2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

හකීම්ගේ නිවෙසේ ඇදක් යටින් අතුරුදන් වූ ලක්ෂ 60

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 237

රුපියලක් දෙකක් හෝ තමන්ගේ බැංකු ගිණුමට දමාගන්නට උත්සාහ කරන මිනිසුන්ට රුපියල් ලක්ෂ ගණනක් සුළුපටු නැත. ඇතැමෙකුට ජීවිත කාලයටම හම්බ කරන්නට බැරි තරම් මුදලක් ගෙදර පාළු කාමරයක ඇඳක් යට තිබූ බව හෙළි වූයේ අදාළ මුදල් ප්‍රමාණය අස්ථාන ගතව ඇතැයි දැනගැනීමෙන් පසුවය. කොළඹ 7 සුපිරි නිවසක කාමරයේ ඇඳක් යට අසුරා තිබූ රුපියල් ලක්ෂ 60ක මුදල අස්ථානගතව ඇතැයි කියන සිදුවීමේ පැමිණිල්ල කුරුඳුවත්ත පොලිස්ථානය වෙත පැමිණිලි කොට තිබුණේ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ බිරිය වන ෂනාස් හකීම් මහත්මිය විසිනි.

“විකුණගන්න තිබුණු වාහනයකට අත්තිකාරම විදිහට ලක්ෂ 60ක් ලැබිලා තිබුණා. මහත්තයා ඒක මගේ අතට දීලා සෑහෙන දවසක් වෙනවා. පස්සේ මම සල්ලි ටික බෑග් එකක දමලා උඩ තට්ටුවේ කාමරයක ඇඳ යටින් තිබ්බා. දවස් නවයකට පස්සේ හොයලා බලද්දි සල්ලි ටික නෑ. කවුරුහරි බෑග් එක ඇදලා අවුස්සලා වගේ තිබුණා.”

හිටපු අමාත්‍යවරයාගේ බිරිය කුරුඳුවත්ත පොලීසියට පැමිණ සිදුකළ පැමිණිල්ලේ එසේ සඳහන් වන බැව් වාර්තා වේ.

රවුෆ් හකීම් ඇමැතිවරයා කොළඹ 07 මලලසේකර මාවතේ නිවසක පදිංචිව සිට ඇත. පැමිණිල්ලට අනුව ඔහුට අයත් මෝටර් රථයක් විකිණීම සඳහා බලාපොරොත්තුව සිට ඇත්තේ මීට මාස කීපයකට පෙර සිටය. ඒ අනුව සුදුසු ගැනුම්කරුවකු මුණගැසී ඇති අතර ගනුදෙනුව සාකච්ඡා කර අවසානයේ අත්තිකාරම් මුදල වශයෙන් රුපියල් ලක්ෂ 60ක් ලබාගෙන ඇති බැව් කියයි. අමාත්‍යවරයා වෙත ලැබුණු මුදල වැඩි පරිස්සම සඳහා සිය බිරිය අත තැබූ බවත් ඇය එය බැංකු ගිණුමක නොදමා නිවසේ ආරක්ෂිත කාමරයක අඳක් යට තිබූ බෑගයක අසුරා තැබූ බවත් කියන්නීය. ඇගේ ප්‍රකාශය අනුව සැමියා විසින් ලක්ෂ 60ක මුදල ලබා දී ඇත්තේ ජූනි 10 වැනිදාය.

ටික දිනක් තමා ළග තබා සිටි මුදල පසුගිය 20 වැනිදා උඩුමහලේ වසා ඇති කාමරයක තිබෙන ඇඳක් යටින් තබා තිබුණේ එහි වූ බෑගයක අසුරා තබාය. අනතුරුව දින කිහිපයක් ගෙවුණු පසුව ඒ පිළිබඳව සොයා බලා ඇත. එහිදී එම මුදල් තොගය අතුරුදන්ව ඇති බව දැනගෙන තිබෙන අතර පිටස්තර කිසිවෙකුටත් ඇතුළු වීමට නොහැකි ආරක්ෂිත කාමරයේ තිබූ මුදල් අස්ථානගතවීම ඇමැතිවරයාටත් බිරියටත් ගැටලුවක් විය. පොලීසියට ලැබුණු පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් නිවසේ ඇති රහසිගත ආරක්ෂිත කැමරා කිහිපයක් සෝදිසි කර ඇතත් හෝඩුවාවක් ලැබී නොතිබිණි.

මේ අතර කාලයේ නිවසේ සේවයට යොදවා සිටි සේවිකාවන් දෙදෙනකු හදිසියේම රැකියාවෙන් ඉවත්ව ගොස් තිබුණි. ඔවුන් පිළිබඳව යම් සැකයක් පවතින බවද ඇමැති බිරිය පොලීසියට පවසා ඇත. කෙසේ වෙතත් මෙම පැමිණිල්ල ලැබී තිබුණේ පසුගිය 28 වැනිදාය. ඒ වනවිටත් පෙර කී කාන්තාවන් සේවයෙන් ඉවත් වී ගොස් දින ගණනාවකි.

මේ අතර සිදුකළ විමර්ශන අතරතුරදී මෙහෙකරැවන් සඳහා වෙන් කළ වැසිකිළියක තිබී රුපියල් 5000 නෝට්ටු කැබලි කීපයක් හසු වී ඇත.

එසේම එම දිනවලදී හදිසියේම වැසිකිළි පද්ධතිය අසාමාන්‍ය ලෙස උතුරා යන බව දැක එය සැකසීම සඳහා කම්කරැවන් පිරිසක් යොදවා තිබූ බව ද ඇමැති බිරිඳ ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ හමු වූ පෙර කී රු. 5000 නෝට්ටු කැබලි ඔවුන් රැගෙන ගොස් තිබුණි. ඉන්පසු දිනකත් යළිත් වරක් වැසිකිළි පද්ධතිය උතුරා යාම නිසා කොළඹ නගර සභාවේ ගලි බවුසරයක් ගෙන්වා පවිත්‍ර කිරීම සිදුකළ බවත් ඇමැති බිරිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් හදිසියේ ඉවත්ව ගිය මෙහෙකාරියන් දෙදෙනා සැක බැවින් ඔවුන් පොලීසියට ගෙන්වා කට උත්තර ගැනීමට නියමිතය. ඒ සඳහා ඔවුන් පදිංචි ප්‍රදේශවල පොලිස් ස්ථාන දැනුම්වත් කර සැකකාරියන් පොලීසියට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත.

ඊට අමතරව අස්ථානගත වූ මුදල් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා කුරුඳුවත්ත පොලිස්ථානයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා සිටින බවට පොලීසිය සඳහන් කළේය.

සිය මෝටර් රථය අලෙවි කිරීමේදී ලද අත්තිකාරම් මුදල බව කියන එම ලක්ෂ 60 ගිණුමක තැන්පත් කළේ නම් මෙවැන්නක් සිදු නොවනු ඇත. මෙතරම් දින ගණනාවක් අති විශාල මුදලක් නිවසේ ඇඳ යට සඟවා තැබීම විහිළුවක් වැනිය. එවැනි මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මෙතෙක් අමාත්‍යවරයා කිසිදු ප්‍රකාශයක් හෝ ලබා දී නැත. එබැවින් ඇතැම් පිරිස් පවසන්නේ මේ මුදල් තොගය වාහනයක් අලෙවි කිරීමේ අත්තිකාරමක් නොවන්නට ඉඩ ඇති බවය. කෙසේ නමුත් අස්ථානගත වූ මුදල පිළිබඳව සෙවීමට විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර