2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

කෝටියක මැණික් පික්පොකට් ගැසූ කුඩ්ඩා

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

පුතත් එක්ක වාහනෙන් ආපු මට දෙහිවලින් බැහැලා පුතා වෙන වැඩකට පිටත් කළා. දෙහිවල පල්ලියට ගිහින් වතාවත් කරලා කොළඹට එන්න බස් එකකට නැග්ගා. වැල්ලවත්තට ඇවිත් සාක්කුවේ තිබුණු පාර්සලය බලද්දි ඒක නෑ. පාර්සලයේ රුපියල් කෝටියක් විතර වටිනා මැණික් ගල් 19ක් තිබුණා

බම්බලපිටිය පොලිස් ස්ථානයට කලබලයෙන් පැමිණි පුද්ගලයෙක් මේ කරුණු කියමින් පැමිණිල්ලක් සිදුකර තිබුණේ පසුගිය 26 වැනිදාය. තමා කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුවන බවත් බේරැවල ප්‍රදේශයේ  පදිංචිව සිටින බවත් කී ඔහු වෘත්තීමය වශයෙන් මැණික් ව්‍යාපාරයේ නිරතව සිටින්නකු බවද පවසා තිබුණි.

කාලයක සිට මැණික් ව්‍යාපාරයේ නිරතව සිටින මොහු බේරැවල චීන කොටුව ප්‍රදේශයේ ප්‍රකට මැණික් පොළෙන් විවිධ මාදිලියේ මැණික් මිලට ලබා ගනී. පසුව කොළඹ නගරයට රැගෙන එන අතර එහිදී වැඩි මිලකට අලෙවි කිරීම ඔහුගේ පුරුද්දකි.
පුරුදු පරිදි මැණික් ව්‍යාපාරිකයා බේරැවල පිහිටි නිවසේ සිට කොළඹ බලා යාමට පිටත්ව තිබුණේ තමාට අයත් පෞද්ගලික මෝටර් රථයකිනි. සිය පුත්‍රයා සමඟ ගමන් ඇරඹූ ඔහු ගාලු පාර ඔස්සේ පැමිණි දෙහිවල නගරයෙන් බැස තිබුණේ සිය පුත්‍රයා වෙනත් කාර්යක් සඳහා පිටත් කිරීමටය. විකිණීම සඳහා රැගෙන ආ පුෂ්පරාග, ගෙවුඩ, නිල් මැණික් ඇතුළු ගල් 19ක් පමණ අඩංගු පාර්සලයක් මෝටර් රථයේ සිටම මොහු සිය කලිසම් සාක්කුවේ දමාගත්තේ වැඩි ආරක්ෂාවටයි.

මෝටර් රථයෙන් බැස්ස ව්‍යාපාරිකයා ඒ මොහොතේම සිය පුත්‍රයා කොහුවල ප්‍රදේශයට පිටත් කර යවා වැල්ලවත්ත නගරයේ තිබූ ඉස්ලාම් ආගමික පල්ලියට ගොස් ආගමික චාරිත්‍රවල නියැලුණේය. එතැනින් පිටතට ආ සැණින් මොරටුව සිට පිටකොටුව දක්වා ගමන් ගන්නා පෞද්ගලික බස් රථයකට නැගී එහි වූ හිස් අසුනක වාඩි ගත්තේය. මොහොතකින් තවත් කෙනෙක් පැමිණ ඔහු අසළින් ඉඳගත්ත ද වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ඔහු බස් රථයෙන් බැස ගියේය. සුළු වේලාවකින් ව්‍යාපාරිකයා බැස්සේ අත වූ චෙක්පතක් බැංකුවකින් මාරු කිරීම සඳහාය.

ටික වේලාවකින් ව්‍යාපාරිකයා සාක්කුවේ දමාගෙන සිටි මැණික් පාර්සලය අල්ලා බැලුව ද තිබී නැත. ඔහු රුඳී සිටි ස්ථානයේ බිම බැලුවද දකින්නට ලැබී නැත. වෙනත් කුලී රථයක නැගුණු ව්‍යාපාරිකයා පෙර ගමන් කළ බස් රථය හඹා ගොස් තමා අසුන් ගෙන සිටි ස්ථානය පරික්ෂා කර බලා ඇත. ඉන් ඵලක් නොවූ ව්‍යාපාරිකයා වහාම පැමිණ තිබුණේ බම්බලපිටිය පොලිස් ස්ථානය වෙතය. ඔහුගේ පැමිණිල්ල ඇසූ බම්බලපිටිය පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතා මෙසේ කියයි.

26 වැනිදා උදේ පොලීසියට ආපු ව්‍යාපාරිකයාගේ සාක්කුවේ තිබුණු මැණික් පාර්සලය නෑ කියලා පැමිණිල්ලක් කළා. රැපියල් ලක්ෂ 82ක් වටිනා ගල් 19ක් තිබුණු බවත් කීවා. බස් එකට නැගපු බැහැපු තැන් වගේම ඔහු ආගිය තැන් කීවා. ගාලු පාරේ බස් රථවල පොකට් ගහන කල්ලියක් ඉන්නවා. ඔවුන් ගැන තොරතුරු තියෙනවා. ව්‍යාපාරිකයාගෙන් මම ප්‍රශ්න කරලා විස්තර ඇහුවා. ඒ අතරේ පොලීසිය සතුව තිබුණු සැකකරැවන්ගේ ඡායාරෑප එකතුවක් ඔහුට පෙන්නුවා. පෙන්වලා ඇහුවා මේ අයගෙන් කෙනෙක් බස් එකේ හිටියද කියලා. ව්‍යාපාරිකයා එක් ඡායාරෑපයක් හඳුනාගෙන ඔහු තමා අසල වාඩි වී සිටි බව කීවා

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි හා වටිනා දේපළ සොරාගන්නා හඳුනාගත් සැකකරැවන් කිහිපදෙනකුගේ ඡායාරෑප පෙන්වීමේදී එක් අයෙක් පැහැදිලිවම හඳුනාගත් ව්‍යාපාරිකයා ඔහු බස් රථයට නැග තමා අසළ වාඩි වී සිටි බව පවසා තිබුණි. ඒ සමඟ ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතා සැකකරැගේ ලිපිනය රුගෙන ඔහුගේ නිවස බලා ගියේය.

ව්‍යාපාරිකයා හඳුනාගත් සැකකරැ දිවයිනේ නම ගිය අපරාධකරැවෙක්. නැත්නම් අයි.ආර්.සී. කෙනෙක්. ඔහු අවුරුදු 26ක විතර කෙනෙක්. කුඩු පානයට ඇබ්බැහි වෙලා දවසකට රැපියල් 15000ක විතර කුඩු බොනවා. වාර ගණනක් පොලිස් අත්අඩංගුවට අරගෙන තිබුණා. ඔහු පුරැද්දක් විදිහට බස් රථවල පොකට් ගැසීම කරනවා. ඒ නිසා ඔහු සොයා නිවසට ගියා. සැකකරු සොයා නිවසට ගිය ද ඒ මොහොතේ ඔහු රැඳී සිට නැත. මේ අතර පෞද්ගලික ඔත්තුකරුවන්ගේ තොරතුරු මගින් අනාවරණය කරගෙන තිබුණේ සැකකරු වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාව අසල සිටින බවය. වහාම එතැනට පැමිණි පොලිස් නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර සෝදිසි කළහ. එහිදී ව්‍යාපාරිකයාට අයත් බව කී මැණික් ගල් පාර්සලය ඔහු සන්තකයේ තිබියදී සොයාගෙන තිබුණි.

මෙම සැකකරැ මෙවැනිම සොරාගැනීම් 48කට අත්අඩංගුවට පත්ව ඇත්තෙකි. සැකකරැ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය හේමන්ත, පොලිස් අධිකාරි සමන්ත විජේකෝන්, සහකාර පොලිස් අධිකාරි (අපරාධ - දකුණ) සෝමරත්න විජයමුණි යන මහත්වරුන්ගේ උපදෙස් මත බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද, සැරයන් (11524) ගමගේ, කොස්තාපල්වරුන් වන (89081) වීරසිංහ, (49857) ජයසිංහ, (55354) අතුල, (67314) අජිත්, (70693) සම්පත් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00