2019 ජුලි 27 වන සෙනසුරාදා

මළසිරුරු සොයන කොමාන්ඩෝ සුනඛ බලකාය

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 155

කකුල් හතරේ රහස් පරීක්ෂකයන් ලෙස නම් දරන්නට තරම් අගනා රාජකාරියක නිරත යුද හමුදා නිල සුනඛයන්ගේ මෙහෙවර අමිලය. පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ සොයා ගැනීම, විශේෂ ආරක්ෂක රාජකාරි, සැකකරුවන් ලුහුබැඳීම හා සංදර්ශන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කෙතෙකුත් අසා දැක ඇතත් ගොඩනැගිලි හෝ පස් කඳුවලට යටවී ඇති මළසිරුරු සොයන යුද හමුදා සුනඛයන් විශේෂය.

නායයෑම් හා ස්වභාවික විපත් ඇතුළු ආපදා අපේ රටේ බහුලය. එය අතීතයට වඩා වර්ධනයක් ඇතැයි පෙනේ. එවැනි ව්‍යසනයකදී අතුරුදන් වන හෝ ආපදාවට පත් පිරිස මුදාගැනීමට මෙහෙයුම් සිදු කරති. ඒ සඳහා යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ මූලිකත්වය ගන්නා බවද නොරහසකි. අයහපත් කාලගුණය හා බැරෑරුම් පරිසර තත්ත්වයන් තුළ අතුරුදන් පුද්ගලයන් සෙවීම අපහසුය. දිනක් දෙකක් ගතව ගිය පසුවත් අතුරුදන්ව සිටින පිරිස සොයා යාම අභියෝගයකි. එවැනි අවස්ථාවලදී එකට සිටි ආදරණීයන් ජීවිතක්ෂයට පත්ව අතුරුදන්ව සිටියදී ඔවුනට සම්ප්‍රදායික වශයෙන් අවමංගල්‍ය ගෞරවය පිදීමට හෝ නොවීම ඥාතීන්ට බලවත් වේදනාවකි.

මෙවැනි සිදුවීම්වලදී වැලපෙන ජනතාව අස්වසන්නට සමතකු නැත. අවම වශයෙන් එවැනි ජනතාවට සහනයක් සැලසීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ සංකල්පයක් අනුව ආපදා හේතුවෙන් ගොඩනැගිලිවලට හා පස් කඳුවලට යටවී තිබෙන මළසිරුරු සොයන සුනඛ කණ්ඩායමක් පුහුණු කිරීමට උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට සිදු කරන මෙකී කාර්යය යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට භාර කරන්නට යුද හමුදාපතිවරයා තීරණය කොට ඇත. යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිල සුනඛ අංශයේ අධ්‍යක්ෂ ශිරන්ත අලහකෝන් මහතාගේ අදහස මෙසේය.

“යුද හමුදාපතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ නිල සුනඛ අංශය කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බල සේනාධිපති කර්නල් සමරසිරි මහතාගේ සහ හතරවැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් උපුල් පිලපිටිය මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වෙනවා. මා සමඟ තවත් නිලධාරියකු සහ සෙසු නිලයන්වල සෙබළු පස් දෙනකු මේ සඳහා රාජකාරි කරනවා. ඒ වගේම ලංකාවේ ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන විදිහට යුද හමුදා නිල සුනඛයන් ස්ථානගත කර තිබෙනවා. ඔවුන් අංශ දහයක පමණ කටයුතු සිදු කරනවා.” 

මේ වන විට යුද හමුදා සුනඛ අංශයට අයත් නිල සුනඛ ගණන සියයකට අධිකය. 1984 වර්ෂයේ ආරම්භ කළ මෙම ඒකකය නියෝජනය කරන සුනඛයන් කිහිප දෙනෙක් මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව නියෝජනය කරමින් විදේශවල රාජකාරි කරති. එමෙන්ම මෙරට ඇතිවන ඕනෑම ආපදා අවස්ථාවක හා යුද ක්‍රියාන්විතවලදීද මොවුන්ගේ සහාය හා රාජකාරිය ලබාගැනීම විශේෂිතය. 

“මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවට මළසිරුරු සොයන නිල සුනඛයන් හිටියේ නෑ. වර්තමානයේ සිදුවන නාය යෑම්, ගොඩනැගිලි කඩාවැටීම් වගේ ආපදා තත්ත්වයන්වලදී අත්දකින සිදුවීම් නිසා යුද හමුදාපතිතුමා මේ පිළිබඳ අවධානය යොමුකර තිබුණා. ඒ අනුව නව සංකල්පයක් මත හමුදා නිල සුනඛයන් සඳහා වන මළසිරුරු සෙවීමේ පාඨමාලාව ඉකුත් 2018 වසරේ සැප්තැම්බර් මාසේ ආරම්භ කළා. මේ පාඨමාලාව වසරක කාලයක් පැවැත්වෙනවා. ඒ සඳහා අවශ්‍ය සුනඛයන් දේශීය වශයෙන් මිලදී ගත්තා. ඒ සඳහා බීගල් වර්ගයේ සුනඛයන් තෝරාගත්තා. මූලික පාඨමාලාව මාස හතරක් සහ සුනඛ කීකරැ කිරීමේ පාඨමාලාව මාස තුනක් වශයෙන් පවත්වලා මළසිරුරු සෙවීමේ පාඨමාලාව ආරම්භ කරනවා.* යැයි මේජර් ශිරන්ත අලහකෝන් කීය.

මේජර් ශිරන්ත අලහකෝන් මහතා පවසන පරිදි බීගල් වර්ගයේ සුනඛයන්ගේ තීක්ෂණ බුද්ධිය හා ඉව වැඩිය. ඔවුන්ගේ හුරැබුහුටි පෙනුම සෙසු සුනඛයන්ට වඩා ඉහළය. උස අඟල් 12ක් පමණය. එබැවින් සත්ත්වයාගේ මුහුණ පොළොවට සමාන්තරව පවතියි. මුහුණ පොළොවට ඉතා සමීප නිසා පොළොවේ යමක් සෙවීමට අවශ්‍ය ඉව කදිමය. මළසිරුරු දිරාපත් වීමේදී විවිධ ගඳ සුවඳ වහනය වේ. එවැනි සුවඳ වහනය වන මිල අධික විලවුන් විශේෂයක් ජර්මනියෙන් ගෙන්වා ඇති අතර ඒ සඳහා යුද හමුදාවේ මුදල් ප්‍රතිපාදන යොදවා ඇත. එම විලවුන් ආශ්‍රයෙන් මළමිනී සෙවීම සඳහා සුනඛයන් පුහුණු කෙරේ. මීට අමතරව කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවසරය මත ස්වභාවික මළසිරුරු කොටස් ලබාගෙන පුහුණුව සිදු කිරීමට කටයුතු සිදු කරයි.

යුද හමුදා නිල සුනඛ අංශය ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති අතර එය 1984 වර්ෂයේ දී සුනඛයන් 6 දෙනකුගෙන් ආරම්භ කළ එකකි. එවකට සුනඛ පුහුණුව සඳහා පුහුණුකරුවන් තායිලන්තයෙන් පැමිණි බවත් මේ වන විට යුද හමුදාවේ පුහුණු උපදේශකවරුන් විසින් පුහුණුව ලබාදෙන බවත් මේජර් ශිරන්ත අලහකෝන් මහතා පවසයි.

“රටේ විවිධ කාලගුණික හා දේශගුණික තත්ත්වයන්ට මේ සුනඛයන් හුරු කළ යුතුයි. ඒ සඳහා රටේ ස්ථාන කිහිපයක් තෝරාගෙන තිබෙනවා. සුනඛ පුහුණුව කලාවක්. සතුන්ගේ සිතුම් පැතුම් තේරුම්ගත යුතුයි. ඔවුන්ට ආදරය කරුණාව ලබාදිය යුතුයි. ඔවුන්ගේ දිනචර්යාව කාලසටහනකට අනුව ගත වෙනවා. අපහසු පාඨමාලාවක් වුවත් මිනිසුන්ට වඩා සංවේදී මේ සුනඛයන් දක්ෂ ලෙස පාඨමාලාව හදාරනවා. ඉදිරියේ දී ඔවුන් සාර්ථකව රාජකාරියේ නිරතවෙන බව විශ්වාසයි.” මේජර් ශිරන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

මෑත යුගයේ දී නායයාම් ගොඩනැගිලි කඩාවැටීම් වැනි ආපදා රාශියක් සිදුව තිබුණි. ඒවාට යටවී ජීවිතක්ෂයට පත්වූ හා අතුරුදන් ජීවිත ගණනාවක් පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් පසුවන්නේ තවමත් කනස්සල්ලෙනි. මළසිරුරු සොයන සුනඛ කණ්ඩායමේ සහාය මත අනාගතයේ යම් ව්‍යසන අවස්ථාවකදී අතුරුදන් වූවන් හා මළසිරුරු සොයා ආගමික වතාවත් අනුව අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවක් උදාවනු නියතය.

(යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු, මාධ්‍ය ඒකකයේ මේජ්ර් රණසිංහ සහ කපිතන් රකිත ගුණතිලක සහ යුද හමුදා නිල සුනඛ අංශයේ අධ්‍යක්ෂ මේජර් ශිරන්ත අලහකෝන් මහතාට අපගේ ස්තූතිය)

 සමන්ත ප්‍රදීප් විල්තෙර