිනැමීම සිදු කරන්නට පොලිස් මූලස්ථානය සූදානම්ව සිටිති. ඒ අනුව මගී වාහනයක් පැදවූ රියැදුරෙක් වරදකරු වූයේනම් ඔහු වෙනුවෙන් රු. 5000ක ත්‍යාග මුදලක් සහ සාමාන්‍ය වාහනයක් පැදවූ රියදුරෙක් වෙනුවෙන් රු. 2500ක් වශයෙන් ත්‍යාග පිරිනැමී නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එමෙන්ම අත්අඩංගුවට ගන්නා සැකකරුවෙක් නිදහස් කිරීම සඳහා බලපෑම් කරමින් දුරකථන ඇමතුම් ලබාදෙන හෝ ඕනෑම ආකාරයක ඉල්ලීම් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිස් මූලස්ථානය කටයුතු කරමින් සිටියි.

2018 වර්ෂයේ මුල් මාස හය තුළදී මාරක රිය අනතුරු 1552ක් සිදුව ජීවිතක්ෂයට පත්ව ඇති ගණන 1632කි. 2019 වර්ෂයේ මුල් මාස හය තුළදී මාරක රිය අනතුරු 1281 ක් සිදුව ඇති අතර මරණයට පත් පුද්ගලයන් ගණන 1374කි. මේ අනුව මාරක අනතුරු 271ක් සහ මියගිය සංඛ්‍යාව 258කින් අඩුවීමට හේතුව බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම බවද එය රිය අනතුරු හා මරණ අවම කිරීම සඳහා සාධනීය ක්‍රියාමාර්ගයක් බවද පොලීසිය සඳහන් කරයි. මේ ආකාරයට සිදුකළ මෙහෙයුමේදී ජූලි 5 දින සිට 31 වැනි තෙක් දින 25 තුළදී අත්අඩංගුවට පත්වූ බීමත් රියැදුරන් සංඛ්‍යාව 6479කි. 2018 වර්ෂයේ බීමත් රියැදුරන් 105,094 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර 2019 වර්ෂයේ මුල් මාස හයට එම ප්‍රමාණය 36,359කි.

මෙම විශේෂ මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් රිය අනතුරු හා මරණ විශාල වශයෙන් අඩු වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි. එසේම ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීමේ හා රිය අනතුරැ අඩුකර ගැනීමේ අදහසින් මංතීරු නීතිය ක්‍රියාත්මක කොට පවතී. මෝටර් රථවාහන පනතේ අංක 148 වැනි වගන්තිය යටතේ මංතීරැ නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර එය පසුගිය ජූනි 10 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මකය. අදාළ නීති කඩකරන රියදුරන්ට රුපියල් 2000ක දඩයකට යටත් වීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අධික රථවාහන තදබදයක් පවතින කොළඹ ඇතුළු ප්‍රධාන නගර ගණනාවක පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා යතුරැපැදිකරැවන් විසින් මෙම නීතිය බහුලව උල්ලංඝනය කෙරෙයි. මේ හේතුවෙන් ඇති වන අධික රථවාහන තදබදය හා අනතුරු ද වන බව පොලීසිය හඳුනාගෙන ඇත. කොළඹ නගරයේ ක්‍රියාත්මක බස් මංතීරු නීතිය රථවාහන තදබදයට හා අනතුරැ අවම කිරීමට පිළියමකි.

කොළඹ නගරයේ රථවාහන පාලනය සඳහා නාගරික රථවාහන පොලිස් කොට්ඨාසය, බස්නාහිර පළාත් උතුරු රථවාහන පොලිස් කොට්ඨාසය හා බස්නාහිර පළාත් දකුණු රථවාහන පොලිස් කොට්ඨාසය මූලිකත්වය ගෙන ඇත. එමෙන්ම දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල රථවාහන පොලිස් ඒකක විසින් මෙම නීති උල්ලංඝනයට එරෙහිව කටයුතු කෙරේ.

දිවයින පුරාම තදින් රථවාහන නීතිය ක්‍රියාත්මකව පවතී. එබැවින් අනවශ්‍ය දඩ මුදල්වලට යටත් නොවී විනයගරුකව හා හා නීතිගරුකව රිය පදවන්නැයි රථවාහන පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර