2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

කුලියාපිටිෙය් දරුවාගේ අධ්‍යාපනය ආයෙත් හබක්!

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

එච්.අයි.වී. භීතියක් හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමිව පසුව පාසලක් ලද කුලියාපිටියේ ශිෂ්‍යයා යළිත් අධ්‍යාපනය අහිමිවීමේ අභියෝගයකට මුහුණ දී සිටී. දරුවාගේ අධ්‍යාපන වියදම් සඳහා පෞද්ගලික ආයතනයක් මගින් ප්‍රදානය කෙරුණු දීමනා මාස දෙකක කාලයක් තුළ නොලැබීම ඊට හේතු වී ඇත.

මීට පෙර පාසලක් අහිමිව සිටි එම දරුවා ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද කතාබහට ලක් වූ මාතෘකාවක් වූ අතර, මහත් ආන්දෝලනයකින් පසු ඔහුට පාසලක් ලැබුණේ ප්‍රශ්නය මානව හිමිකම් කොමිසමට හා අධිකරණය දක්වා ද යොමු වීමෙන් අනතුරුවය.

ඒ අනුව දිවයිනේ ජනප්‍රියතම පාසලක් එම දරුවා භාරගැනීමට කැමැත්ත පළ කළ අතර, අධ්‍යාපන අමාත්‍යංශය ද ඊට මැදිහත් විය. දරුවාගේ පාසල් අධ්‍යාපනය නිමවන තෙක් අවශ්‍ය සියලු වියදම් දැරීම සඳහා පෞද්ගලික ආයතන දෙකක් සම්බන්ධ කර ගැනීමට ද අමාත්‍යංශය පියවර ගෙන තිබිණි.

අදාළ පුවත් එසේ වුවද, දරුවා නැවත වතාවක් ප්‍රශ්නයකට මුහුණ දී සිටින්නේ ඔහු වෙනුවෙන් අදාළ වියදම් දැරීම අතරමග නතර වීම හේතුවෙනි. දරුවාගේ ගමන් පහසුව සලකමින් පාසලට නුදුරින් කුලී නිවෙසක් ද, දරුවාගේ හා මවගේ වියදම් සඳහා රුපියල් පහළොස් දහසක මුදලක් ද මාසිකව ලබා දෙමින් තිබුණ ද, මේ වනවිට මාස දෙකක කාලයක සිට එම මුදල් ප්‍රදානය කිරීමට අදාළ පෞද්ගලික ආයතනය කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇනහිට ඇත.

පාසලක් ලැබීමෙන් පසු ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා මේ වන විට සිය අදහස් දක්වන්නේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්හි වචන මුසු කරමිනි.

“මේ මට ලැබුණු සෙටිෆිකට්ස් සහ මෙඩ්ල්ස්”

කලින් ඔහුගේ පොත්වල වූයේ සිංහල අකුරු පමණක් නමුත් දැන් එහි ඉංග්‍රීසි වචන ද වෙයි.

“මම දැන් ඉංග්ලිෂ් මීඩියම් කරන්නේ” ඔහු පවසයි.

“මට දුවන්න පුළුවන්. පනින්න පුළුවන්” ඉගෙනීමට අමතරව මේ දරුවා ක්‍රීඩාවට ද විශේෂ දස්කම් දක්වයි.

“මම ඉස්කෝලේ ක්‍රිකට් ගහනවා, හොකී ගහනවා. මට මේ ක්‍රීඩාවලින් ප්ලේස් තියෙනවා.” සිය සහතික ගොන්නෙන් දුර දිවීමේ තරගයකින් ලැබූ ජයග්‍රහණයක් සහිත සහතිකයක් ඔහු ඉදිරිපත් කළේය.

“මට රෙදි හෝදන්න පුළුවන්. අම්මට අසනීප වුණාම මම තමයි රෙදි සෝදාගන්නේ. ගෙදර අතුගාන්නේ මම. මල්වලට වතුර දාන්නේ මම. මේ ඔක්කොම මම කරනවා.” මීට වසර තුනකට පෙර ඉතා අඩුවෙන් කතා කළ ශිෂ්‍යයා දැන් ඔහුගේ දිනචර්යාව විස්තර කරන්නේ චතුර ලෙස වචන හසුරුවමිනි.

“ආයෙත් ඉස්කෝලේ යන්න තිබුණොත් මට ඒ ඇති. වෙන මුකුත් ඕනෑ නැහැ.” නව හැවිරිදි සිසුවා කියා සිටියේය.

“පාසල හිටපු පැත්තේ මිනිස්සු රත්තරන්. ඒත්, කන්නේ බොන්නේ නැතුව කොහොමද දරුවා පාසල් යවන්නේ? දරුවාගේ මව කියන්නීය.

මව කියන කතාව

“මගේ දරුවාට එච්.අයි.වී. තියෙනවා කියල බොරු ප්‍රචාරයක් ඇරියේ මගේ ගමේ මිනිස්සු. ඊට හේතු වුණේ දරුවාගේ පියා මිය යාමෙන් පසු ප්‍රදේශයේ පැතිර ගිය රාවයක්. මේ හින්දා මට දරුවාව ළදරු පාසලකට දාගන්නත් අමාරු වුණා. ළදරු පාසල් ගුරුවරිය දරුවාට සාධාරණයක් කරන්න කැමැති වුණාට ගමේ උදවිය ඊට ඉඩ දුන්නේ නැහැ. ළදරු පාසල් අධ්‍යාපනය නිම කරලා ගමේ පාසලට ළමයා ඇතුළත් කරන්න ගියාම විදුහල්පතිවරයා ප්‍රධාන ගමේ ජනතාව ඊට අකැමති වුණා. මේ පිළිබඳව කියන්න ඕන සෑම තැනකටම ගියත් මාස කිහිපයක් යනකම් දරුවාට පාසලක් ලැබුණේ නැහැ. මම බැරිම තැන තමයි කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දරුවාවත් තියාගෙන උපවාසයක් කළේ.”

එම දරුවා HIV ආසාදිතයකු නොවන බව පසුව සනාථ විය.

දරුවාගේ මව චාන්දනී සොයිසා තම අත තිබූ රෙදි කඩකින් නෙත කඳුළු පිස ගැනීමෙන් පසු නැවතත් කතා කළාය.

“දරුවාගේ කතාව බී.බී.සි.යෙන් ප්‍රචාරය වුණාට පස්සේ මගේ දරුවාට ලොකු අනුකම්පාවක් රටේ සහ ලෝකයේ ඇති වුණා. දෙදෙනෙක් දරුවා පිටරට ගෙනියන්න පවා ඉදිරිපත් වුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වගේම නීතිඥවරු රැසක්, සමාජ ක්‍රියාකාරීන් රැසක් දරුවා වෙනුවෙන් පෙනී හිටියා. මාස කිහිපයක් දරුවාට පාසලක් දෙන්න අසමත් වූ අධ්‍යාපන අමාත්‍යාංශය දරුවාට පාසලක් ලබා දීම කෙරෙහි සැලකිලිමත් වුණා. ඒ වන විට මේ ගැටලුව අධිකරණය දක්වා ගොස් තිබුණා.”

තම දරුවාට සහයෝගය දැක්වූ පිරිස අධිකරණයට යාම දරුවාට පාසලක් ලබාදීම ඉක්මන් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූ බවත් චාන්දනී සොයිසාගේ අදහස වෙයි.

“ඊට පස්සේ ගොඩක් ආයතන, පුද්ගලයන් ඉදිරිපත් වුණා දරුවාට උදව් කරන්න. නමුත් රජය දරුවාගේ වගකීම භාරගත්ත නිසා ඔවුන් පසුව මේ සත්කාරයෙන් ඉවත් වුණා. අවුරුදු හතරක් මගේ දරුවා පාසලට ගියා. ඒ පාසල, ඒ ප්‍රදේශයේ ජනතාව රත්තරන්. ඔවුන් මගේ දරුවාට සැලකුවේ තමන්ගේ දරුවකුට වඩා වැඩි ආදරයකින්. මේ විදුහලේ විදුහල්පති උත්තමයා, ගුරු භවතුන්, කාර්ය මණ්ඩලය දරුවාන්ගේ මව්පියෝ, මේ හැමෝම එහෙමයි. දරුවාට ඒ අය ගොඩක් උදව් කළා. රජය, ඒ කියන්නේ අධ්‍යාපන ආමාත්‍යාංශය කළේ මේ කටයුතු සම්බන්ධීකරණය කිරීම පමණක් කියලයි.”

දැන් උද්ගතව ඇති ප්‍රශ්නය හමුවේ සිය දරුවා පාසල් නොයැවීමට තමා තීරණය කළේ කැමැත්තෙන් නොවන බව ඇය අනතුරුව සඳහන් කළාය.

“මම දන්නවා මගේ දරුවා ඉගෙන ගත්තොත් එයාගේ ඉලක්කයට එයා යනවා කියලා. පුතා දොස්තර කෙනෙක් වෙනවා කියලා ඔහු මුලින්ම කිවේ බී.බී.සි.යට. ඒ ඔහුට අවුරැදු පහේදී. දැන් නවයයි. එයා දැන් කියන්නෙත් ඒකමයි. නමුත් උගන්වන්න ඉස්සර වෙලා මම දරුවාව ජීවත් කරවන්න ඕනනේ. කන්නේ බොන්නේ නැතුව කොහොමද පාසල් යවන්නේ. මම ඒ නිසයි අකැමැත්තෙන් හරි මේ තීරණය ගත්තේ. මම කුලියාපිටියේ ඉන්නකොට එයාව ජීවත් කළේ කුලී වැඩ කරලා. නමුත් නුවර මට කරන්න රස්සාවක් නැහැ. මම නුවර රස්සාවල් හෙව්වා. ලැබුණේ නැහැ. මට දැන් කරන්න ඉතිරිවෙලා තියෙන්නේ දරුවාව කුලියාපිටියට එක්කන් ඇවිල්ලා කුලී වැඩ කරලා දරුවා ජීවත් කරවන එක විතරයි. අඩුම ගාණේ මට සමෘද්ධියවත් ලැබෙන්නේ නැහැ. සමෘද්ධිය යාන වාහන තියෙන අයටත් දුන්නා. නමුත් මට ලැබුණේ නැහැ. ඉතින් දරුවා ගෙදර තියාගෙන කුලී වැඩක් කරලා දරුවා ජීවත් කරවනවා හැරෙන්න මම මොනවා කරන්නද?”

ගුරු සංගම් ප්‍රතිචාර

කුලියාපිටිය දරුවාගේ වගකීම අධ්‍යාපන අමාත්‍යංශය භාරගත් බැවින් ඒ වගකීමෙන් ඔවුන්ට නිදහස් විය නොහැකි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

“අධ්‍යාපන අමාත්‍යාංශය කරන්නේ ඔවුන් ජනප්‍රිය වන දේවල් පමණයි. ඔවුන් මේ දරැවා පෞද්ගලික ආයතන තුනකට භාරදීලා වගකීමෙන් බැහැරවෙලා ඉන්නවා. අවම වශයෙන් ඔවුනට වගකීමක් තියෙනවා මේ පෞද්ගලික ආයතන මේ දරුවා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියල සොයලා බලන්න. ඒ වගේම මේ දරැවා විශේෂ කතාබහකට ලක්වූ දරුවෙක්. එවැනි දරුවකු පෞද්ගලික ආයතන කිහිපයකට භාරදීලා අමාත්‍යංශයට වගකීමෙන් බැහැර වෙන්න පුළුවන්ද?”

අමාත්‍යංශයේ ප්‍රතිචාරය

කුලියාපිටිය දරුවාගේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය සහ පෝෂණ අංශයට භාර වූ අතර, එහි අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් වසර හතරකට ආසන්න කාලයක් පෞද්ගලික ආයතන සමඟ අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කළාය. ශිෂ්‍යයාට මුදල් ලබාදීම මාස දෙකක කාලයක සිට නැවතී ඇති බව රේණුකා පීරිස් අධ්‍යක්ෂකවරිය ද පිළිගත්තාය.

“ශිෂ්‍යයාට මුදල් දුන්නේ පෞද්ගලික ආයතනයක්. ඒ ආයතනය වසර තුනක් මේ මුදල දුන්නා. ඊට අමතරව තවත් පෞද්ගලික ආයතනයක් දරුවාට ඉන්න ගෙයක් නුවරින් ලබා දුන්නා. දරුවා අධ්‍යාපනය ලබන්නේ පෞද්ගලික පාසලක. ඒ පාසලෙන් දරුවාගේ අනෙකුත් අවශ්‍යතා සපුරනවා. මේ ගැටලුව ඇති වුණේ මුදල් දිගටම දෙන්න කියලා අමාත්‍යාංශය එම පෞද්ගලික ආයතනයෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් ලිපිය ඒ ආයතනයට නොලැබීම නිසා. ඔවුන් වෙනත් ස්ථානයකට ගොස් ඇති නිසයි මෙය සිද්ධවෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනින් ළමයාට මුදල ලබා දෙන්න කටයුතු කරනවා.”

දරුවා නුවර පාසලට යැවීමට මව අකැමැති නම් කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක් ඔහුට ලබා දීමට හැකි බවත් රේණුකා පීරිස් අධ්‍යක්ෂකවරිය පවසයි.

“නුවර පාසල වගේ ඉස්කෝලෙකට අපේ දරුවෙක්වත් ඇතුළු කර ගන්න බැහැ. දැන් මේ දරුවා ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒත් ළමයාගේ අම්මා අකැමැති නම් කුලියාපිටියේ ආණ්ඩුවේ ඉස්කෝලයක් දරුවාට ලබා දෙන්න පුළුවන්.”

අධ්‍යාපන අමාත්‍යාංශය මීට වසර හතරකට පෙර අපොහොසත් වූ එම කාර්යය දැන් සිදු කරන්නේ කෙසේදැයි විමසීමක් කළ විට දැන් එය පහසුවෙන් ඉටුකළ හැකි' බව අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.